රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු මොනවා ද?

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතින අතර ගත වූ සති කිහිපය තුළදී රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල (මැයි මස 20) ශ්‍රී ලංකා රුපියල් 342.07ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති විදේශ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රමයෙන් ඉහළ යෑම ආරම්භ වී ඇති බව පෙන්නුම් කරයි.

ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගිය අයුරු

මෙම වසරේ ආරම්භයේ දී ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 309.98ක් ලෙස සටහන්ව තිබිණි. කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ක්‍රමයෙන් ඉහළ යෑම පසුගිය මාර්තු මස 03 වනදා සිට ආරම්භ වී ඇති අයුරු නිරීක්ෂණය වේ.

මාර්තු මාසයේ පළමු සතියේදී ඇමෙරිකානු ඩොලරයේ අගය ක්‍රමයෙන් ඉහළ යාම ආරම්භ වූ අතර එහිදී ඩොලරයේ අගය රුපියල් 310.29ක් ලෙස සටහන්ව තිබිණි.

පෙබරවාරි මස 28 වනදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ කර තිබිණි. එම කාලසීමාව තුළ විනිමය අනුපාත අගයන් ක්‍රමයෙන් ඉහළ යමින් තිබු අතර මාර්තු මාසය අවසානය වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 315.19ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

අප්‍රේල් මාසය අවසානය වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 319.34ක් ලෙස පැවති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් නිරීක්ෂණය වේ.

කෙසේ වුවද (මැයි 19 වැනිදා) ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 342.07ක් ලෙස පැවති අතර මෙරට ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 339.50ක් ලෙස සටහන් විය.

'රුපියල 4.8% කින් අවප්‍රමාණය වෙලා'

මේ අතර නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.8% කින් අවප්‍රමාණය වී ඇති බවය.

"විශේෂයෙන් 2026 වසර තුළදී නැගී එන පීඩනය සහ ඉහළ යන ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය සහ වෙනත් විදේශ මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ආරම්භයේ සිටම අඛණ්ඩව මාස දෙකක් තුළදී මාසිකව අති ප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මැදපෙරදිග ගැටුම් ආරම්භ වීමෙන් පසුව විදේශීය අංශයේ නැගී එන පීඩනයන් නිසා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 4.8% කින් අවප්‍රමාණය වෙලා තියෙනවා.

කලාපයේ අනිත් රටවල මුදල් ඒකක ඊටත් වඩා අවප්‍රමාණය වෙලා තියෙනවා. මේ යුද තත්ත්වය තුළදී අත්පත් කරගත්තු තත්ත්වයේදී අනිකුත් විදේශ මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඩොලරය අධි ප්‍රමාණය වෙලා තියෙනවා. ඒ නිසයි කලාපයේ අනිකුත් රටවලට සාපේක්ෂව අපේ 4.8%ක අවප්‍රමණයක් තියෙන්නේ. ගෝලීය අවිනිශ්චිතතාවයන් ඉහළ යෑම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙදපල අවදානම් නොගැනීමේ ප්‍රවණතාවය ඉහළ යෑම නිසා මැදපෙරදිග යුද ගැටුම් නිසා ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙලා තියෙනවා.

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවට බොරතෙල් සහ ගෑස් ආනයන වියදම් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම යුද ගැටුම් හේතුවෙන් සංචාරක කර්මාන්තයට එල්ලවී ඇති බලපෑම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද එය බාධාවක් වී තිබෙනවා." නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඩොලරයේ අගය ඉහළ ගියේ ඇයි ?

ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් ලෙස මෙරට වෙළෙඳපොළේ ඩොලර් හිඟවීම සහ රුපියල් වැඩිවීම හේතුවක් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි. බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ඇමෙරිකානු ඩොලර් හිඟයක් පවතින බවය.

