ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද ද සිල්වා අධිකරණයේදී සාක්ෂි දෙමින් පැවසුවේ මොනවා ද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මැයි 12 වන දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවැත්විණි.
එහිදී මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළහ.
ඒ අනුව, වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක් ද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙහිදී මරණකරුගේ ශරීරයෙන් ලබා ගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියහ.
ජංගම දුරකතනය විවෘත කිරීමට 'නොහැකි තත්ත්වයක්'
එමෙන් ම, සැකකරුගේ ජංගම දුරකතනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ (Face ID) භාවිත කර ඇති බැවින් එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඒ හේතුවෙන් අදාළ ජංගම දුරකතනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කර විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියහ.
අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙළ බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු දෙමින් පොලිස් නිලධාරීන් සඳහන් කළේ, එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවත් ය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අමතමින්: "සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේ ම කඩදාසියක එතූ හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළා ද?" යනුවෙන් විමසීය.
එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශසයේ නිලධාරීහු පැවසූහ.
ඉන් අනතුරුව මෙම ඖෂධ මෝසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බව ද පොලිසිය පැවසීය.
ඒ අනුව, පොලිසිය විසින් කරන ලද ඉල්ලීම්වලට අධිකරණය විසින් අවසර දීම මෙහිදී සිදු විය.
අරවින්ද ද සිල්වාගේ සාක්ෂිය
කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙහෙයවීම යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ සාක්ෂි සටහන් කර ගැනීම ද මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සිදු විය.
එහිදී අරවින්ද සිල්වා විසින් කපිල චන්ද්‍රසේනට ඇප නියම කිරීමෙන් පසුව ඇපකරුවන් ඉදිරිපත් කර ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කර ගත් ආකාරය විස්තර කළේ ය.
"මියගිය කපිල චන්ද්‍රසේන මගේ බිරිඳගේ නැගණියගේ ස්වාමියා. ඔහු බාන්ස් ප්‍රදේශයේ තනියමයි පදිංචිව සිටියේ. නිවසේ මෙහෙකරුවන් හිටියා. බන්ධනාගාරගත වුණාට පස්සේ මම කපිලව කීප වතාවක් ගිහින් බන්ධනාගාරයේදී හමුවුණා.
"ඇප තැබීමෙන් පසුව මම මගේ කාර්යාලයේ සේවය කරන ගනේෂ් නමැත්තාට කිව්වා කපිලව ගිහින් ගෙදර එක්ක එන්න කියලා. ඒ වගේ ම වයිෆ්ට මම කතා කරලා කිව්වා දවස් ගණනාවක් හරියට කෑමක් නැති නිසා මොනවා හරි කන්න හදලා දෙන්න කියලා.
"පස්සේ මම ගෙදර යනකොට කපිල ඇවිල්ලා හිටියා. මට කිව්වා 'මහන්සියි, වොෂ් එකක් දාගන්න ඕන කියල' පස්සේ එයාගේ ගෙදරට ගියා," යනුවෙන් අරවින්ද සිල්වා පැවසීය.
"පසුව මැයි 7 උදේ මට කතා කළා. මම අමාරුවේ වැටුණු වෙලාවේ කවුරුත් හිටියේ නෑ. ඔයාලා විතරයි හිටියේ. ස්තූති කළා. විනාඩි දහයක් පහළොවක් කතා කළා. දවල් වෙද්දී මට මැසේජ් කීපයක් ආවා කපිලට ප්‍රශ්නයක් කියලා.
"පස්සේ මමත් කපිලට කතා කරලා ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක් ද කියලා. ආයේ උසාවි කේස් එකක් තියෙනවා කියලා එයා කිව්වා. මම කපිලට ගෙදර එන්න කිව්වා. ලෝයර්ට කතා කරමු කියලා මම කිව්වා.
"මම ඔෆිස් එකේ ඉඳලා ගෙදර එනකොට කපිල ඇවිල්ලා හිටියා. අපි ලෝයර්ට කතා කලා. ලෝයර් කිව්වා විස්තර හරියට දැනගන්න ඕන කියලා. ඊට පස්සේ අපි කපිලව ගෙදර තියලා, මමයි නෝනයි කපිලට ඇප තියපු සියලු දෙනයි රියන්සි සර් හම්බවෙන්න ගියා.
