ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
SriLankan එයාර් බස් ගනුදෙනුව: හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
අද (මැයි මස 12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැය දෙක හමාරක පමණ කාලයකට පසු පිටව ගියේ ය.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත පැවසුවේ, පසුගිය සිකුරාදා (මැයි 08) මිය ගිය SriLankan ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබූ බව ය.
'පැහැදිලිව ම මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕන'
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (මැයි 11) මාධ්‍ය හමුවේ කියා සිටියේ, නිර්දෝෂිභාවය පෙන්නුම් කිරීම සඳහා පැහැදිලිව ම පරීක්ෂණයක් සිදුකළ යුතු බව සහ ඒ සඳහා අවශ්‍ය සියලු ම සහයෝගය දක්වන බව ය.
"එන්න කියන ඕන ම වෙලාවක අපි යනවා. ආණ්ඩුව වුණත් දැන ගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ. හැබැයි ඉතින් පැහැදිලිව ම මේ ගැන පරීක්ෂණයක් වෙන්න ඕන. අපි හිතනවා අපේ නිර්දෝෂිභාවය පෙන්නන්න පුළුවන් හොඳ ම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක. අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කටඋත්තර ලියා ගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනව නම් කිසි ම කෙනෙක්ට සාධාරණ වෙන්නේ නැහැ. අවසානයේ ඒකේ පාඩුවත් ගෙවන්න වෙන්නෙත් මේ රටේ ජනතාවට, මොක ද ජනතාව රවට්ටන්න යි එහෙම කරන්නේ." මන්ත්‍රීවරයා පැවසුවේ ය.
මේ අතර, 'ආණ්ඩුව ඇතැම් දේවල් යට ගැසීමට උත්සහ කරමින් සිටින' බවත්, විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ සිදුවීමේදී මිය ගිය නිලධාරියාගේ මරණය සියදිවි නසාගැනීමක් බව පවසමින් යට ගැසූ බවත් මන්ත්‍රීවරයා එහිදී චෝදනා එල්ල කළේ ය.
"මොක ද ආණ්ඩුව උත්සහ ගන්නවා ගොඩක් දේවල් යට ගහන්න. අපි දැක්කා මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච සිදුවීමේදී වෙච්ච මරණයක් සම්බන්ධයෙන්, කෝටි 80ක් පන්නපු එක සම්බන්ධයෙන්. හැබැයි ඒක ඒ වෙලාවෙ ම සියදිවි හානිකර ගැනීමක් කියලා යට ගැහුවා. හැබැයි දැන් මේකෙදි ලොකු සමාජ කතිකාවතක් හදන්න උත්සහ කරනවා. හැබැයි මේ හැම එකක් ගැන ම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕන," මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ය.
'එතුමා ප්‍රශ්නවලින් පැනලා යන්නේ නැහැ'
කෙසේ වෙතත්, තර්ජනය කිරීම් සහ බලහත්කාරය යටතේ තම ප්‍රකාශය ලබා ගත් බවට කපිල චන්ද්‍රසේන අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් නීතිඥ මනෝජ් ගමගේ, එවැනි සාක්ෂියක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත්නම් එය බරපතළ කාරණයක් වනු ඇතැයි ද පැවසුවේ ය.
මෙම ගැටලුව දැනටමත් අධිකරණයට යොමු කර ඇති බවත්, නීති විරෝධී ප්‍රකාශයක් මත පදනම්ව අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
"දැනට අපි තීරණය කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනිවාර්යෙන් ම පැමිණෙන්න. මොක ද කවදාවත් එතුමා ප්‍රශ්නවලින් පලා යන කෙනෙක් නෙමෙයි. යම් යම් නීතිමය කාරණයන් තියෙනවා මෙහිදී සලකා බැලිය යුතු යි. ඒ නීතිමය කරුණු අද හවස පැවැත්වෙන සාකච්ඡාවේදී විශේෂයෙන් නීතිඥ කණ්ඩායමක් කරුණු සලකා බලනවා. නමුත් දැනට අපේ තීරණයේ කිසි ම වෙනසක් නැහැ.''
