දකුණු ආසියාවේ වැඩි ම ඉන්ධන මිල ඇත්තේ, ශ්‍රී ලංකාවේ ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 10

ඉරානයට එරෙහි ඊශ්‍රායල් - ඇමෙරිකානු යුද්ධය ආරම්භ වූ මොහොතේ සිට ම ගෝලීය බොරතෙල් වෙළෙඳපොළට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

එම අවධානය කණස්සල්ලක් බවට පත් කරමින් ගෝලීය බොරතෙල් සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කරන මුහුදු මාර්ගයේ පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය අවස්ථා ගණනකදී වසා දැමුණු අතර, ඒ හරහා යාත්‍රා කරමින් තිබූ ඇතැම් නෞකාවලට ප්‍රහාර එල්ල විය.

මේ සමග ගෝලීය බොරතෙල් මිල ඉහළ ගිය අතර, එහි බලපෑම ශ්‍රී ලංකාව වැනි රටවල්වලට තදින් දැනී ඇති බව එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ ගිය ආකාරය අනුව පෙනී යයි.

දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී, විශේෂයෙන් ම ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සමග සංසන්දනය කිරීමේදී මැද පෙරදිග යුද තත්ත්වය ආරම්භ වීමෙන් පසුව සැලකිය යුතු මට්ටමකින් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර, එය ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමට අමතරව ද අවස්ථා කිහිපයකදී වෙනස් වී තිබේ.

එමෙන් ම මෑතකදී ජනාධිපතිවරයා කළ අදහස් දැක්වීමකදී ඉන්ධන මිල ඉහළ යැවීම සම්බන්ධයන් පළ කළ අදහස්වලට ද සමාජයේ දැඩි අවධානයක් යොමු වූයේ, බලයට පැමිණීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් ද සිහිපත් කරමිනි.

ජනවාරි සිට මේ දක්වා ඉන්ධන මිල වෙනස් වීම

2026 ජනවාරි මාසය ආරම්භ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 294ක් වූ අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340ක් විය. ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 279ටත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 323ක් සහ භූමි‍තෙල් ලීටරය රුපියල් 182ක මිලට පැවතියේ ය.

ජනවාරි 31 සිදු කළ ඉන්ධන මිල සංශෝධනයෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 292ක් දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 277ක් දක්වා පහළ දැමූ අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවිණි. එය පෙබරවාරි 01 සිට ක්‍රියාත්මක විය.

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් පෙබරවාරි මස 28 සිට සංශෝධනය කළ අතර, එහිදී ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 281ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 329ක් මෙන් ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 293ක් ලෙස මිල ඉහළ දමන ලද අතර, එවර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු නොවී ය. එය ක්‍රියාත්මක වූයේ, මාර්තු 01 වන දා සිට ය.

මාර්තු මාසයට අදාළව එලෙස මිල සංශෝධනය වූ නමුත්, මැද පෙරදිග යුද්ධය පෙබරවාරි 27 ආරම්භ වීමෙන් පසුව මාර්තු මාසයේදී මාසික සංශෝධනයට අමතර දෙවරක් ඉන්ධන මිල ඉහළ දමනු ලැබී ය.

ඒ අනුව, මාර්තු මස 10 වන දා ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 303ක් ලෙස සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 353ක් ලෙසත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 317ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 365ක් ලෙසත් භූමිතෙල් ලීටරයක් රුපියල් 195ක් දක්වාත් මිල ඉහළ දැමී ය.

එහි දෙවන මිල වැඩි කිරීම මාර්තු මස 22 සිට ක්‍රියාත්මක විය.

එහිදී ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 382ක් දක්වාත් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 443ක් දක්වාත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 398ක් දක්වා මෙන් ම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 455ක් ලෙස මිල ඉහළ ගිය අතර, භූමිතෙල් ලීටරය රුපියල් 255ක් දක්වා මිල ඉහළ දැමී ය.

මෙය කැපී පෙනෙන මිල ඉහළ දැමීමක් වූ අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 81කින් එනම්, 25%ක වැඩි වීමක් වාර්තා කළේ ය.

