SriLankan හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිවල අඩංගු කරුණු

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

අබිරහස් ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද විවෘත අධිකරණයේදී කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේ ය.

කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (මැයි 22) හතර වන දිනටත් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ බව විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයට දැන්වීය.

කාමරය අසල මුදල් පසුම්බි දෙකක්

මෙම පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මියගිය කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ තිබී ඔහුට අයත් මුදල් පසුම්බි දෙකක් හමුවී ඇති බව ය.

ඔහුගේ නිවසේ සේවය කළ සේවිකාවක එම නිවස පිරිසිදු කරන අවස්ථාවක මෙම මුදල් පසුම්බි දෙක හමුවී ඇති බවත් පොලිසිය පැවසීය.

කපිල චන්ද්‍රසේනගේ කාමරය අසල සාලයක් වැනි කොටසක් ඇති බවත්, එම ස්ථානයේ වැටී තිබියදී එම පසුම්බි දෙක හමුවී ඇති බවත් පොලිසිය සඳහන් කළේ ය.

එම මුදල් පසුම්බිවල තිබී NDB, DFCC සහ ඇමරිකන් බැංකුවට අයත් බැංකු කාඩ් පත් තුනක් සොයාගෙන තිබෙන බව කී පොලිසිය එම බැංකු කාඩ් පත් අක්‍රිය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසූ ප්‍රශ්න සහ පොලිසිය දුන් පිළිතුරු

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මරණකරුගේ ජංගම දුරකතනය විවෘත කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේ දැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් පොලිසිය පැවසුවේ, අදාළ ජංගම දුරකතනය විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, "ඉදිරි විමර්ශන කරන්න මේ ජංගම දුරකතනය විවෘත කිරීම අවශ්‍ය යි. විමර්ශන ප්‍රමාද වෙන්නේ ඇයි? මේ විමර්ශන කඩිනමින් කරන්න උත්සහ කරන්න," යනුවෙනි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවදුරටත් පොලිසියෙන් මෙසේ ප්‍රශ්න කළේ ය, "පසුගිය වැඩිදුර වාර්තාවේ සඳහන් කරලා තිබුණා, මේ මරණකරු මිය ගිය නිවස අවට තිබෙන සීසීටීවී පරීක්ෂා කළා කියලා. එම පරීක්ෂාවේදී බාහිර පුද්ගලයින් අදාළ නිවසට ඇතුළු වී නැති බවත් වාර්තා කර තිබුණා. නමුත් පසුගිය වතාවේ නිවසේ සේවිකාවක් ලබා දුන් සාක්ෂියක ප්‍රකාශ කර තිබුණා එම නිවස තුළ පුද්ගලයෙකු සිටි බවට."

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කියා සිටියේ "ස්වාමීනී, මෙම නිවසට රථ ගාල් දෙකකින් ඇතුළු වීමට හැකියාව තිබෙනවා. ඒ අවට තිබෙන සීසීටීවී දර්ශන පරීක්ෂා කළා. එහිදී අනාවරණය වුණා එම දොරටුවලින් බාහිර පුද්ගලයන් මෙම නිවසට පැමිණ නොමැති බවට."

පසුගිය වැඩිදුර වාර්තාවේ සටහන් කළේ, එම කාරණය බවත් පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේ ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත තවත් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නිවසට ඇතුළු විය හැකි දොරටු තුනක් ප්‍රධාන මාර්ගයට යාබදව තිබෙනවා නේදැයි විමසීය.

ගූගල් සිතියම් ආශ්‍රයෙන් ඒ පිළිබඳව පරීක්ෂා කර බලා අධිකරණයට දැනුම් දෙන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේ ය.

ඒ අනුව අදාළ සිතියම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, ප්‍රධාන මාර්ගය ඔස්සේ අදාළ නිවසට පිවිසිය හැකි එක් දොරටුවක් ඇති බව ය.

ඇපකරුවන් දෙදෙනා දුන් සාක්ෂි

ඉන් අනතුරුව සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ රොහාන් චමිල් අමරදාස නමැත්තෙකු සාක්ෂි ලබා දුන්නේ ය.