"සාමාන්‍යයෙන් විනිමය අනුපාතිකය කියලා කියන්නේ අපි රුපියල් දීලා ඩොලර් ගන්න ගියොත් ගෙවන්න ඕන මිල. එතකොට ඒ මිල තීරණය වෙනවා කරුණු දෙකක් මත. පළමු එක වෙළෙඳපොළේ ඩොලර් තියෙන ප්‍රමාණය අනුව මිල තීරණය වෙනවා. එතකොට වෙළෙඳපොළේ ප්‍රමාණවත් තරම් ඩොලර් නැත්නම් ඒකෙ මිල ඉහළ යනවා. ඒ හරහාත් යම් කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා.

මොකද පසුගිය කාලවලදී සංචාරක කර්මාන්තය දළ වශයෙන් අඩපණවීමක් සිද්ධ වුණා පවතින භූ දේශපාලන අස්ථාවරයත් එක්ක. රටට ඩොලර් පැමිණීමේ පොඩි අඩුවක් තියෙනවා. ඉල්ලුම සැපයුම අනුවයි මේක තීරණය වෙන්නේ. මේ නිසා ඩොලර් මිලදී ගන්න ගියාම මේ වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් මිල ඉහළ යනවා.

පසුගිය මාස කිහිපයේදී අපිට සමස්තයක් විදිහට අපනයන, විදේශ ප්‍රේෂණ සහ සේවා වලින් රටට ලැබිච්ච ඩොලර් ප්‍රමාණය ගත්තම රටේ ඩොලර් අතිරික්තයක් තිබුණා. ඒකට හේතුවක් තමයි ඒ වෙලාවේදී මහ බැංකුව මාර්කට් එකේ තිබුණ ඩොලර් ටික මිලදී ගත්තා. ඒකට තමයි සංචිත ගොඩනගනවා කියන්නේ. ඇත්තටම සංචිත අවශ්‍යයි අපිට.

හැබැයි මතක තියා ගන්න අවශ්‍ය දේ තමයි සැපයුම පැත්තෙන් ගත්තම ඩොලර් අඩුවෙලා තියෙනවා. අනික් අතින් ගත්තම ඉල්ලුම වැඩි වෙලා තියෙනවා ඩොලර් එකට. ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩිවෙන ප්‍රධාන කරුණක් හැටියට මම දකින්නේ වෙළෙඳපොළට වැඩිපුර රුපියල් සැපයීමයි. මොකද අපි බැංකු වලට ගිහින් ඩොලර් ගැනුම් කරන්නේ රුපියල් දීලා." ඔහු පැවසුවේය.

'රටෙන් එලියට යන ඩොලර් ප්‍රමාණය වැඩියි'

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වූ නිවේදනයන්ට අනුව 2025 වසරේදී වාහන ආනයනය සඳහා වැය කර ඇති සම්පුර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2,047ක් වේ.

එමෙන්ම 2026 වසරේ පළමු මාස තුන සඳහා වාහන ගෙන්වීම සඳහා වැය කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 613ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. සමස්ථයක් වශයෙන් ගතවු මාස 15ක කාල සීමාව තුලදී මෙරටට වාහන ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 2,660ක් ලෙස එම වාර්තාවේ සටහන් වේ.

වාහන ගෙන්වීම, ඉන්ධන ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩ හා සේවා ගෙන්වීම හේතුවෙන් මෙරටින් ඩොලර් පිටරටට ඇදී යාම ද රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමට හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේය.

"උදාහරණයක් විදිහට හිතමු අපි කම්පියුටර් එකක් මිලදී ගන්නවා එහෙමත් නැත්නම් මෝටර් රථයක් මිලදී ගන්නවා කියලා.එතකොට රටින් ඩොලර් යම් ප්‍රමාණයක් පිටට යනවා. වාහනයක් එහෙම ලංකාවට ගේන්න ජපානයට ඇණවුමක් දෙන කොට ඒ වෙනුවෙන් මුදල් ගෙවීමේදී ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට යනවා. මේ වගේ දේවල් අවුරුද්දක් අවුරුදු එකහමාරක් සිද්ධ වෙන කොට ක්‍රමයෙන් බැංකු පද්ධතියට එකතු වෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ එක්කම ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කාලයත් එක්ක. මම හිතන විදිහට අපේ පද්ධතියේ රුපියල් ප්‍රමාණය වැඩි වශයෙන් ගැවසෙනවා කියලයි මට හිතෙන්නේ මේ වෙන කොට. ඒකත් එක හේතුවක් ඩොලර් එකේ අගය වැඩි වෙන්න.

