ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත්වීම දැවැන්ත බලපෑමක් විය හැක්කේ ඇයි?
- Author, ෆයිසල් ඉස්ලාම්
- Role, ආර්ථික කර්තෘ
- කියවීමේ කාලය: මිනිත්තු 5
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඛනිජ තෙල් අපනයනය කරන රාජ්‍යයන්ගේ එකතුවක් වන Opec සංවිධානයෙන් ඉවත්වන බවට හදිසියේ කළ ප්‍රකාශය, දැඩි ලෙස අවධානයට ලක් කළ යුතු කරුණකි. එමිරේට්ස් 1971දී ජාතික රාජ්‍යයක් බවට පත්වීමටත් පෙර සිට ම Opec සාමාජිකත්වය දැරීය.
ඔපෙක් යනු, ප්‍රධාන වශයෙන් ගල්ෆ් කලාපයේ ඛනිජ තෙල් අපනයන කරන රටවල්වලින් සැදුම්ලත් සංවිධානයක් වන අතර, දශක ගණනාවක් පුරා නිෂ්පාදනය අඩු කිරීම හෝ වැඩි කිරීම සහ සාමාජික රටවලට හිමි කෝටා මත බොර තෙල් මිල පාලනය කළ සංවිධානයකි. 1970 දශකයේ පැවති ඉන්ධන අර්බුදයේදී ඔපෙක් සංවිධානය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර, එම සිදුවීම් ලොව පුරා රටවල් සිය බලශක්ති ප්‍රතිපත්ති හසුරුවන ආකාරයෙහි ප්‍රධාන වෙනස්කම් ඇති කළේ ය.
ඔපෙක් සංවිධානය තුළ ඉන්ධන නිෂ්පාදනයේ ආධිපත්‍යය සෞදි අරාබිය දරන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි දෙවන ඉහළ ම අමතර නිෂ්පාදන ධාරිතාව හිමි රාජ්‍යය වේ. වෙනත් වචනවලින් කිවහොත්, ඉන්ධන මිල පහළ දැමීම සඳහා නිෂ්පාදනය ඉහළ නැංවීමේ හැකියාව තිබුණු දෙවන වැදගත් ඉන්ධන නිෂ්පාදක රට ද එයයි.
සැබවින් ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔපෙක් සංවිධානය තුළ තම භූමිකාව පිළිබඳව දීර්ඝකාලීනව සලකා බැලීමට හේතු වූයේ ද මෙය යි. සරලව කිවහොත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තමන් ආයෝජනය කළ ඉන්ධන නිෂ්පාදන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය විය.
ඔපෙක් කෝටා අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට නිෂ්පාදනය කළ හැකි බැරල් ගණන මිලියන 3–3.5 අතර ගණනකට සීමා විය. අදායම් අහිමිවීම් සම්බන්ධයෙන් ගත් කල, ඔපෙක් සාමාජිකත්වය නිසා සිදු කිරීමට වූ කැප කිරීම්වල වැඩි කොටසක් ඔවුන්ට විඳ දරා ගැනීමට සිදුවිය.
කෙසේ වෙතත්, මෙය සිදුවන කාලවකවානුව ඉරාන යුද්ධයේ ප්‍රතිවිපාක ගැන ඉඟි කරයි. ගල්ෆ් කලපයේ පවතින දැඩි ආතතිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරානය අතර සබඳතාවට බලපා ඇති අතර සෞදි අරාබිය සමග දැනටමත් පළුදු වී ඇති සබඳතාවට ද එය බලපෑ හැකි ය.
ඔපෙක් සම්බන්ධයෙන් ගත් කල, එහි දිගුකාලීන සහජීවනය පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු වන මොහොතක මෙය විශාල බලපෑමක් වනු ඇත.
වැදගත් ම දෙය එය නොවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තම ඉන්ධන මුහුදු මගින් හෝ නළ මගින් යළිත් පූර්ණ වශයෙන් අපනයනය කිරීමට හැකි වූ විට ඔවුන් දිනකට බැරල් මිලියන 5ක් නිෂ්පාදනය කිරීමට ඉඩ තිබේ. සෞදි අරාබිය 'ඉන්ධන මිල යුද්ධයකින්' ඊට ප්‍රතිචාර දැක්විය හැකි නමුත් විවිධාංගීකරණය වූ අදායම් මාර්ග ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එය දරාගත හැකි වනු ඇත. කෙසේ වෙතත්, එය දිළිඳු ඔපෙක් සාමාජික රටවලට එය කළ නොහැකි වනු ඇත.
ඊළඟට සිදුවන්නේ කුමක් ද යන්න බොහෝ දුරට රඳා පවතින්නේ සෞදි අරාබිය ප්‍රතිචාර දක්වන ආකාරය මත ය.
එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීහු, හෝමූස් සමුද්‍ර සන්ධිය මගහැර, අබුඩාබිවල පිහිටි ඉන්ධන නිධිවල සිට එතරම් භාවිත නොවන ෆුජෙයිරා වරාය වෙත යන නව නළ මාර්ග පිළිබඳ කතා කරති.
අදටත් එක් නළ මාර්ගයක් බහුලව භාවිත වන නමුත්, නිෂ්පාදනය වැඩිවීම සහ ගල්ෆ් කලාපයේ නෞකා ගමනාගමනයේ සුමට බව සහ ඒ සඳහා වැය වන පිරිවැයේ ස්ථිර වෙනසක් සමග කටයුතු කිරීමට වැඩි ධාරිතාවක් අවශ්‍ය වනු ඇත.
