සැකකරුවෙකුට අධිකරණය හමුවේ ශරීර ඇප තැබීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

අභිරහස් ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට පැමිණි ව්‍යාජ ඇපකරුවන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිද්ධියත් සමග සැකකරුවන් වෙනුවෙන් ඇප තැබීමට ඉදිරිපත් වන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන්ම ඇප තැබීමේදී ඇපකරුවන් ද සැලකිලිමත් විය යුතු කරුණු මොනවා දැයි අපි සොයා බැලුවෙමු.

සැකකරුවෙකුට නියම කරනු ලබන 'ඇපය' යනු කුමක්ද?

සැකකරුවෙකුට නියම කරනු ලබන 'ඇපය' යනු කුමක්ද? යම් කෙනෙකු ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වීමට භාර ගැනීමට පෙර අධිකරණය විසින් සලකා බලනු ලබන කරුණු මොනවාද?

යම් සැකකරුවකුට ඇප ප්‍රධානය කිරීමේදී අනුගමනය කළයුතු නීතිමය ප්‍රතිපාදන දැක්වෙන්නේ 1997 අංක 30 දරන ඇප පනත යටතේය.

නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සහ මහජන ආරක්ෂක පනතේ යටතේ වූ නියෝග මත සැකපිට හෝ චෝදනා ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් ඇප පනත අදාළ නොවන බවත් එම පනතේ 3(1) වගන්තියෙන් දක්වා තිබේ.

සැකකරුවෙකුගේ ඇප ප්‍රතික්ෂේප විය හැකි අවස්ථා

ඇප පනතේ 02 වන වගන්තියට අනුව ඇප දීම රීතියකි. ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකයක් ලෙස එහි දක්වා ඇත. ඉන් අදහස් වන්නේ ඇප දීම නීතිය බවයි.

ඇප ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ සඳහා පහත සඳහන් කොන්දේසි අදාළ විය යුතුය. ඇප පනතේ 14 (1) වගන්තිය තුළින් එම කොන්දේසි මොනවාදැයි සඳහන් කර ඇත.

එනම්

1. යම් සැකකරුවකු ඇප මත මුදා හැරීමෙන් පසු යළි නඩු විභාගය සඳහා ගෙන්වා ගත නොහැකි බවට හෝ

2. ඔහුට විරුද්ධව ඇති සාක්ෂිකරුවන් කෙරෙහි හෝ සාක්ෂි වලට අහිතකර ලෙස මැදිහත් විය හැකි බවට හෝ යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යාකාරයෙන් බාධා පැමිණවිය හැකි බවට හෝ

3. ඇප මත සිටින විට යළි වරදක් සිදු කළ හැකි බවට හෝ

4. සැකකරුවකු ඇප මත මුදා හැරිම හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවට විශ්වාස කළ හැකි හේතු අධිකරණයට ඉදිරිපත් වන අවස්ථාවක යම් සැකකරුවෙකුගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට අධිකරණයට බලය තිබේ.

සැකකරුවන්ට අධිකරණය නියම කරන ඇප මොනවාද?

අධිකරණ මගින් සැකකරුවකු ඇප මත මුදා හැරිය හැකි ආකාර ඇප පනතේ 7(1) වගන්තිය තුළින් පැහැදිලි කර තිබේ.

ඒ අනුව සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් වූ විට අධිකරණය ඔහු ඇප මත මුදා හැරීමට තීරණය කරන්නේ නම් ඇප පනතේ 7 (1) වගන්තිය ප්‍රකාරව විනිසුරුවරයෙකුට පහත ආකාරයන්ගෙන් ඇප නියම කළ හැකිය.

එනම්

1. අවශ්‍ය වූ විට අධිකරණයේ පෙනී සිටීම සඳහා එම සැකකරු විසින් ලබා දෙන පොරොන්දුවක් මත.

2. ඇපකරුවන් එක් අයෙකු හෝ ඊට වැඩි ගණනක් සමග සැකකරු විසින් බැඳුම්කරයක් ලියා අත්සන් කිරීම මත.

3. සැකකරුවකු විසින් ලබාදෙනු ලබන බැඳුම් ඔප්පුවක් මත.

4. අධිකරණය විසින් සාධාරණ යැයි තීන්දු කරන මුදලක් එම සැකකරු විසින් තැන්පත් කිරීම මත.

5. අධිකරණය විසින් නියම කරනු ලබන සාධාරණ සහතික ඇපයක් මත

එහෙත් වර්තමාන අධිකරණ ක්‍රියාකාරීත්වය දෙස සලකා බැලීමේදී අධිකරණය විසින් බොහෝවිට සිදු කරනු ලබන්නේ යම් පුද්ගලයෙකුට ඇප නියම කිරීමේදී එම තැනැත්තා මුදල් ඇපයක් සහ ශරීර ඇප මත මුදා හැරීමය.

යම් පුද්ගලයෙකු ඇපකරුවෙකු වශයෙන් භාර ගැනීමට සුදුසු දැයි තීරණය කරන්නේ කෙසේ ද?

