ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිතාලි අයෝධ්‍යා: ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පසුගිය දා පැවති බංග්ලාදේශ තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි 20 තරගාවලි දෙක ම ජයග්‍රහණය කිරීමට සමත්විය.
එළඹෙන ජූනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙන T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය ඔවුන්ගේ ආත්ම විශ්වාසය නගා සිටුවීමට බෙහෙවින් උපකාරී වනු ඇත.
එම තරගාවලියේදී, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන පන්දු යවන නවක ක්‍රීඩිකාවක පිළිබඳව අවධානය යොමු වී තිබිණි.
ඇයගේ පන්දු යැවීමේ විලාසය ගැන බොහෝ දෙනෙකු අතර කතාබහකට ලක්වූයේ, එවැනි ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩිකාවක ක්‍රිකට් පිටියේදී දක්නට ලැබීම දුර්ලභ සිද්ධියක් වීම හේතුවෙනි.
'අමුතු ඉරියව්වකින්' පන්දු යවන මේ ක්‍රීඩිකාව කවුද?
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට නියෝජනය කිරීමට අවස්ථාව හිමි වූ මිතාලි අයෝධ්‍යා බණ්ඩාර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති විස්සයි 20 තරගාවලියේදී කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූවා ය.
ඇයගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගේ ඉරියව්වට සමානකමක් දක්වන අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.
කුඩා කාලයේදී ම ක්‍රිකට් ක්‍රීඩාවට එක්ව ඇති මිතාලිගේ උපන් ගම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කන්තලේ ප්‍රදේශයේ පිහිටි රජඇළ ගම්මානය යි. 2007 වසරේ ජනවාරි මස 13 වන දා උපත ලැබූ මිතාලිට තවත් එක් වැඩිමහල් සහෝදරියක සිටියි. මිතාලිගේ පියා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර මව ගෘහණියකි.
ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ අයුරු
මිතාලි සිය මූලික අධ්‍යාපනය ලද කන්තලේ රජඇළ විද්‍යාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී තිබිණි. එම පාසලේ ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ පහසුකම් නොතිබූ අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බව ඇය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවා ය.
"ඉස්කෝලේ ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම මුලින් ම සොෆ්ට් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරන්න ගියේ. පස්සේ මට ස්කූල් ක්‍රිකට් සෙල්ලම් කරන්න ඕන වුණ නිසා වෙන පාසලකට ගියා. ඒ නිසා මේ අවුරුද්දේදී මම කන්තලේ සෙන්ට්‍රල් කොලේජ් එකට ගියා ලෙදර් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරන්න ඕන නිසා. මම උසස් පෙළ කලා අංශයෙන් හදාරනවා. ඒ එක්ක ම මම දැන් පානදුර ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරනවා."
"සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරන කාලේදී මම 2022 අවුරුද්දේදී ටේප් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තා. අප්සාරි තිලකරත්න මැඩම් සංවිධාන කරපු ටේප් බෝල් ටූනමන්ට් එකට මම සෙල්ලම් කළා. එතැනදී මම සෙල්ලම් කරනවා දැකලා මාව දිස්ත්‍රික් ටීම් එකට ඇතුළත් කළා."
"ඊට පස්සේ මට අවුරුදු 23න් පහළ පළාත් කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. මේ වෙලාවේදී මම දස්කම් දක්වපු නිසා අවුරුදු 19න් පහළ පළාත් කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාව ලැබුණා, 2023 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී," ඇය පැවසුවා ය.
පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් වූ අයුරු
සියලු දෙනාගේ අවධානයට යොමු වී ඇති මිතාලි අයෝධ්‍යාගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ද බීබීසී සිංහල සේවය ඇයගෙන් විමසීමක් කළේ ය. එහිදී ඇය පැවසුවේ, තමන් හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩාවට යොමු වීමෙන් පසු පන්දු යැවීමේ ඉරියව්ව වෙනසට ලක්වූ බව ය.
"මම මුලින් ම බෝල් කළේ සාමාන්‍ය ඇක්ෂන් එකෙන්. පස්සේ මම ඉස්කෝලේ යන කාලයේදී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවට යොමු වුණා, සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන කාලයේ. හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවට යොමු වුණාට පස්සෙයි මගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් වුණේ," ඇය පැවසුවා ය.
මේ අතර තමන්ට අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවූ බව ද ඇය ප්‍රකාශ කළා ය.
"මම මැලේෂියා මැච්වලදී හොඳට සෙල්ලම් කළා. පස්සේ අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා. එතැනදී දක්ෂතා දක්වලයි කාන්තා ජාතික කණ්ඩායමට එකතු වෙලා බංග්ලාදේශ තරගාවලියට යන්න අවස්ථාව ලැබුණේ."
'මාලිංග සර්ව කවදා හරි දකින්න ආසයි'
මේ අතර, මිතාලි අයෝධ්‍යා පැවසුවේ තමන් කවදා හෝ දිනයක හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග හමුවීමට කැමැත්තෙන් සිටින බව ය.
"ලෝකයේ ම එහෙම ඇක්ෂන් එකක් තියෙන ගර්ල්ස්ලා නැහැ. මගේ බලාපොරොත්තුව කවදා හරි ලෝකයේ අංක එකේ පන්දු යවන්නිය වෙන්න. මම කවදා හරි බලාපොරොත්තුවෙන් ඉන්නවා මාලිංග සර්ව හම්බ වෙන්න. සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා," ඇය පැවසුවා ය.
මේ අතර, සිය පළමු විදෙස් තරග සංචාරයේදී ප්‍රවීණ ක්‍රීඩිකාවන්ගෙන් මෙන් ම කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් සහ පවුලේ සාමාජිකයින්ගෙන් ලැබුණ සහය පිළිබඳව ද මිතාලි අයෝධ්‍යා සිහිපත් කළා ය.
"මේ ටුවර් එක පුරාවට ටීම් එකේ පුහුණුකරුවන් වගේ ම අක්කලාගෙන් මට ලොකු සපෝර්ට් එකක් ලැබුණා. ග්‍රවුන්ඩ් එකේදී කොහොම ද සිටුවේෂන් එක හැන්ඩ්ල් කරන්නේ කියන එක වගේ ම ගොඩක් දේවල් මට එයාලා කියලා දුන්නා. මම විශ්වාස කරනවා ඒ අයගේ උදව් මට හැම දා ම ලැබෙයි කියලා. ඒ වගේ ම මගේ ගෙදර අයත් හැම වෙලාවෙ ම මගේ පස්සෙන් ඉන්නවා. මාව ඉදිරියට අරගෙන යන්නේ එයාලා," ඇය පැවසුවා ය.