"රියන්සි සර් කිව්වා කපිලව හෙට උදේ උසාවියට ඉදිරිපත් කරන්න ඕන. නීතිඥවරයෙක් එවන්නම් කියලා කිව්වා. ඒ අනුව රාත්‍රී 11ට පමණ නීතිඥ ප්‍රියන්ත කතා කළා.
"කතා කරලා කිව්වා හෙට උදෙන් ම කපිලව උසාවි එක්ක යන්න එනවා කියල. පසුව ඇඳුම් ගන්න කපිල එයාගේ ගෙදරට යන්න ඕන කිව්වා. මම කිව්වා 'රෑ වෙලා නිසා දැන් යන්න එපා, කාව හරි යවලා ගෙන්නගමු' කියලා.
"ඊට පස්සේ කපිල එයාගේ ගෙදර වැඩ කරන අයට කතා කරලා කිව්වා බෙහෙත්, ඇඳුම් සහ ජිම් මැට් එකක් එවන්න කියලා. මම එයාගෙන් ඇහුවා 'මොකද මචං ජිම් යන්න ද හදන්නේ' කියලා. එතකොට එයා කිව්වා 'ඇඳුම් එල්ල ගන්න ඒක ඕනේ' කියලා.
"පස්සේ මගේ ඩ්‍රයිවර්ලා කපිලගේ ගෙදරට ගිහිල්ලා ඒ බඩු ටික අරන් ඇවිත් අපේ ගෙදර මේස උඩ තිබ්බා. පස්සේ මම කපිලට කාමරය පෙන්නුවා. ඒ.සී. එකත් දාලා දුන්නා.
"ඒ වෙලාවේ කපිල නිතර ම කිව්වේ එළියට ඇවිල්ල දවසයි. මාව ආයෙත් දාන්න හදනවා කියලා. මම කිව්වා 'වොරි වෙන්න එපා. රිලැක්ස් වෙන්න. හෙට උදේ එන දේකට මුහුණ දෙමු' කියලා. ඊට පස්සේ මම මගේ කාමරයට ගියා. එතකොට රෑ 12.30 විතර ඇති," ඔහු තවදුරටත් පැවසීය.
"පහුවදා උදේ හතට විතර මගේ ටෙලිෆෝන් එක නාද වුණා. ලෝයර් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. මම ඉන්න කිව්වා. පස්සෙ ෆයිෆ්ට කිව්වා ලෝයර්ට තේ එකක් හදලා දෙන්න කියලා.
"පස්සේ මම කපිලට ටෙලිෆෝන් එකෙන් කතා කළා. ආන්සර් කළේ නෑ. පස්සේ මම කාමරයේ දොරට තට්ටු කළා. රෙස්පොන්ස් එකක් නැති නිසා අනිත් කාමරයෙන් ඇවිල්ලා බාත්රූම් එකට තට්ටු කලා. පස්සේ මම ඔෆිස් යන්න ලෑස්ති වුණා.
"වයිෆ්ට කිව්වා 'කපිලට ඉක්මනට උසාවි යන්න ලෑස්ති වෙන්න කියන්න' කියලා. පස්සේ කපිලගේ කාමරයේ දොරට තට්ටු කරලා ප්‍රතිචාරයක් නැති නිසා මාස්ටර් කී එක යොදාගෙන කාමරයේ දොර විවෘත කළා.
"ඒ වෙලාවේ තමයි වයිෆ් සහ ලෝයර් මේක දැකලා තියෙන්නේ. මම ඒ ස්ථානයට ගියේ නෑ. බය නිසා මම පහළට ගියා. පස්සේ ඩර්ඩන්ස් රෝහලට කතා කළා. කොල්ලුපිටිය පොලිසියේ ඕ.අයි.සීටත් මම කතා කළා. කපිල කාමරයේ සිහි නැතිව ඉන්නවා කියලා කිව්වා. පස්සේ ඇම්බියුලන්ස් එකෙන් ඇවිල්ලා වෛද්‍යවරු පරීක්ෂා කළා. එයා මැරිලා කියලා කිව්වා," යනුවෙන් පැවසීය.
