'අපි ගම්පොළට ආවා නම් කෝච්චියත් යට වෙනවා': දිට්වා සුළි කුණාටුව අතරතුර දුම්රිය මගීන් සිය ගණනකගේ ජීවිත බේරාගත් නිහඬ වීරයා

    • Author, සම්පත් දිසානායක
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 9

දිට්වා සුළි කුණාටුව සමග ගම්පොළ සහ නාවලපිටිය අතර කැලෑ බද ප්‍රදේශයක දැඩි ලෙස නායයාමට ලක්වූ දුම්රිය මාර්ගයක මාස 5කට අධික කාලයක් පුරා තවමත් නතර කර ඇති දුම්රියක් පිළිබඳ ඔබ අසා තිබෙනවා ද?

බැලු බැල්මට දුම්රිය මාර්ගය අතරමැද හුදෙකළා දුම්රියක් නතර කර දමා ඇති බව පෙනුණ ද, එහි ගිය අපිට ඒ පිළිබඳ ගැඹුරින් සෙයා බැලීමේදී හෙළි වූයේ, දක්ෂ දුම්රිය රියැදුරෙක් සිය ප්‍රධාන දුම්රිය නියාමකවරයා ප්‍රමුඛ දුම්රිය කාර්ය මණ්ඩලය සමග ගත් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස දිට්වා සුළි කුණාටුව අතර ඉතා අසීරු හා බියජනක කඩඉම් පසුකරමින් පැමිණ ඔවුන් මෙම දුම්රිය එම ස්ථානයේ නතර කර ඇති බව ය.

දුම්රිය රියැදුරා සහ ප්‍රධාන නියාමකවරයාගේ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව සහ වෘත්තීයමය පළපුරුද්ද හේතුවෙන් මගීන් සිය ගණනකගේ ජීවිත මෙන් ම රුපියල් කෝටි ගණනක් වටිනා දුම්රියක් නිරුපද්‍රිතව බේරා ගැනීමට එම දුම්රිය කාර්ය මණ්ඩලයට හැකිව තිබේ.

"රියදුරා ඇත්තට ම උත්සහයක් දරලා තියෙනවා, සෑහෙන හොඳ උත්සාහයක්, රියදුරා බැරිවෙලාවත් කොච්චිය ඉස්සරහට ගත්තා නම් එහෙම නායට අහුවෙනවා." යැයි දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය බීබීසී සිංහල වෙත කියා සිටියේය.

2025 නොවැම්බර් 27

දිනය 2025 නොවැම්බර් 27 වන දා යි.

එදින මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වන මගී දුම්රිය පස්වරු 2.06ට පමණ මහනුවර දුම්රිය ස්ථානයෙන් තම දුම්රිය ගමන ආරම්භ කර තිබුණේ, දැඩි වර්ෂාව මධ්‍යයේ ය.

මැදිරි හතරකින් සමන්විත මෙම දුම්රිය කෙටිදුර ධාවනයේ නිරත වන මන්දගාමී දුම්රියකි. එදින මෙම දුම්රිය ගමනාන්තය කරා ගෙන යාමේ කාර්යය භාර වී තිබුණේ, විශේෂ පන්ති දුම්රිය රියැදුරෙකු වු ජයම්පති මඩිගසේකරට ය.

1982 වසරේ දුම්රිය සේවයට එක්වූ ජයම්පති මඩිගසේකර දැනට විශ්‍රාම ගොස් වසර 6කි. ඔහු දැනට කොන්ත්‍රාත් පදනමින් නැවත දුම්රිය සේවයට එක්ව සිටින අතර ඔහුගේ වෘත්තීය ජීවිතයට වසර 44කි.

එදින තමන් මුහුණ දුන් අත්දැකීම ගැන පැහැදිලි කරන ලෙස බීබීසී සිංහල කළ ඉල්ලීම පිළිගත් ඔහු තම බිහිසුණු මතකය මෙලෙස අවදි කළේ ය.

