ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිනකට පෙර පැවිදි වූ සාමණේර හිමිනමකට 'බරපතළ ලිංගික අපයෝජනයක්' කළ භික්ෂුවකට අධිකරණය දුන් තීන්දුව
දිනකට පෙර පැවිදි වූ බාලවයස්කාර සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හම්බේගමුවේ චන්දානන්ද නමැති හිමිනමකට අනුරාධපුර මහාධිකරණයෙන් පනවන ලද බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම හා දඩ මුදල් නීත්‍යනුකූල බවට තීන්දු කළ අභියාචනාධිකරණය එම දඬුවම් ස්ථිර කර තිබේ.
තමන්ට නියම කර ඇති දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ හිමිනම විසින් ගොනු කරන ලද අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ ය.
විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු පී. කුමරන් රත්නම් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
පැවිදි වූ දිනට පසු දින සිදු කළ අපයෝජනය ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු
2016 වසරේ මැයි මස 06 වන දා සහ 2016 වසරේ මැයි මස 21 වන දා අතර කාලසීමාව තුළ වින්දිත බාල වයස්කාර හිමිනමට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකාර අභියාචක හිමිනමට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.
මෙම අපයෝජනය සිදුවන අවස්ථාවේ වින්දිත සාමණේර හිමිනම 9 වන වියේ පසුවූ බවත්, එම බාල වයස්කාර හිමිනම පැවිදි වී පසු දින මෙම ඛේදජනක අත්දැකීමට මුහුණ දී ඇති බවත් තීන්දුවේ සඳහන් විය.
විත්තිකාර අභියාචක හිමිනම විසින් තමන්ට කරන ලද බරපතළ ලිංගික අපයෝජනය පිළිබඳව අතවරයට පත් බාල වයස්කාර හිමනම තම මවට පවසා තිබිණි.
පසුව මව විසින් පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇති අතර පසුව වින්දිත සාමණේර හිමිනම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කෙරිණි.
එම වෛද්‍ය පරීක්ෂණයේදී වින්දිත හිමිනම ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා බැහැර කර නොතිබිණි.
පසුව නීතිපතිවරයා මෙම චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ විත්තිකාර අභියාචක හිමිනමට එරෙහිව අධිචෝදනා ගොනු කළේ ය.
එහිදී වින්දිත හිමිනම සාක්ෂි ලබා දුන් අතර වින්දිත හිමිනම විමර්ශකයන්ට ලබා දුන් ප්‍රකාශය අන්තර්ගත වීඩියෝ සාක්ෂියක් ද පැමිණිල්ල විසින් මෙහෙයවනු ලැබී ය.
සාක්ෂි ලබා දෙන අවස්ථාවේ වින්දිත හිමිනම 15 වන වියේ පසුවූ අතර පාසල් යමින් සිටි බවත් තීන්දුවේ සඳහන් වෙයි.
තීන්දුව දීමට වසර 8ක්
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2024 වසරේ දෙසැම්බර් මස 17 වන දා තීන්දුව ප්‍රකාශයට පත් කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවටත්, ඒ අනුව අදාළ චෝදනාවලට ඔහු වරදකරු කරන බවටත් තීන්දු කළේ ය.
ඒ අනුව විත්තිකාර හිමිනමට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 5000ක දඩයක් ද නියම කළේ ය.
එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 3ක ලිහිල් සිර දඬුවම් නියම කරන බව කී මහාධිකරණ විනිසුරුවරයා වින්දිත හිමිනමට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවිය යුතු බවටත් නියෝග කර තිබිණි.
එම රුපියල් ලක්ෂයක වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව මාස හයක ලිහිල් සිර දඬුවම් නියම කරන බව ද තීන්දුවේ සඳහන් විය.
අභියාචනාධිකරණයට ඇපෑලක්
මෙම තීන්දුව දීමෙන් පසු විත්තිකාර හිමිනම එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.
එම ඇපෑල විභාග කළේ, පී. කුමරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ය.
අභියාචනා විභාගයේදී වරදකරු කෙරුණු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී තිබුණේ, මහාධිකරණ නඩු විභාගයේදී වින්දිතයා ලබා දුන් සාක්ෂි සහ සෙසු සාක්ෂි එකිනෙකට පරස්පර බව ය.
එමෙන් ම වින්දිතයා ඉදිරිපත් කරන සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ සාක්ෂි ද එකිනෙකට පරස්පර බවත් විත්තිකාර අභියාචක හිමිනම අධිකරණයට පෙන්වා දී තිබිණි.
'වීඩියෝ සාක්ෂිය පිළිගත හැකියි'
අභියාචනා විභාගය අවසානයේදී තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, "බාල වයස්කරුවෙකු වශයෙන් වින්දිත හිමිනම ඉදිරිපත් කළ සාක්ෂිවල යම් යම් දුර්වලතා පැවතිය ද වින්දිතයා විමර්ශකයින්ට ලබා දී ඇති වීඩියෝ ප්‍රකාශය පරීක්ෂා කිරීමේදී සාක්ෂි ආඥා පනත යටතේ එය පිළිගැනීමට හැකි තත්ත්වයක පවතින බව පෙනී යනවා. එමෙන් ම සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවල පරස්පරතාවක් තිබෙන බව අභියාචක ප්‍රකාශ කළත්, ඒවා මහාධිකරණ නඩු විභාගයේදී නිසියාකාරව ලකුණු කර නැහැ. සියලු සාක්ෂි පිරික්සීමේදී වින්දිතයා ලබා දී තිබෙන සාක්ෂිය නීත්‍යනුකූල ආකාරයෙන් මෙහෙයවා තිබෙන බව පෙනී යනවා. ඊට අමතරව මහාධිකරණ විනිසුරුවරයා තමන් ඉදිරියේ ඉදිරිපත් වූ සාක්ෂි නිසියාකාරව විශ්ලේෂණය කර නිවැරදි ලෙස විත්තිකරු වරදකරු කර තිබෙනවා," යනුවෙන් තීන්දු කළේ ය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දී ඇති තීන්දුව කෙරෙහි මැදිහත්වීම් සිදුකිරීමට අභියාචනාධිකරණය අපේක්ෂා නොකරන බවටත්, විත්තිකාර අභියාචකට පනවන ලද දඬුවම හා දඩ මුදල නීත්‍යනුකූල බවටත් විනිසුරු මඩුල්ලක් තීන්දු කළේ ය.
ඒ අනුව එම දඬුවමට එරෙහිව විත්තිකාර අභියාචක විසින් ඉදිරිපත් කරන ලද ඇපෑල නිෂ්ප්‍රභ කරන බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, විත්තිකරුට පනවන ලද දඬුවම මහාධිකරණ තීන්දුව ලබා දුන් 2024 වසරේ දෙසැම්බර් මස 17 වන දා සිට ක්‍රියාත්මක විය යුතු බවට නියෝග කළේ ය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා පෙනී සිටියේ ය.
ඔබට සහයක් අවශ්‍ය ද?
ඔබත් ලිංගික හිංසනයක වින්දිතයෙක් ද? නැතිනම් බාල වයස්කරුවෙකු ලිංගික හිංසනයට ලක් වන බවක් ඔබට නිරීක්ෂණය වී තිබේ ද?
පහත අංක අමතා සහය ලබා ගන්න.
- ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
ශ්‍රී ලංකා ළමා උපකාරක සේවය - 1929
- පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය
දුරකතන අංකය - 011-2444444
හදිසි ඇමතුම් අංකය - 109
- කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
ළමා උපකාරක සේවය - 1938