එමෙන් ම සුපර් ඩීසල් මිල රු. 90කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් අප්‍රේල් මාසයේ දී ඉන්ධන මිල සංශෝධනයක් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ය.

යළි මැයි මස 03 සිට යළිත් ඉන්ධන මිල ඉහළ ගිය අතර වර්තමානයේ දී එම මිලට ඉන්ධන අලෙවි කරනු ලබ යි.

ඒ අනුව, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 392කට, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 458කට, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 410කට සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 470කට සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 265ක් දක්වා මේ වන විට මිල ඉහළ ගොස් ඇත.

දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල්වල තත්ත්වය කෙසේ ද?

ගෝලීය ඉන්ධන වෙළඳපොළේ උච්ඡාවචන සැලකිල්ලට ගනිමින් මැයි 19 ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දියාව කටයුතු කළේ ය.

මෙම වසර මුලදී පැවති ඉන්ධන මිලට අනුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ පෙට්‍රල් ලීටරයක මිල ඉන්දියානු රු. 94.77ක් වූ අතර ඩීසල් ලීටරයක මිල ඉන්දියානු රු. 87.67කි.

එය මැයි 19 වන දා ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික අනුව ගණනය කර බැලූ විට පිළිවෙළින් ශ්‍රී ලංකා රු. 321.54ක් සහ රු. 297.45ක් වේ.

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල ඉන්ධන මිල ගණන් වෙනස් වන අතර, මෙහි සලකා ඇත්තේ නවදිල්ලියේ පවතින මිල ගණන් ය.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පෙබරවාරි අවසානයේ සිට මේ දක්වා ඉහළ යමින් පැවතිය ද, මෙම වසර තුළ ඉන්දියාවේ පළමු වරට ඉන්ධන මිල ඉහළ යන්නේ, 2026 මැයි 15 දින ය.

ඒ, ඉන්දියානු රුපියල් 3කින් පමණ ය.

කෙසේ වෙතත්, මැයි 19 වන දින ද නැවත ඉන්දියානු රුපියලකට ආසන්න මුදලකින් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඉන්දියානු රජය කටයුතු කර තිබේ.

බංග්ලාදේශයේ මේ පෙට්‍රල් ලීටරයක මිල ටකා 135ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළ ම ඉන්ධන මිල ය. ඩීසල් මිල ටකා 115කි.

එය මැයි 19 ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකය අනුව ගණනය කිරීමේදී පිළිවෙළින් රු. 359.22ක් සහ රු. 306.00ක් වේ.

මීට පෙර බංග්ලාදේශයෙන් ඉහළ ම ඉන්ධන මිලක් වාර්තා වී තිබෙන්නේ, 2022 වසරේ වන අතර එය මේ අගයට වඩා අඩු අගයකි.

නේපාලයේ සහ පකිස්ථානයේ ශ්‍රී ලංකාවේ මෙන් අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල වෙනස් වී ඇති අයුරු එහි දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නකි.

2026 අප්‍රේල් මස 30 වන දින අවසන් වරට නේපාලයේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර, එම මිල ශ්‍රී ලංකා රුපියල හා සැසඳීමේදී, පෙට්‍රල් ලීටරයක මිල රු. 461.14ක් ද, ඩීසල් ලීටරයක මිල රු. 478.14කට ආසන්න අගයකි.

මෙම අගයන් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිලට තරමක් ආසන්නයෙන් පවතියි.

කලාපයේ වැඩි ම ඉන්ධන මිල වාර්තා කරන්නේ පකිස්ථානයෙනි.

ශ්‍රී ලංකා රුපියලට සැසඳීමේදී පකිස්ථානයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 480.63ක් වන අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පෙර එහි මිල තිබී ඇත්තේ, රු. 312.19ක් ලෙස වන අතර මැදපෙරදිග යුද තත්ත්වයෙන් පසුව එය අප්‍රේල් 02 වන දින, පෙට්‍රල් ලීටරයක මිල රු. 537.18කට ආසන්න මුදලකට සහ ඩීසල් ලීටරයක මිල රු. 609.90කට ආසන්න මුදලක් දක්වා වැඩි වී ඇති නමුත් පසුව, පකිස්ථානය විසින් සෑම සතියක ම සිකුරාදා දිනයේ තෙල් මිල ගණන් වෙනස් කිරීමක් සිදු කරමින් සිටින නිසා ඒ ඒ සතියට අදාළව ඉන්ධන මිල ගණන් වෙනස් වීමක් සිදුවේ.