දැනට, හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ අවහිර දෙකක් ක්‍රියාත්මක වන පසුබිමක, ඉන්ධන වෙළෙඳපොළට සිදුව ඇති ප්‍රධාන බලපෑම මෙය නොවන අතර, ඉන්ධන, ගෑස්, පෙට්‍රල්, ප්ලාස්ටික් සහ ආහාර මිල ගණන්වලට ද එය බලපා තිබේ.
බොර තෙල් බැරලයක මිල ඩොලර් 110ක් ලෙස සටහන් වී තිබුණ ද හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති ආතතීන් හෝ බාධාවන් කාලෝචිත ලෙස විසඳා ගතහොත්, ඇතැම් විට එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණයට පෙර ඒවා සැලකිය යුතු ලෙස පහත වැටීමට (ලබන වසරේදී ඩොලර් 50ක් දක්වා පමණ) තවමත් ඉඩ තිබේ.
1970 දශකයේ තිබූ තත්ත්වයට වඩා වර්තමානයේ ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඔපෙක් සංවිධානයට ඇති වැදගත්කම අඩු ය. එවකට ජාත්‍යන්තරව ඉන්ධන වෙළෙඳාමෙන් 85%ක් ඔවුන් සතුවූ අතර, අද එය 50%කට ආසන්න ය. 1970 දශකයට වඩා ඉන්ධන ද ලෝක ආර්ථිකයට ඇති කරන්නේ අඩු බලපෑමකි. ලීවරය ඔපෙක් සංවිධානය සතුව තිබුණ ද ඔවුන්ට ඒකාධිකාරයක් නොමැත.
ඔපෙක් සංවිධානයේ ප්‍රධානියා වූ සෞදි අරාබියේ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂෙයික් යමානි මෙසේ පැවසූ බව මගේ මතකයට නැගෙයි: "ගල් යුගය අවසන් වුණේ ලෝකයෙන් ගල් නැති වෙලා ගිය නිසා නෙවෙයි. තෙල් යුගයත් ලෝකයේ තෙල් නැති වීම නිසා අවසන් වන්නේ නැහැ," මෙය හයිඩ්‍රොකාබන වෙනත් බලශක්ති ප්‍රභවයන් මගින් ප්‍රතිස්ථාපනය කරන ලෝකයක් පිළිබඳව පුරෝකථනය කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාමාර්ගය තේරුම් ගත හැකි එක් ක්‍රමයක් නම්, එය ලෝකය ඉන්ධන මත යැපීම අඩුවීමේ ලකුණක් ලෙස වටහා ගැනීම ය. වත්මන් අර්බුදකාරී තත්ත්වය තුළ එය තවත් ඉඟි කිහිපයක් ලබා දෙයි: එනම්, චීනය විද්‍යුත්කරණය සඳහා කරන ලද ආයෝජන, ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාමෙන් ඇති වූ ආර්ථික බලපෑම සමනය කිරීමට උපකාරී වීම ය.
ඇතැම් ගණනය කිරීම්වලට අනුව, චීනයේ මෝටර් රථ, ලොරි සහ දුම්රිය විද්‍යුත්කරණය කිරීම නිසා ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ ඉන්ධන ඉල්ලුම දිනකට බැරල් මිලියනයකින් පමණ අඩු වී ඇත. ලොව පුරා මෙම ප්‍රවණතාව වේගවයෙන් වර්ධනය වන විට ගෝලීය ඉන්ධන ඉල්ලුම ස්ථාවර විය හැකි ය.
මෙම දෘෂ්ටි කෝණයෙන් බලන කල, ඉල්ලුම දැඩි ලෙස කඩා වැටීමට පෙර හැකි ඉක්මනින් ඉන්ධන සංචිතවලින් හැකි තරම් මුදල් ඉපැයීම සාධාරණ යැයි සිතිය හැක. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මූල්‍යමය ශක්තියක් සහ මූල්‍ය සේවා හා සංචාරක ව්‍යාපාරය හරහා අර්ධ වශයෙන් විවිධාංගීකරණය වූ ආර්ථිකයක් ඇත.
ගල්ෆ් කලාපයේ ගැටුම නතර වන්නේ ද? එය සිදුවන්නේ සහ කවදා ද? නව සාමාන්‍ය තත්ත්වය කුමක් වේ ද? යන්න මත බොහෝ දේ රඳා පවතී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීම තවත් රටවල් එවැනි තීරණ ගැනීමට පෙළඹවිය හැකි අතර දැන් සෞදි අරාබිය මත සැලකිය යුතු පීඩනයක් එල්ල වනු ඇත.
නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ආරම්භ වූ විට, හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව නළ මාර්ග සැදීමේ උත්සහය දෙගුණ කළහොත්, එමීර් රාජ්‍යයේ ඉන්ධන ඔපෙක් බැඳීම් මගින් සීමා නොවී, පෙර නොවූ විරූ ලෙස බෙදා හැරෙනු ඇත.
මෙය වත්මන් අවහිර කිරීම්වලට සුළු බලපෑමක් පමණක් ඇති කළ ද, පසුව සියල්ල වෙනස් කළ හැක.