ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සම්බාධක උල්ලංඝනය කරමින් ඉරානයේ සිට ඉන්ධන ප්‍රවාහනය කළ තවත් නෞකාවක් ඉන්දීය සාගරයේදී ඇමෙරිකානු හමුදා භාරයට
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
එක්සත් ජනපද හමුදාව ඉන්දියානු සාගරයේදී, ඉරානයේ සිට ඉන්ධන ප්‍රවාහනය කරන ලද M/T Majestic X නෞකාව සිය භාරයට ගෙන තිබේ.
ඇමෙරිකානු යුද්ධ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙය නිශ්චිත රාජ්‍යයක් නොමැති සම්බාධක පනවන ලද නෞකාවක් බව ය.
ඒ අනුව, ඇමෙරිකානු හමුදාව ගුවන් මගින් එම නෞකාවට ගොඩ වෙමින් එය පරීක්ෂාවට ලක් කර තිබේ.
නීතිවිරෝධී ජාල අවහිර කිරීමට සහ ඉරානයට ද්‍රව්‍යමය සහාය ලබා දෙන යාත්‍රා ඔවුන් ක්‍රියාත්මක වන ඕනෑ ම තැනකදී තහනම් කිරීම උදෙසා ගෝලීය සමුද්‍රීය බලාත්මක කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඇමෙරිකානු යුද්ධ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
සම්බාධකවලට යටත්ව සිටින පාර්ශවවලට ජාත්‍යන්තර මුහුදු තීරයන් පළිහක් ලෙස භාවිත කළ නොහැකි බවත් නීති විරෝධී ක්‍රියාකාරීන්ට සහ ඔවුන්ගේ යාත්‍රාවලට සමුද්‍රීය ක්ෂේත්රය තුළ නිදහසේ යාත්‍රා කිරීමේ හැකියාව අඛණ්ඩව ම ප්‍රතික්ෂේප කරන බවත් ඇමෙරිකානු යුද්ධ දෙපාර්තමේන්තුව X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ආසියානු මුහුදු තීරයන්හිදී ඉරාන ධජය සහිත ඉන්ධන නෞකා තුනක් එක්සත් ජනපද හමුදාව සිය භාරයට ගෙන, ඒවා ඉන්දියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව ආශ්රිත ස්ථානවලින් ඉවතට හරවා යවමින් ඇතැයි නාවික සහ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු මධ්‍යම හමුදා විධානයෙන් සහ ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බීබීසී සිංහල ඊමේල් මගින් තොරතුරු විමසා සිටි අතර, ඔවුන් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැත.
එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානය අවධාරණය කළේ, එක්සත් ජනපද හමුදාවට ගෝලීය වශයෙන් බලය ඇති බව ය..
ඇමෙරිකානු හමුදා මැද පෙරදිග සහ ඉන් ඔබ්බට නාවික අවහිර කිරීම් ක්‍රියාත්මක කරමින් කරමින් සිටින බව X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
මැදපෙරදිග ගල්ෆ් කලාපයට පිවිසීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා යාත්‍රා කිරීම වැළැක්වීම සඳහා ඉරානය නැව්වලට වෙඩි තබා ඇති අතර, ඉරානය මුහුදු මාර්ගය ඔස්සේ සිදුකරන වෙළෙඳාම වැළැක්වීමට ඇමෙරිකාව නාවික අවහිරයක් පනවා ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ලෝකයේ තෙල් හා ගෑස් සැපයුම්වලින් පහෙන් එකක සැපයුම අඩාල කර ඇති අතර මෙය ගෝලීය බලශක්ති අර්බුදයකට හේතු වී තිබේ.
මෑත දිනවල එක්සත් ජනපද හමුදාව ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ තෙල් නෞකාවක් සිය භාරයට ගෙන තිබිණි.
බදාදා රොයිටර්ස් පුවත් සේවයට අදහස් දැක්වූ ඇමෙරිකානු සහ ඉන්දියානු නාවික මූලාශ්‍ර දෙකක් සහ වෙන ම බටහිර සමුද්‍ර ආරක්ෂක මූලාශ්‍ර දෙකක් පවසන පරිදි, මෑත දිනවල එක්සත් ජනපදය අවම වශයෙන් තවත් ඉරාන ධජය සහිත තෙල් නෞකා තුනක් ආපසු හරවා යවා තිබේ.
එක් නෞකාවක් ඉරාන ධජය සහිත ඩීප් සී (Deep Sea) නැමති සුපිරි ටෑන්කර් නෞකාවක් වූ අතර, එහි කොටසක බොරතෙල් පටවා තිබූ අතර, අවසන් වරට මැලේසියාවේ වෙරළට ඔබ්බෙන් සතියකට පෙර දක්නට ලැබුණු බව MarineTraffic සහ නැව් ලුහුබැඳීමේ දත්තවලට අනුව රොයිටර්ස් වාර්තා කළේ ය.
උපරිම බැරල් මිලියනයක ධාරිතාවක් තිබූ සහ එහි බරින් 65%ක් රැගෙන ගිය කුඩා ඉරාන ධජය සහිත සෙවින් නෞකාව ද ඇමෙරිකාව සිය භාරයට ගෙන ඇතැයි රොයිටර් වාර්තා කළේ ය.
නෞකාව අවසන් වරට මැලේසියාවේ වෙරළට ඔබ්බෙන් දැක ඇත්තේ මාසයකට පෙර ය.
ඉරාන ධජය සහිත සුපර් ටෑන්කර් නෞකාවක් වන ඩොරීනා නෞකාව ද ඇමෙරිකාව සිය භාරයට ගෙන ඇති අතර, සම්පූර්ණයෙන් ම බොරතෙල් බැරල් මිලියන 2ක් පටවාගෙන ඇති අතර, අවසන් වරට දකුණු ඉන්දියාවේ වෙරළට ඔබ්බෙන් දැක තිබුණේ මීට දින තුනකට පෙර බව මැරීන් ට්‍රැෆික් වෙබ් අඩවිය සහ නැව් ලුහුබැඳීමේ දත්ත මගින් පෙන්නුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.
ඩොරීනා නෞකාව නාවික අවහිර කිරීම උල්ලංඝනය කිරීමට උත්සහ කිරීමෙන් පසු ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාවක ආරක්ෂාව යටතේ ඇති බව එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානය බදාදා Xහි පළ කළ සටහනකින් පැවසීය.
ඉරාන ධජය සහිත ඩෙරියා නෞකාව ද ඇමෙරිකානු හමුදා භාරයට ගන්නට ඇතැයි නෞකා ප්‍රවාහන ආරංචි මාර්ග පවසයි. ඉරාන බොරතෙල් මිල දී ගැනීම සඳහා එක්සත් ජනපදය ලබා දුන් නිදහස් කාල සීමාව පසුගිය ඉරිදා ඉකුත් වීමට පෙර එම නෞකාවට ඉරාන ඉන්ධන තොගය ඉන්දියාවට ගොඩ බැසීමට නොහැකි වී ඇති බවද රොයිටර්ස් වාර්තා කළේ ය.
මැරීන් ට්‍රැෆික් දත්තවලට අනුව, එම නෞකාව අවසන් වරට දක්නට ලැබී ඇත්තේ ඉකුත් සිකුරාදා ඉන්දියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ය.
ඉරාන වරායන්ට ඇතුළු වන හෝ පිට වන නැව් අවහිර කිරීම ආරම්භ කළ දා සිට, එක්සත් ජනපද හමුදා නැව් 31ක් ආපසු හැරවීමට හෝ පැමිණි වරායට ම ආපසු යාමට නියෝග කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානය පැවසීය.