කපිල චන්ද්‍රසේනගේ මරණය: මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අරවින්ද ද සිල්වාගේ නිවසේ මෙහෙකරුවන් දුන් සාක්ෂි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

අභිරහස් ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ ද සී.සී.ටී.වී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (මැයි 19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මේ බව දන්වා සිටියේ ය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුළු වීමට හැකියාව තිබුණ ද 2026 වසරේ මැයි මස 05 වන දා සහ 2026 වසරේ මැයි මස 07 වන දා අතර කාල සීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු එම නිවසට ඇතුළු වී නොමැති බවට අවට නිවෙස් සහ ගොඩනැගිලිවල සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී තොරතුරු අනාවරණය වී ඇති බව ය.

'CCTV යන්ත්‍රවල දර්ශන පටිගත වී නැහැ'

ඊට අමතරව මරණකරු පදිංචි වී සිටි නිවසේ ද සී.සී.ටී.වී. යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ බවත්, එම සී.සී.ටී.වී. යන්ත්‍රවල ද දර්ශන පටිගත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කළේ ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිසිය දැනුම් දුන්නේ, මරණකරු පදිංචිව සිටි නිවසේ මෙන් ම මරණය සිදුවූ නිවසේ තිබූ සී.සී.ටී.වී. කැමරාවල ද දර්ශන පටිගත වී නොමැති බව ය.

ඒ අනුව, අදාළ සී.සී.ටී.වී. කැමරා සවි කළ සමාගමේ ඉංජිනේරුවරයා අද දිනයේ සාක්ෂියට කැඳවා තිබෙන බවත් පොලිසිය පැවසීය.

මරණකරු පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදුවූ නිවසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවලට අදාළ ඩී.වී.ආර්. යන්ත්‍ර පොලිසිය භාරයට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

'හඳුනා නොගත් ඖෂධ වර්ග'

වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයා ගත් හඳුනා නොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.

එම ස්ථානයේ තිබී සොයා ගත් නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත්, එක් වර්ගයක ඖෂධ පෙති 9ක් සහ තවත් වර්ගයක ඖෂධ පෙති 11ක් තිබූ බවත් පොලිසිය අනාවරණය කර කළේ ය.

තවදුරටත් කරුණු දැක්වූ පොලිසිය සඳහන් කළේ, මරණකරු සහ නිවසේ සේවක සේවිකාවන් අතර සිදුවූ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට ඉකුත් දිනයේ නියෝග ලබා ගෙන තිබුණ ද, ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා ඒවා ලබා ගැනීමට නොහැකි වූ බවත්, ඒ අනුව යළි දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඒ සඳහා නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ය.

පොලිසියට දොස්

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසුවේ, "මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද?" යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ, "ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කර ගන්න බැරි වුණු," බව ය.

නැවතත් පොලිසිය ඇමතු මහේස්ත්‍රාත්වරයා, "ප්‍රකාශ සටහන් කර ගන්න බැරි වුණා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන් ද? ඒ අයව නේ කලින් සාක්ෂියට කැඳවන්න ඕන. ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොම ද?" යනුවෙන් ප්‍රශ්න කළේ ය.

ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියා සඳහන් කළේ, "ස්වාමීනි... මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තිබෙන," බව ය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා "රිමාන්ඩ් භාරයට පත් කරල තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයි නේ. රිමාන්ඩ් භාරයට පත් කරල තියෙනව නම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියි නේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන් ම කරන්න පුළුවන්," යනුවෙන් පැවසීය.

අද දින සාක්ෂි කැඳවීම සඳහා සාක්ෂිකරුවන් කීප දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කැඳවනු ලැබ තිබිණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා, "අද සාක්ෂියට කිහිප දෙනෙකු ම කැඳවා තිබෙනවා. ඒ හැම කෙනාගේ ම සාක්ෂි අද ගන්න බැහැ නේ. අනවශ්‍ය අය මුදා හරින්න කටයුතු කරන්න. සාක්ෂිකරුවන් අතර පොලිස් නිලධාරිනුත් ඉන්නවා. ඒ අය රඳවා ගැනීම සුදුසු නෑ," යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම මරණයට අදාළ සාක්ෂි විමසීම පසුව සිදු කරන බවත් සඳහන් කළේ ය.