'මම පස්සට ගත්තා, මට බය හිතුණා. බලනකොට කොච්චියේ ඉස්සරහ කුල්ල ගැලවෙනවා'

"27 වෙනි දා මහ වැස්සේ ගියේ"

"ගම්පොළින් පිටත් වුණා. වරකාපිටිය කියන හෝල්ට් එකේ නවත්තලා ඉස්සරහට යනකොට පාරත් පෙන්නැති වෙන්න වැස්සා."

ඒවන විට මගීන් 100ත් 150ත් අතර සංඛ්‍යාවක් දුම්රියේ සිට තිබේ.

"එක පාරට ම පස් කන්දක් ආවා, ලොකු පස් ගොඩක් ඇවිල්ලා කොච්චියේ වැදුණා‍. මොනවා කරන්න ද? නවත්තන්න බැහැනේ, පස් කන්ද ඇතුළට කෝච්චිය ගියා කඩාගෙන"

"උඩ බලනකොට අඩි 40ක් විතර උස ගස් දෙකක්. මට දැනුණා ගස් දෙක එයි කියලා. ඊට පස්සේ මම හෙඩ් ගාඩ්ට කතා කරලා කිව්වා පුළුවන් තරම් ඉක්මනට පැසෙන්ජර්ස්ලා පස්සට යවන්න කියලා. මම කොහොම හරි මේක ගන්න බලනවා කියලා."

"මම පස්සට ගත්තා, මට බය හිතුණා. බලනකොට කොච්චියේ ඉස්සරහ කුල්ල ගැලවෙනවා."

'රියැදුරු මහත්තයා මෙතන ට්‍රේන් එක දාලා ඒකේ හිටියා දවස් තුනක් විතර'

"පස්සට අරගෙන මම නාවලපිටියේ අපේ කොන්ට්‍රෝලර්ට කතා කරලා කිව්වා අපි ආපහු ගම්පොළට එන්න යන්නේ. අපිට සිග්නල් දාලා තියන්න කියලා."

එසේ එන අතරතුරදී දුම්රියේ සිටි මගීන් වරකාපිටිය දුම්රිය නැවතුමෙන් බස්සවා යැවීමට දුම්රිය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි.

"කාටත් කරදරයක් වුණේ නැහැ. කට්ටිය බස්සලා යැව්වා"

"රියැදුරු මහත්තයා මෙතන ට්‍රේන් එක දාලා ඒකේ හිටියා දවස් තුනක් විතර, එයා දැඩි තීරණයක් අරගෙන මෙතනින් දැන් යන්න හොඳ නැහැ කියලා ටක් ගාලා රිවස් කරනවා. අතන තිබ්බා නම් ට්‍රේන් එකත් එක්ක යනවා පහළට." උඩගම පදිංචි එම්.එම්. සෙනෙවිරත්න බීබීසීයට අදහස් දක්වමින් සිටියේය.

ක්ෂණිකව තීරණයක් ගත් මඩිගසේකර, දුම්රිය සහයක රියැදුරා සහ ප්‍රධාන දුම්රිය නියාමකවරයා අතර දුරකතනය ඔස්සේ සම්බන්ධතාව තබා ගනිමින් දුම්රිය තවත් පසුපසය ගෙන යාමට උත්සහ ගෙන තිබිණි.

ඒ, ඔහුට ඉදිරියෙන්දු පිහිටි දුම්රිය මාර්ගය නොපෙනීම හේතුවෙනි.

ඔවුන් මෙම බිහිසුණු සිද්ධියට මුහුණ පා තිබුණේ තැඹිලිගල දුම්රිය ස්ථානයට මඳ දුරිකින් උලපනේ දුම්රිය ස්ථානය දෙසට වන්නට පිහිටි වරකාපිටිය දුම්රිය නැවතුමට මීටර් 200ක් පමණ ඉදිරියෙනි.

"වරකාපිටිය දුම්රිය නැවතුමට මීටර් 200ක් විතර ඉදිරියෙන් පස් කන්දේ වැදුණේ. වරකාපිටියට ආපහු ආවා. ඒත් තව ආපස්සට මීටර් 200ක් ආවා ම තව විශාල පස් කන්දක් ඇවිල්ලා පාර බ්ලොක් කළා. අපි ඇවිල්ලා තප්පර ගාණෙන් ආයෙත් තව සමාන පස් කන්දක් ඇවිල්ලා."