අධිකරණය විසින් යම් සැකකරුවකු සහතික ඇපයක් හෝ ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කරන අවස්ථාවක ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.

එසේ ඉදිරිපත් වන ඇපකරුවන් 'ඇපකරුවන්' වශයෙන් පිළිගැනීමට සුදුසුදැයි තීරණය කෙරෙන්නේ ඇප පනතේ 10 වන වගන්තිය යටතේය.

එම වගන්තියට අනුව යම් සැකකරුවකු ඇප මත මුදාහළ අවස්ථාවක ඔහුගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වන පුද්ගලයින් ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වීමට භාර ගැනීමට පෙර අධිකරණය විසින් ප්‍රධාන කාරණාවක් වෙත අවධානය යොමු කළ යුතු බව එම 10 වගන්තියෙන් දක්වා ඇත.

එහිදී යම් පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමෙන් පසුව එම පුද්ගලයා යළි අධිකරණය වෙත ගෙන්වා ගැනීමට ඔහුගේ ඇපකරුවන්ට හැකිවේද? යන ප්‍රශ්නය අධිකරණය විසින් ප්‍රධාන වශයෙන් සැලකිල්ලට භාජනය කළ යුතු යැයි එම වගන්තියේ සඳහන් වේ.

යම් පුද්ගලයකුට ශරීර ඇප මත මුදා හැරීම සඳහා ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුවේ.

ඒ අනුව ඇප මත මුදා හරිනු ලබන සැකකරු ආපසු අධිකරණයට ගෙන්වා ගැනීම තහවුරු කිරීම සඳහා බොහෝ විට අධිකරණ විසින් ඇපකරුවන් වශයෙන් භාර ගනු ලබන්නේ සැකකරුගේ ළඟම ඥාතීන්ය.

සැකකරුගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇපකරුවන් වශයෙන් භාර ගැනීම සාමාන්‍යයෙන් සිදුවෙයි.

ළඟම ඥාතියකු ඇපකරු වශයෙන් භාරගත් අවස්ථාවක අදාළ සැකකරු යළි අධිකරණයට ගෙන්වා ගැනීම පහසුවනු ඇති බව අධිකරණය විශ්වාස කරයි.

ඊට අමතරව ඇපකරුවන්ගේ විශ්වාසනීයත්වයද මෙහිදී අධිකරණය විසින් සැලකිල්ලට භාජනය කරනු ලැබේ.

එම විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා තමන්ගේ ස්ථිර පදිංචිය තහවුරු කරන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඇපකරුවන්ට නියම කරනු ලබයි.

ඇතැම් අවස්ථාවල ඇපකරුගේ මූල්‍යමය හැකියාවන් තහවුරු කර ගැනීම සඳහා ඔහුට අයත් වත්කම්වල හිමිකාරීත්වය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාද එදිනෙදා අධිකරණ කටයුතුවලදී හමුවෙයි.

එම නිසා යම් පුද්ගලයෙකු ඇපකරුවකු වශයෙන් භාර ගැනීමට පෙර ඉහත කාරණා කෙරෙහි අධිකරණය අවධානය යොමු කරන බව සඳහන් කළ යුතුය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඇපකරුට සිදුවන්නේ කුමක්ද?

ඇප මත මුදාහැර සිටින සැකකරුවකු යළි අධිකරණය පෙනී සිටීම පැහැර හරිනු ලැබුවොත් ඇපකරුවන් ඊට වගකීමට බැඳී සිටිති.

එවැනි අවස්ථාවක අදාළ සැකකරු අධිකරණයට රැගෙන එන ලෙස අධිකරණය ඇපකරුවන්ට නියෝග කරයි.

එසේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඇපකරු විසින් අධිකරණයට ඇප වශයෙන් අත්සන් කළ මුදල රාජසන්තක නොකිරීමට හේතු අධිකරණය විසින් ඇපකරුගෙන් විමසයි.

එහිදී අධිකරණයට සෑහීමකට පත් විය හැකි හේතුවක් ඉදිරිපත් නොවන්නේ නම් ඇපකරු විසින් ඇප වශයෙන් අත්සන් කළ මුදල රාජසන්තක කිරීමටද අධිකරණයට බලය තිබේ.

නිදසුනක් ලෙස යම් පුද්ගලයකු යම් සැකකරුවකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක ඇපයක් අත්සන් කළහොත් එම ඇපය රාජ සන්තක කළ විට අදාළ ඇපකරු විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අධිකරණයට ගෙවිය යුතුවේ.

ඊට අමතරව සැකකරු අධිකරණය මගහැර සිටින අවස්ථාවක ඇපකරුද අධිකරණය මගහැර යාමක් සිදු වුවහොත් එම ඇපකරු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමට අධිකරණයට බලය පැවරී තිබෙන අතර ඇතැම් අවස්ථාවල ඇපකරුගේ දේපළ තහනමට ගැනීමටද අධිකරණයට හැකියාව තිබේ.