ඉන්ධන මිල ගැන ජනාධිපතිවරයාගේ අදහස

මෑතකදී ජනාධිපතිවරයා ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන් ද සමාජයේ අවධානයට ලක් විය.

වර්තමානයේ පවතින ඉන්ධන මිල තවදුරටත් වැඩි විය යුතු බව මෙන් ම ඉන්ධන මිල ඉහළ යාම වැළැක්වීමට රජය සෑම ඉන්ධන ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි දින රැළිය අමතමින් පැවසීය.

"මැද පෙරදිග කලාපයේ යුද තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ප්‍රශ්න ගොඩක් පැන නැගිලා තිබෙනවා, විශාල ප්‍රශ්න ප්‍රමාණයක් පැන නැගිලා තිබෙනවා. විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රෙය් විශාල අර්බුදයක් මතු වෙලා තියෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරය රුපියල් 382ක් වෙනවා. 382ට ඩීසල් ලීටරයක් දෙනකොට ආණ්ඩුව රුපියල් 100ක් දෙනවා විකුණන හැම තෙල් ලීටරයකටම තෙල් සංස්ථාවටයි අනිත් සමාගම්වලටයි. ඒ කියන්නේ මොකක් ද, අදත් තමුන්නාන්සෙලා ෂෙඩ් එකට ගිහිල්ලා ගහන පෙට්‍රල් ලීටරයක් රුපියල් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382ට, රුපියල් 100ක් ආණ්ඩුව දෙනවා හැම ලීටරයකට ම. එහෙමයි ජනතාව බලාගන්න ඕන ආණ්ඩුවක්," ඔහු පැවසුවේ ය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට අනුව සෑම ලීටරයකට ම රජය රු. 100ක දායකත්වයක් ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල, කලාපයේ ඉහළ ම ඉන්ධන මිල වාර්තා කරන පකිස්ථානයේ ඉන්ධන මිලටත් වඩා වැඩි වෙයි.

තවදුරටත් මැයි රැලිය අමතමින් ඉන්ධන මිල ඉහළ යමින් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉන්ධන මිල තවත් ඉහළ දැමීමට සිදුවන බව ද කියා සිටියේ ය.

"අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා තිබෙනවා මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය වෙන ඉන්ධන සහනාධාරය ලබා දීම වෙනුවෙන්. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා සමහර විට තව කුඩා ප්‍රමාණයන්වලට අපිට මිල ඉහළ දාන්න සිද්ධ වෙනවා. හැබැයි උපරිම ලෙස අපි සහනාධාර ලබා දෙන්න කටයුතු කරනවා."

මැයි 13 වන දින, නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක පිරිවැය රු. 720ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.

එහෙත්, රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රු 100ක මුදලක් වැය කරමින් රු 392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ඒම තත්ත්වය තුළ ද ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී පැවසුවේ ය.

එමෙන් ම, ඉන්ධන ආනයනය සඳහා පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 98ක්, මාර්තු මාසයේදී ඩොලර් මිලියන 216ක්, අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 368ක් මෙන් ම මැයි මාසයේදී ඉන්ධන මෙරටට ගෙන්වීමට ඩොලර් මිලියන 522ක් වැය වී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසුවේ ය.

"තෙල් වියදම බැලුවොත් පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රු 720ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392කට. අපි ආණ්ඩුවෙන් රු 100ක වැය බරක් දරනවා. එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ රු 492යි. එතනත් ඔවුන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියවා ගන්න අවශ්‍යයි. තෙල් සංස්ථාවේ විශාල පාඩුවක් ආණ්ඩුව අරන් තියෙන්නේ. ඒ පසුගිය කාලයේ ආණ්ඩු නිසි කළමනාකරණයක් නොකළ නිසා. බිලියන 84ක පාඩුවක්. සංස්ථාව භාණ්ඩාගාරයට පවරා ගෙන තියෙන්නේ."

ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට පියවර ගත යුතු බව ය.

"ඉන්ධන පරිභෝජනය අඩුකිරීමේ ඉලක්කයක් තියෙනවා. මොක ද වැඩි මිලකට ඉන්ධන මිල ඉහළ ගියා ම පරණ පරිභෝජනය තිබුණොත් ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට අපි පරිභෝජනය අඩු කිරීමේ අවශ්‍යතාවයෙන් තමා අපි යම් තීන්දු තීරණ අරන් තියෙනවා. අපි උත්සහ කරනවා ඉන්ධන සම්බන්ධයෙන් විසඳුම් ඉක්මනින් ලබා දෙන්නම්," යැයි ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවට මෙතරම් අධික පිරිවැයක් ඉන්ධන සඳහා දැරීමට සිදුව ඇත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ රුපියල මැද පෙරදිග යුද තත්ත්වය ආරම්භයේ සිට ම තියුණු කඩා වැටීමකට ලක්වූ අතර ඊට යුදමය වාතාවරණය සමග වෙනත් හේතු ද බලපෑවේ ය.

එවැනි තත්ත්වයක් තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ද ඉහළ ගියේ බොරතෙල් බැරලයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යවමිනි.

ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ ඉන්ධන බැරලයක් සඳහා ගෙවන ලද මිල අවම වශයෙන් එක් අවස්ථාවකදී ඩොලර් 286ක් දක්වා ඉහළ ගොස් තිබූ බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි අප්‍රේල් මාසයේදී හොංකොංහි පැවති ආයෝජන සංසදයකදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

එම සංවාදයේදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැකිය හැකි මිල ගණන්වලට වඩා වැඩි මිලක් ගැනුම්කරුවන්ට ගෙවීමට සිදුවන බව ය.

"ප්‍රවෘත්තිවල ඔබ දකින ඉන්ධන මිල, බෙදාහැරීමෙන් පස්සේ ජනතාව ඇත්තට ම ගෙවන සැබෑ ම ඉන්ධන මිල නෙමෙයි. ප්‍රවාහනය, රක්ෂණය, ඉන්ධන පිරිපහදු කිරීම සහ අනෙකුත් වියදම් ඇතුළත් කළාට පස්සේ අවසානයේදී "බෙදා හරින විට" ඉන්ධන බැරලයේ මිල විශාල වශයෙන් අධික වෙනවා," ඔහු පැවසුවේ ය.

"එක්තරා අවස්ථාවක, ශ්‍රී ලංකාවට බෙදා හරින ලද ඉන්ධන බැරලයකට ඩොලර් 286ක් තරම් ඉහළ මිලක් ගෙවන්න සිදුවුණා. දුර්වල ආර්ථික ඇති රටවලට ඒ වගේ මිල ගණන් දරන්න නොහැකි නිසා යම් ගැටලුසහගත තත්ත්වයන් මතු වෙන්න පුළුවන්."

ඔහුගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව තුළ දැඩි සංවාදයකට බඳුන් වූ අතර, අප්‍රේල් 17 මාධ්‍ය හමුවක් පවත්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ මැද පෙරදිග ගැටුම් හමුවේ ඩීසල් මිල ද ශීඝ්‍ර ලෙස ඉහළ ගිය බවත්, මේ හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමේදී ඩොලර් 285 සිට ඩොලර් 303 දක්වා මුදලකට මිල දී ගැනීමට සිදුවූ බවත් ය.

"ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. අපි ඒවා ගත්තොතින් ෆ්ලැට් ඇවරේජ් එක විතරක් අපි ඩීසල් ගත්ත ඒවා තියෙනවා වැඩි ම ගාණ 242කට ගිහිල්ලා තියෙනවා. ප්‍රිමියම් අගයන් අපිට 50ට 48ට යන්න වුණා. ඒකත් එක්ක මිල වැඩි වෙලා තියෙනවා. අපිට ඒ විදිහට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැතිව යනවා," සභාපතිවරයා පැවසුවේ ය.