''ඒ අනුව මැයි 12 දිනයේ එතුමා සහභාගී වෙන්න නියමිතව තියෙනවා උදෑසන 9.00ට. නමුත් අපිට මෙතන ගැටලුවක් තියෙනවා එක අතකින් බැලුව ම. අපි දන්න විදිහට මිය ගිය කපිල චන්ද්‍රසේනගේ පාපොච්චාරණයක් උපයෝගී කරගෙන තමයි මහින්ද ජනාධිපතිතුමාට අපි දන්නා විදිහට මේ කැඳවීම කරන්නේ. හැබැයි එම පාපොච්චාරණය ඔහුගෙන් බලෙන් ලබා ගත්ත එකක් කියලා ඔහු මිය යන්න පෙරාතුව අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා.''
''එතකොට අධිකරණයට ඔහු ඉදිරිපත් කරපු දිවුරුම් ප්‍රකාශයක ඉතා පැහැදිලිව තියෙද්දී එම ප්‍රකාශය බලෙන් ලබා ගත්ත පාපොච්චාරණයක් කියලා එම පාපොච්චාරණයේ කරුණු පදනම් කරගෙන අල්ලස් කොමිසම මහින්ද රාජපක්ෂ කැඳවන්නේ, එම පාපොච්චාරණය පදනම් කරගෙන නම් ඒක බරපතළ තත්ත්වයක්. මොක ද අධිකරණය මේ සම්බන්ධයෙන් විනිශ්චයක් දීමට නියමිතව තියෙනවා, මොක ද අධිකරණයට මේ කාරණය යොමු කරලා තියෙන්නේ චූදිත පාර්ශවය විසින්. එහෙම තියෙද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඒ පාපොච්චාරණය පදනම් කරගෙන නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කැඳවන්නේ ඒ සම්බන්ධයෙන් අපි ඒ නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.''
''මොක ද අපි දන්නවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් පැහැදිලිව නමින් චෝදනා එල්ල කරලා තියෙනවා කපිල චන්ද්‍රසේන. එවැනි තත්ත්වයක් තිබියදී එම පාපොච්චාරණය පදනම් කරගෙන නම් මේ ප්‍රකාශය ගන්න නියමිතව තියෙන්නේ ඒක සම්පූර්ණයෙන් ම නීතිවිරෝධී කටයුත්තක් විදිහටයි අපි දකින්නේ. මොකද දැනටමත් අධිකරණයට එම පාපොච්චාරණය බලෙන් බලහත්කාරයෙන් තර්ජනය කරලා ලබා ගත්ත ප්‍රකාශයක් බවට කපිල චන්ද්‍රසේන අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙන නිසා. මේ ආකාරයෙන් එතුමාට දේශපාලන පලිගන්න යම් යම් ක්‍රියාදාමයන් කරනකොට මේ රටේ ජනතාව ඉවසන්නේ නැහැ. එතුමාගේ වයසත් එක්ක සෞඛ්‍ය ගැටලු තියෙනවා."ඔහු ජනමාධ්‍ය වෙත පැවසුවේය.
'නීතියට උඩින් කවුරුත් නැහැ'
මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (මැයි 11) කියා සිටියේ රටේ නීතියට ඉහලින් කිසිවෙකු නොමැති බවය.
''රටක නීතිය කියලා කියන්නේ කාටත් ඉහළින් තියෙන එකක්. ඒ නිසා නීතියෙන් අපිට යම්කිසි කෙනෙකුට පැහැදිලි කරන්න හෝ නීතියෙන් අපිව ප්‍රශ්න කරනවානම් ඕනෑම කෙනෙක් බැඳිලා ඉන්නවා නීතිය ඉදිරියට ඇවිල්ලා තමන් දන්න දේ ප්‍රකාශ කිරීමට. මම හිතන්නේ නීතියට උඩින් වෙනත් අධිකාරීමය බලයක් තියෙන කිසි ම කෙනෙක් නැහැ. ඒක නිසා අපි කවුරුත් නීතියට අවනත වෙන්න ඕන. එතුමා හිටපු ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට කැඳවීමක් ඇවිල්ලා තියෙනවා නම් එතුමා ඒවි සහ එතුමාගේ මතය ප්‍රකාශ කරාවි," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.