සාක්ෂි

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කොළඹ ඩර්ඩ්න්ස් රෝහලේ හෙද නිලධාරියෙකු වන කෝසල රත්නජීව මෙසේ පැවසීය.

"සිද්ධිය වූ දින පෙරවරු 7.45ට පමණ පළමු දුරකතන ඇමතුම ආවා. එහෙම ඇමතුමක් ආවා ම ආයේ ඒ දුරකතන අංකයට කතා කරලා අපි විස්තර කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ අපි කන්ෆර්ම් කරගෙන අපි අදාළ නිවසට ගිලන් රථයෙන් ගියා. මාත් එක්ක රියැදුරා, වෛද්‍ය නිලධාරිණිය සහ සහයක එම ස්ථානයට ගියා. පසුව ඒ නිවසේ සිටි ලෝයර් කෙනෙක් අපිව උඩ තට්ටුවට එක්කගෙන ගියා. කාමරයකට එක්කගෙන ගියා. කාමරයේ ලයිට් ඕෆ් කරලා තිබුණා. ඇඳ උඩ ඇඳුම් බෑග් එකක් තබා තිබුණා. පුද්ගලයෙකු බිම් දිගා වෙලා වගේ හිටියා. බෙල්ලේ රෙදි පටියක් ගැටගහලා තිබුණා. මුහුණ පුටුවක් උඩ තිබුණා. වෛද්‍යවරිය මේ පුද්ගලයාව පරීක්ෂා කළා. එයා තවදුරටත් ජීවතුන් අතර නෑ කියලා තහවුරු කළා. මියගිය පුද්ගලයා කපිල චන්ද්‍රසේන කියලා දැනගත්තා. පසුව මම මේ ගැන අපේ රෝහල් පාලනාධිකාරිය දැනුවත් කළා. පාලනාධිකාරියෙන් මට උපදෙස් ලැබුණා පොලීසියට දැනුම් දෙන්න කියලා. ඒ අනුව මම කොල්ලුපිටිය පොලිසියට දුරකතනයෙන් දැනුම් දුන්නා."

එම අවස්ථාවේදී පොලීසිය අදාළ ස්ථානයේ නිරීක්ෂණය කළේ, මොනවා දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු මෙසේ පැවසීය.

"මරණය සිදුවූ ස්ථානයේ ඇඳ උඩ බෑග් එකක් තිබ්බා. බෙහෙත් වර්ගයක් තිබුණා. ඒවා රුධිර සීනි මට්ටම පාලනය කරන බෙහෙත් පෙති බව අපිට පෙනී ගියා. ෆෝන් එකක් තිබ්බා. ඩ්‍රෙසිං ටේබල් එක උඩ හැඳුනුම්පතක් තිබුණා," යනුවෙන් සාක්ෂිකරු පැවසීය.

ඉන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ නිවසේ සේවය කළ සේවකයෙකු වන රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර් සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

"පසුගිය 06 වන දා දහවල් 3.00ට විතර කපිල සර් ගෙදර ආවා. කෑම කාලා හවස 5.00 විතර ගියා. කෑම රත් කරලා මම එයාට කන්න බොන්න දුන්නා. කන්න දුන්නේ, දවල් 2.30ට 3.00ට විතර ඇති. ඒ වෙලාවේ මැඩම් ගෙදර හිටියා. 3.30ට විතර අරවින්ද සර් ගෙදර ආවා."