'මරණය ගැන සැකයක් තියෙනවා ද?'
කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සැකයක් තිබේ දැයි මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අරවින් ද සිල්වාගෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් අරවින්ද ද සිල්වා මෙසේ පැවසීය: "මම කොහොම ද සැක කරන්නේ. එයා නිදාගෙන හිටියේ කාමරේ," යනුවෙන් සඳහන් කළේ ය.
ඉන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් විය.
අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ සාක්ෂිය
පසුව අරවින්ද ද සිල්වාගේ බිරිඳ ප්‍රියංගා අනුෂ්කා විජේනායක අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා ය.
"කපිල චන්ද්‍රසේන විවාහ වුණේ මගේ නැගණිය සමග. විවාහ වී වසර 24ක් පමණ වෙනවා. මගේ නැගණිය දැන් ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ.
"කපිල තනිවම මෙහි ජීවත් වුණා. කපිල නිතර අපේ ගෙදරට යන එන කෙනෙක් නෙවෙයි. අවුරුදු දහයකට හතර සැරයක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇප ලැබුණට පස්සේ කපිල දවල් අපේ ගෙදර ආවා. මම ආහාර ලබා දුන්නා. වෝටර්මෙලන් ජූස් දෙකක් බිව්වා. ලම්ප්රයිස් බත් පැකට් එකක් දුන්නා. කිරි කෝපි එකක් හදලා දුන්නා. එතකොට දවල් 2.00ට විතර ඇති. ඊට පස්සේ එයාගේ ගෙදරට ගියා," ඇය පැවසීය.
"පසු දා සවස ආයේ කපිල අපේ ගෙදර ආවා. මගේ ස්වාමිපුරුෂයා අරවින්ද කිව්වා ලෝයර්ස්ලා හම්බවෙන්න යන්න ලෑස්ති වෙන්න කියලා. අපි රාත්‍රී 7.00ට පමණ ලෝයර් හම්බෙන්න ගියා.
"රෑ වෙලා නිසා එනකොට කෑමත් අරගෙනයි ආවේ. කපිල උඩ තට්ටුවේ හිටියා. කපිල අපේ නිවසට ආවට පස්සේ කවුරුත් අපේ නිවසට ආවේ නෑ. රාත්‍රී 11.00ට පමණ මම පුතා එක්ක නින්දට ගියා. කපිල හිටියේ ලොකු පුතාගේ කාමරේ. පසුදා උදේ හතරට පමණ මම අවදි වුණා.
"අරවින්ද කතා කරලා කිව්වා ලෝයර් ඇවිල්ලා ඉන්නවා තේ එකක් හදලා දෙන්න කියලා. පස්සේ කපිල ආවේ නෑ. මම ලෝයර් එක්ක ගිහිල්ලා කාමරේ දොරට තට්ටු කළා. දොර ඇරියේ නෑ.
"පස්සේ මාස්ටර් කී එක අරන් ඇවිල්ලා මම දොර ඇරියා. දොර ඇරලා අඩියයි තිබ්බේ. ඇඳේ කවුරුත් හිටියේ නෑ. පුටුව බාත්රූම් එක පැත්තට හරවලා තිබුණා. ලෝයර් කිව්වා 'එළියට යමු' කියලා.
"පස්සේ හොස්පිටල් එකට කෝල් කළා. ඇම්බියුලන්ස් එකෙන් ඇවිල්ල ඩොක්ටර් පරීක්ෂා කළා. පස්සේ තමයි දැනගත්තේ මැරිලා කියලා," යනුවෙන් සාක්ෂිකාරිය වැඩිදුරටත් පැවසුවා ය.
පොලිසිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ඇය පැවසුවේ මෙම මරණය සම්බන්ධයෙන් තමන් තුළ සැකයක් නොමැති බවයි.
තමා මරණකරු හඳුනාගත් බවත් සාක්ෂිකාරිය වැඩි දුරටත් සඳහන් කළා ය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 14 වන දා දක්වා කල් තැබිණි.