ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අධික වර්ෂාවත් සමග ගංවතුර ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මොනවා ද?
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පවතින බවත්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි පැය කිහිපය තුලදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ, කළු ගඟ, කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් ආශ්‍රිතව ජලගැලීම් ඇතිවීමේ අවදානමක් පවතින බව ය.
මේ අතර, ඊයේ (මැයි 21) රාත්‍රියේ සිට පවතින අයහපත් කාලගුණය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 09ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් සහ කෝචි ගුවන්තොටුපොළ වෙත යොමුකළ බව ද කටුනායක ගුවන් තොටුපොළ මෙහෙයුම් කළමනාකරු පවසයි.
පිටාර ගැලීමේ අවදානමක් මතුව ඇති ගංගා මොනවා ද ?
කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කැලණි ගඟ ද්‍රෝණියේ ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව ය.
ඒ අනුව සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් මෙම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියැදුරන් සහ මගීන් අවධානයෙන් පසු විය යුතු බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එමෙන් ම, අධික වර්ෂාපතනය හමුවේ අත්තනගලු ඔයේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ගම්පහ, කටාන, වත්තල වැනි පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
ඒ අනුව එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මෙන්ම මගීන්ද මේ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුවත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
නිරිත දිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමග බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මේ අතර ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
එමෙන් ම ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (35-45) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙයි.
නාය යාමේ අවදානම් නිකුත් කළ දිස්ත්‍රික්ක මොනවා ද?
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ. එම නිවේදනයට අනුව අදාළ අනතුරු ඇඟවීම අද (මැයි 22) පෙරවරු 9.00 සිට හෙට (මැයි 23) වන දින පෙරවරු 9.00 දක්වා වලංගු වන බව සඳහන් වේ.
ඒ අනුව, තුන්වන මට්ටමේ රතු අනතුරු ඇඟවීම් නිවේදන කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රදේශ සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහාත් නිකුත් කර ඇත.
එමෙන් ම, දෙවන මට්ටමේ ඇම්බර් අනතුරු ඇඟවීමේ නිවේදන කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ සහ පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇළපාත, කලවාන සහ නිවිතිගල ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.
එමෙන් ම, පළමු මට්ටමේ "විමසිලිමත් වන්න" යන අනතුරු ඇඟවීම් නිවේදන ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දිවුලපිටිය, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත.
වැඩි ම වර්ෂාපතනය කෑගල්ලෙන්
අද (මැයි මස 22) උදෑසන 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර් 336.5 කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බේගම ප්‍රදේශයේ පිහිටි වර්ෂාපතන මානයේ සටහන්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මීට අමතරව කිරිඳිවැල මිලිමීටර් 332ක්, පෙන්රිත් වතුයාය මිලිමීටර් 291.5ක්, කලටුවාව මිලිමීටර් 237ක්, ලබුගම මිලිමීටර් 224.4ක්, හංවැල්ල මිලිමීටර් 216ක්, තල්දූව මිලිමීටර් 206.9ක්, අරකාවිල මිලිමීටර් 202ක්, පස්යාල මිලිමීටර් 143ක්, වතුපිටිවල මිලිමීටර් 131.5ක් සහ මීගමුව මිලිමීටර් 130ක් ලෙස වර්ෂාව සටහන් ව තිබේ.
මේ අතර, ඊයේ (මැයි 22) රාත්‍රියේ සිට හලාවත ප්‍රදේශයට අදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හලාවත දිස්ත්‍රික් රෝහලේ වාට්ටු 03ක් ජලයෙන් යටවී තිබෙන බව බීබීසී සිංහල ප්‍රාදේශීය වාර්තාකරු පවසයි.
මේ අතර, අද අලුයම හමා ගිය දැඩි සුළඟකින් හා බලපෑ වර්ෂාවෙන් හලාවත ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසකට හා දේපළවලට හානි සිදුව ඇත. හලාවත පොලිසියේ රථවාහන අංශය, කාන්තා නේවාසිකාගාරය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබේ.
එමෙන් ම, හලාවත ප්‍රධාන මත්ස්‍ය වෙළදපලේ වහලයට මෙන් ම එම ප්‍රදේශයේ නිවාස රැසකට ද සුළඟින් හානි සිදුව තිබේ.