"මැයි 07 වන දා හවස 3.30ට විතර කපිල මහත්තයා අපේ ගෙදර ආවා. රෑ කෑම ගෙනාවා. එයා කෑම ගත්තේ නෑ. රෑ කපිල මහත්තයා අරවින්ද සර් එක්ක කතා කරගෙන ඉන්නවා දැක්කා. රෑ 12.10ට විතර මම නිදාගන්න ලෑස්ති වුණා. අන්තිමට මම තේ එකක් හදලා දුන්නා. ඒ වෙනකොට වෙලාව රෑ 12.00ත් 12.05ත් අතර ඇති. මම රෑ 12.15ට විතර මම නිදාගන්න ගියා. රෑ 1.30ට විතර වොෂ් රූම් යන්න මම ඇහැරුණා. පැන්ට්‍රි කාමරය පැත්තේ ලයිට් දාලා තියෙනවා දැක්කා. මම ජනේලෙන් එබිලා බැලුවා. ඒ වෙලාවේ මම දැක්කා කපිල මහත්තයා සුදුපාට බෝතලයක් අතේ තියාගෙන ෆිල්ටර් එක ළඟ හිටියා. මම සර්ගෙන් ඇහුවා මොනව ද ඕන කියලා. වතුර ගන්න ආවා කියලා කිව්වා. මම කිව්වා කාමරයේ වතුර තියලා තියෙනවා කියලා. පස්සේ උඩට ගියා. මම නිදාගන්න ගියා."

ඉන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ නිවසේ සේවිකාවක වන පරාබරන් ජෙයසීලා නමැත්තිය සාක්ෂි ලබා දුන්නා ය.

"මැයි 7 වෙනි දා හවස 3.00ට විතර තමයි මම වැඩට ආවේ. ඒ වෙලාවේ කපිල මහත්තයා ඇවිල්ලා ඉන්නවා දැක්කා. ගේට්ටුව එළියේ ඉන්නව දැක්කා. ඔළුව විතරයි දැක්කේ. පසුව සෙටිය උඩ වාඩි වෙලා ඉන්නව දැක්කා. එතකොට වෙලාව හවස 4.45ට විතර ඇති. පස්සේ පිටින් දෙන්නෙක් තුන් දෙනෙක් විතර ආවා. එයාලා අරවින්ද සර් සහ මැඩම් එක්කයි කතා කළේ. එයාලා පැය භාගයක් විතර හිටියා. ඊට පස්සේ ආපහු ගියා. ඊට පස්සේ කපිල මහත්තයා උඩ තට්ටුවේ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා දැක්කා. පස්සේ මැඩම් නිදාගන්න කාමරේ ලෑස්ති කරන්න කිව්වා. පස්සේ මම කාමරය ලෑස්ති කළා. වතුර ජෝගුවකුත් වීදුරුවකුත් මම කාමරයේ තිබ්බා. පස්සෙ මම නිදාගන්න ගියා."

ඉන්පසුව අරවින්ද ද සිල්වාගේ නිවසේ සීසීටීවී කැමරා සවි කිරීමේ කාර්යය ඉටු කළ ෆෙන්ටන්ස් නමැති ආයතනයේ ඉංජිනේරුවරයෙකු වන ක්‍රිෂාන්ත කමලසිරි සාක්ෂි ලබා දුන්නේ ය.

"අරවින්ද ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඔහුගේ නිවසේ කැමරා පහක් සවිකළා. 2022 වසරේ වගේ තමයි ඒවා සවිකළේ. ඒ අවස්ථාවේදී එම නිවසේ සිටි ප්‍රසන්න නමැත්තාට පෙන්නුවා රෙකෝඩ් වෙනවා කියලා. දත්ත මාසයක් පමණ තියාගන්න විදියටයි තිබුණේ. අවුරුද්දකට විතර පස්සේ කතා කරලා කිව්වා එලාම් එකක් වදිනවා බලන්න කියලා. පරීක්ෂා කළා ම ඒකේ හාඩ් "ඩිස්ක් එක" ඩැමේජ් වෙලා කියලා දැනගත්තා. පසුව මාරු කළා.මේවා සර්විස් කිරීම ගැන ඇග්‍රීමන්ට් එකක් තිබුණේ නැහැ. මේ කැමරාවල දත්ත ගබඩා නොවෙන්නේ ඇයි කියලා මට කියන්න බෑ. මම පරීක්ෂා කරලා නෑ."

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 22 වන දා දක්වා කල් තැබිණි.