'හැන්දෑවේ 4 - 5ට විතර හොඳට ම වැස්සා මගේ ජීවිතේට ම දැකල නැති වැස්සක්'

දුම්රිය රියැදුරු ජයම්පති මඩිගසේකර කියා සිටියේ තමන් එවැනි වැස්සක් මීට පෙර නොදැක ඇති බවයි. ඒ අනුව පැවති අවදානම් තත්ත්වය හමුවේ ඔවුහු වරකාපිටිය දුම්රිය ස්ථානය සමීපයේ ඔවුන්ගේ දුම්රිය නතර කළහ.

"හැන්දෑවේ 4 - 5ට විතර හොඳට ම වැස්සා මගේ ජීවිතේට ම දැකල නැති වැස්සක්."

ඉන් පසු එදින රාත්‍රී 8ට පමණ ඔහු දුරකථන ඇමතුමක් ගෙන නිවසට දන්වා ඇත්තේ තමන් ආරක්ෂිතව සිටින බවයි.

"එතකොට දුරකථන වැඩ කළා. මම ගෙදරට කෝල් එකක් අරන් කිව්වා, මොකද මහවැලි ගඟ යන්නේ මගේ ගේ ගාවින්, අම්මා ඔත්පල නිසා අම්මාවට උඩ තට්ටුවට ගන්න කියලා නොනට කිව්වා. මම ඒ සැනින්ම කිව්වා මේ වැස්ස වහිනවා මට පේනවා අපි එන්ජිමේ ඉදලා බලාගෙන ඉන්නේ වහින විදිහ. වැහි බිංදු දකින කොට බයහිතුණා, කොත්මලේ වතුර පිරිලා ඇවිල්ලා ගඟ අපේ ගෙදරට එයි කියලා; ඒක හින්දා අම්මව උඩ තට්ටුවට ගන්න කියලා අවසානයට කෝල් කරලා කිව්වා."

අනතුරුව ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දුරකථනය ඔස්සේ අමතා දැනුම් දී ඇත්තේ, තමන් ඇතුළු පිරිස ආරක්ෂිතව සිටින බවයි.

එමෙන්ම රඹුක්කනින් ඉදිරියට දුම්රිය ධාවනය නොකරන ලෙසද ජයම්පති මඩිගසේකර එම නිලධාරියාගෙන් ඉල්ලා තිබේ.

පසුව රාත්‍රී කාලයේදී අවට ගම්වැසියන් මහා වැසි මධ්‍යයේම පැමිණ, එහි සිටි දුම්රිය කාර්ය මණ්ඩලයට ආහාර පාන ලබා දී තිබේ.

"9ට විතර මනුස්සයෙක් ආවා. මහත්තුරුන්ට කන්න බොන්න මොනවා හරි කියලා. බිස්කටුයි තේයි ගෙනත් දුන්නා"

"[මට ෆොන් එක චාජ් කර ගන්න ඕන වුණා] දහය හමාරට විතර ලයිට් ගියා. එච්චර ම තමා ඊට පස්සේ කිසි ම කමියුනිකේෂන් එකක් තිබුණෙ නැහැ."

"පාන්දර 5ට විතර වතුර යනවා හෝ ගාලා, පේන්නේ නැහැ කළුවරේ මොකවත්, ඇසිස්ටන්ට් කිව්වා සද්දයක් එනවා කියලා."

"පාරට අඩි තුනක් හතරක් පල්ලෙහායින් බෝක්කුවේ සම්පූර්ණයෙන් වතුර පිරිලා. ගලුයි පසුයි හිරවෙලා, කෝච්චිය තිබ්බ තැන හදිස්සියේ වතුරට තල්ලු වුණා නම් ගලවගෙන පහළට යනවා"

ඒ අනුව නැවත උදෑසන 5.45ට පමණ ඔහු යළිත් දුම්රිය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට තීරණය කර කොට තිබේ.