"ඩීසල් අපිට වෙලා තියෙනවා 285.28ක්. ඒ ඇවිල්ලා තුන්වෙනි මාසේ 31 වැනිදා ආපු නැව. ඊට පස්සේ ආපහු අප්‍රේල් මාසේ 7 වැනිදා නැවක් ඇවිත් තියෙනවා. ඒකට අපිට ඩොලර් 281.87ක් වෙලා තියෙනවා. සුපර් ඩීසල්වලට වෙලා තියෙනවා ඩොලර් 303.77ක්," ඔහු පැවසුවේ ය.

ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ කුමක් ද?

දැනට මෙරට පවතින ඉන්ධන සංචිත ජූලි මාසය දක්වා ප්‍රමාණවත් බවත්, සැප්තැම්බර් මාසය දක්වා මෙරටට ඉන්ධන ගෙන්වීමට ඇණවුම් කර ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, මයුර නෙත්තිකුමාර බීබීසී සිංහල සේවයට පැවසීය.

පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සමාන්‍ය ක්‍රමවේදය යටතේ මාසිකව සිදුකරනු ලබන මිල සංශෝධනයට අමතරව ඉන්ධන මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව ද ඔහු කියා සිටියේ ය.

එමෙන් ම, යුද්ධය ආරම්භ වීමත් සමග ම දිගින් දිගට ම ඉහළ යන ඉන්ධන මිල පහත වැටීමක් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට හැකි දැයි බීබීසී සිංහල සේවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් සිදු කරන ලදී.

"ඉන්ධන මිල ඊළඟ මාස දෙකේ අඩු වෙයි කියලා හිතන්න අමාරුයි. දැනට ලෝක වෙළදපොලේ මිල 4වෙනි මාසයට සහ 3 වෙනි මාසයේ අග කාලයට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. ඒත් මැයි 13 ගත්තත් ඩීසල් බැරලයක් 154ට තමා තිබුණේ," ඔහු පැවසුවේ ය.

"සාමාන්‍යයෙන් ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක 70,80,90 රේන්ජ් එකේ තමයි යුද්දෙට කලින් තිබුණේ. ඒ කාලේ 80 කියලා ගත්තොත් දැන් තියෙන්නේ දෙගුණයකට කිට්ටු වෙන ගාණකටනේ. කොහොමත් ලෝක වෙළදපොලේ දැන් තියෙන මිල කලින් තිබුණාට වැඩිය වැඩි ගාණට. බොර තෙල් මිල වුණත් යුද්දෙට කලින් තිබුණේ 63,69 කියන රේන්ජ් එකේ. දැන් තියෙන්නේ මේ මාසේ 110යි ඊළඟ මාසේ 104ක් වගේ ගාණකට තමා තියෙන්නේ. ඊටත් පස්සේ මාසෙත් 100ට උඩින් තියෙයි කියලා තමයි පුරෝකථනය කරන්නේ," සභාපතිවරයා බොතරතෙල් මිල සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කියා සිටියේ ය.

"ඒක දෙගුණයක් නොවුණත් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. නමුත් අපේ මිල දෙගුණයක් කරලා නැහැ. ඒක අනුව ගත්තා ම ඉදිරි මාස කීපයේ තියෙයි හිතන මට්ටමට තමා දැන් ඩීසල් සහ පෙට්‍රල් මිල මේ වෙද්දී තියෙන්නේ. ඉදිරියේ අඩු වුණත් ඔය ගාණටනේ අඩු වෙන්නේ. එතකොට බොහෝ විට අඩු කිරීමේ හැකියාවක් නැති වෙනවා ඉදිරි මාසය, දෙක ඇතුළත," යැයි ඔහු කියා සිටියේ ය.

දැනට ලබා දෙන සහනාධාරය අඩු කරමින් පවතින මිලට අනුව ඉන්ධන ලබා දීමේ හැකියාවක් පවතී දැයි සලකා බලමින් සිටින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, මයුර නෙත්තිකුමාර බීබීසී සිංහල සේවයට පැවසීය.