අනිත් අතින් ගත්තම ඛනිජ තෙල් වලට වුණත් තියෙන ඉල්ලුම එන්න එන්න වැඩි වෙනවා. ජනතාව වාහනවලට තෙල් ගහනවා, විනෝද සංචාරවල එහෙම යනවා. ගෝලීය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අපේ රටේ පවතින ඉන්ධන මිලේ යම් අඩුවක් තියෙනවා. මෙතැනදී කරන්න පුළුවන් දේ තමයි වෙළෙඳපොලේ මිලට ඉන්ධන මිල ගලපන්න ඕන. ඒක ජනප්‍රිය තීරණයක් නෙමයි. නමුත් තෙල් මිල වෙළෙදපොලේ මිලට ගලපනවත් එක්කම රටේ දුප්පත්ම ජනතාවට යම් කිසි සහනාධාරයක් දෙන්න ඕන. දැන් කරලා තියෙන විදිහට තෙල් මිල සමස්තයක් විදිහට අඩුකරලා තියෙන්නේ, ඒකෙ වැඩිපුරම වාසිය යන්නේ වැඩියෙන්ම තෙල් පාවිච්චි කරන අයටයි." ඔහු පැවසුවේය.

'ඉන්ධන මිල ගැලපුම් කිරීම IMF කොන්දෙසියක්'

රුපියල අවප්‍රමාණය වීම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් 2022 වසරේදී මෙන් නැවත මෙරට ආර්ථික අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩ තිබේද යන්න පිළිබඳ බීබීසී සිංහල කළ විමසීමට පිළිතුරු දෙමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු කියා සිටියේ මෙරට ආර්ථික හැසිරීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ඊට හේතුවක් වන බවය.

"මේ වෙලාවෙදී අපි රටේ ඉන්ධන මිල වෙළෙඳපොළේ පවතින මිලට ගලපන්න ඕන. නැත්නම් අපි ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. පළවෙනි එක තමයි IMF එකේ මීළඟ වාරිකය සම්බන්ධ සමාලෝචනය තියෙන්නේ මේ මාසේ 27 හෝ 28. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැටියට විදුලිබිල වගේම ඉන්ධන මිල පිරිවැයට ගලපන්න ඕන කියන එක.

ඉන්ධන මිල වෙළෙඳපොළේ වත්මන් පිරිවැයට ගලපද්දී ප්‍රශ්න කිහිපයක් ඇති වෙනවා. පිරිවැයට ගලපන එකත් ලේසියෙන්ම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉන්ධන මිල පිරිවැයට ගලපපු ගමන්ම උද්ධමනය ගණනය කරන ඒකකවල මිල අගයන් වැඩි වෙනවා. එතැනදී විදුලි බිල, වතුර බිල ඉහළ යන්න පුළුවන්. මෙතැනදී මහ බැංකුව උද්ධමනය ඉහළ යන එක සීමා කරන්න පොලි අනුපාත වැඩි කරන්න ඉඩ තියෙනවා. එහෙම එතැනදී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වලට යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසයි මේක අමාරු තීරණයක් වෙන්නේ.

මගේ අදහස තමයි ඉන්ධන මිල වෙළෙදපොලේ මිලට සමාන කරන්න වෙනවා. 2023 සහ 2024 වසරවලට සාපේක්ෂව ගත්තම මේ වෙනකොට රටේ ඉන්ධන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා කියලා පෙනී යනවා. අපි ගන්න ප්‍රතිපත්ති තීරණත් එක්ක තමයි තීරණය වෙන්නේ ඉදිරියේදී යම් ආකාරයේ අර්බුදකාරී මට්ටමක් ඇතිවෙයිද කියලා."ඔහු පැවසුවේය.