"පසුගිය හය වෙනි දා මම මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අලුත්කඩේ උසාවියේදී ඇප තැබුවා. මම අරවින්ද මහත්තයව කාලයක් තිස්සේ අඳුනනවා. අරවින්ද මහත්තයා මැයි පස් වෙනි දා මට කතා කළා. චමිල් මට ලොකු උදව්වක් ඕන. ඇපයක් අත්සන් කරන්න තියෙනවා. ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන එන්න පුළුවන් ද කියලා කිව්වා. පසුව මම ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන අරවින්ද මහත්තයට කෝල් කලා. පසුව කිව්වා පහුව දා උදේට එයාගේ ගෙදරට එන්න කියලා. පසු දා මම ඔහුගේ ගෙදරට ගියා. පසුව ඔහුගේ වාහනයෙන් අලුත්කඩේ උසාවියට ගොස් ඇප තැබුවා."

අරවින්ද ද සිල්වාගේ නිවසේදී මියගිය කපිල චන්ද්‍රසේන හමුවූ ආකාරය ගැන ද ඔහු විස්තර කළේ ය.

"පසුගිය හත් වෙනි දා අරවින්ද මහතා මට කතා කළා. කතා කරලා කිව්වා ලෝයර් හම්බවෙන්න යන්න ඕන එන්න කියලා. පස්සේ හවස මම අරවින්ද මහතාගේ ගෙදරට ගියා. පසුව අපි ලෝයර්ව හම්බෙන්න ගියා. රාත්‍රී ආපසු අරවින්ද මහතාගේ නිවසට අපි ආවා. ඔවුන් කෑම කාල යන්න කිව්වා. ඒ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතා උඩ තට්ටුවේ සිට බිමට බහිනවා මම දැක්කා. ඇවිල්ලා කෑම මේසෙ වාඩි වුණා. අරවින්ද මහතා අපිව පෙන්නලා කිව්වා මේ අය තමයි ඔයාට ඇප තිබ්බේ කියලා. ඒ අවස්ථාවේදී "තැන්ක්ස් චමිල්" කියල කපිල චන්ද්‍රසේන මහතා ස්තූති කළ" බවත් සාක්ෂිකරු පැවසීය.

ඉන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගනේෂ් නමැත්තෙක් ද සාක්ෂි ලබා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, අරවින්ද ද සිල්වාගේ දැනුම් දීමකට අනුව තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයත් තැන්පත් කළ බව ය.

"ඇප තැබීමෙන් පස්සේ මම කපිල චන්ද්‍රසේන මහතාව අරවින්ද මහතාගේ නිවසට එක්ක ගියා. ඉන්පසුව මම කාර්යාලයට ගියා. පසුව 07 වන දා දවල් අරවින්ද මහතා මට කිව්වා කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි බාන්ස් පෙදෙසේ නිවසට ගිහිල්ලා ඇප තැබූ රුපියල් ලක්ෂ 05ක මුදල ඔහු ආපසු දෙයි. ඒක අරන් එන්න කියලා. පස්සේ දවල් 2.15 පමණ මම කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසට ගියා. ඒ ගෙදර හිටපු වැඩ කරන කට්ටියට මම කිව්වා කපිල මහත්තයව හම්බෙන්න ඕන කියලා. පස්සේ මම උඩ තට්ටුවට ගිහින් හමුවුණා. පසුව කපිල චන්ද්‍රසේන මහතා කිව්වා රුපියල් ලක්ෂ පහක මුදල ළඟ තිබෙන බැංකුවකින් අරන් දෙන්නම් කියලා. ඒ වෙලාවෙම කෝල් එකක් ආවා. ඊට පස්සේ කපිල මහත්තයා කිව්වා මාව ආයෙත් ඇරස්ට් කරන්න යනවා කියලා. පස්සේ මම කිව්වා සර් මට පරක්කු වෙනවා. මට තව වැඩ තියෙනවා මම යන්නම් කියලා. ඔෆිස් එකට ඇවිල්ලා ඒක දෙන්න කියලත් මම කියලා එම ස්ථානයෙන් පිටව ගියා," යනුවෙන් ඔහු පැවසීය.

ඉන් අනතුරුව තවත් සාක්කිකරුවන් දෙදෙනෙකුගෙන් ද සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

එම සාක්ෂි සටන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 26 වන දා කැඳවීමට අධිකරණය නියම කළේ ය.