'විදේශ ආයෝජන සීමාවීම ගැටලුවක්'

මේ අතර මෙරට ගෙවුම් ශේෂ ලේඛනයේ විදේශ මුදල් ආයෝජන සහ ලැබීම දැක්වෙන ප්‍රාග්ධන ගිණුම වර්ධනයක් අත්කර නොගැනීම ද ගැටලුවක් බව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ගීතානි බුලන්කුලම බීබීසී සිංහල වෙත පැවසුවේය.

ඇය පෙන්වා දුන්නේ ගතවූ කාල සීමාවේදී මෙරටට විදේශ ආයෝජකයින්ගේ පැමිණීම අඩුවීම ද රටේ ප්‍රාග්ධන ගිණුම වර්ධනයක් අත්කර නොගැනීමට හේතුවක් බවය.

"ලංකාවේ විතරක් නෙමෙයි ඕනෑම රටක තියෙන ශක්තිමත්ම කර ගන්න ඕන ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රාග්ධන ගිණුමයි. ආර්ථිකය ශක්තිමත් ද කියලා සොයා බලන්න පුළුවන් ක්‍රමවේදය තමයි ඒක. විදේශ වෙළෙඳාම වෙන්න පුළුවන්, කොටස් වෙළෙදපලේ ගනුදෙනු, විදේශ ආයෝජකයින් ඔය ඔක්කොම ඩොලර් ගිණුම් හැදෙන්නේ මෙතනයි.

අපේ ලංකාවේ පහුගිය කාල සීමාවේදී බැලුවම විදේශ ප්‍රාග්ධන ලැබීම් සහ ගෙවීම් කියන කොටසේ විදේශ ප්‍රාග්ධන ලැබීම්, විදේශ ආයෝජන ලැබීම් තියෙන්නේ සියයට 01කට වගේ ආසන්න අගයක්. අපිට මෑත කාලයේ දී ලංකාවට ආව ආයෝජකයෝ කවුද? අපිට ඩොලර් එන්න ඕන. විශේෂයෙන් ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් වෙච්ච අදානි ලංකාවේ ව්‍යාපෘතිය කරන්න බැහැ කියලා ගියා.

මිනිස්සුන්ට ආයෝජකයෙක් ඇවිත් ගියා කිව්වම ආර්ථික විද්‍යාව අතින් ගත්තම ඒ අපිට ගිලිහිලා යන්නේ විදේශ විනිමය ලැබීමක්. ඇත්තටම අපිට ආයෝජකයෙක් ඇවිත් ඩොලර් ලැබෙනවා කියන එක රටට ආශිර්වාදයක්. නමුත් අපිට පහුගිය කාල සීමාවේදී ලොකු විදෙස් ආයෝජන පැමිණීමක් රටට සිද්ධ වෙලා නැහැ.

මේකත් එක අතකින් රටට ඩොලර් ලැබීමේ හිඟයට හේතුවක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම අපේ අපනයන ආදායමට සාපේක්ෂව ආනයනය වියදම අධිකයි. මේ රටින් ඩොලරයේ ගිලිහි යෑම කොතැනද එතන රුපියල අවප්‍රමාණයට තමයි හේතුව. විශේෂයෙන් පහුගිය කාලේ සිද්ධ වූ වාහන ආනයනය කිරීමත් මේකට එක් හේතුවක්." ඇය සඳහන් කළාය.

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් පහළට

මේ අතර 2026 අප්‍රේල් මාසයේ සමස්ථ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් 2025 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 256.7 හා සැසඳීමේ දී එය 38.8%ක අඩුවීමක් බව පෙන්නුම් කරයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2026 අප්‍රේල් මාසයේ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 135,643 කි. 2025 අප්‍රේල් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 256.7ක් උපයා ඇත්තේ විදෙස් සංචාරකයින් 174,608ක පැමිණීමත් සමගින් ය.

මේ අතර 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ථ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් ලෙස වාර්තා වන අතර, එම කාලසීමාව තුළ උපයා ඇති සමස්ථ සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,111ක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.