'පාර තියෙනවා නෙට් එක වගේ'

"ඔය නවත්තලා තියෙන තැන තමා ආරක්ෂාව වැඩි ම තැන - ගහත් වැටෙන්නෙ නැති වෙන්න නතර කළේ. වැටුණත් මැදට වැටෙන විදහට" ජයම්පති සඳහන් කළේ ය.

ඒ අනුව, පැවති දරුණු කාලගුණ තත්ත්වය හමුවේ, ගම්පොළ දක්වා මෙම දුම්රිය ගෙන යාමේ උත්සහය මෙම ස්ථානයෙන් නතර විය.

පසු දින උදෑසන 6ට පමණ දුම්රිය පස් කන්දේ හැපුණු ස්ථානය බෑලීමට ඔහු ගොස් ඇති අතර, එම ස්ථානයේ මාර්ගය අඩි 40ක් පමණ කඩාගෙන ගොස් ඇති ආකාරය දැක තිබිණි.

"ඔතනින් මම කෝච්චිය නොගත්තා නම් හිතා ගන්නකො කොහෙ ද කොච්චිය තියෙන්නෙ කියලා."

"අපේ ජීවිත බේරපු පස් කන්ද බලන්න ගියා. එතන ගහගෙන ගිහිල්ලා, පාර තියෙනවා නෙට් එක වගේ."

'අපි ගම්පොළට ආවා නම් කෝච්චියත් යට වෙනවා'

පසු දින දුම්රිය නතර කළ ස්ථානයට පැමිණි ගම්වැසියන් පවසා ඇත්තේ, ගම්පොළ දුම්රිය ස්ථානය ද ජලයෙන් යටවී ඇති බව ය.

"ගමේ මිනිස්සු උදේ ඇවිල්ලා කිව්වා ගම්පොළ අඩි 30ක් 40ක් විතර විතර යටවුණා කියලා. අපි මූණට මූණ බලා ගත්තා. අපි රෑ ගම්පොළ ඉන්න ආවේ," ජයම්පති පැවසීය.

ගම්පොළට යළි පැමිණෙන ගමන වැළකීම නිසා ජීවිත සහ දුම්රිය ද බේරා ගැනීමට හැකි වූ බවට ජයම්පති විශ්වාස කරයි. "අපි ගම්පොළට ආවා නම් කෝච්චියත් යට වෙනවා, පස් කන්දට පිං සිද්ධ වෙන්න ජීවිතත් බේරලා දෙවැනි පාරටත් කොච්චිය බේරා ගත්තා."

"ප්‍රධාන නියාමක සමරකෝන් සමග සාකච්ඡා කරලා මේ තීරණ ගත්තේ. ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ ගමේ ජනතාවටත්"

"මගේ රස්සාවේ කරන්න පුළුවන් දේ උපරිම භක්තියෙන් කළා," යැයි දුම්රිය රියැදුරු ජයම්පති මඩිගසේකර බීබීසී සිංහල වෙත වැඩිදුරටත් කියා සිටියේ ය.

වරකාපිටිය උඩගම පදිංචි ඊ.එම්. ලලිතා බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, දුම්රිය රියැදුරාගේ දක්ෂතාව හේතුවෙන් මිනිස් ජීවිත මෙන් ම දුම්රිය ද බේරා ගැනීමට හැකි වූ බව ය.

"හරි ම හොඳ ජයග්‍රහණයක්, හොඳ වාසනාවන්ත මහත්තයෙක්, කොච්චියත් බේරගෙන මිනිස්සුත් බේරගෙන එයත් බේරිලා, අද බලන්නකො ඔහොම බේර ගත්ත එක ලොකු දෙයක්."

"පාර බොහොම දරුණු ම තත්ත්වයට විනාශ වෙලා තිබ්බේ. විශාල ගස් ඇඹරිලා ඇඹරිලා හරියට මොකක් හරි මැෂින් එකකින් කුඩු කරලා වගේ, ගස් කියලා හොයන්න වත් බැහැ. පෙරළිලා විනාශ වෙලා, මෙතන පස් වැටිච්ච හින්දා ඒ ඩ්‍රයිවර් මහත්තයට ඉස්සරහට යන්න විදිහක් නැහැ. එයා මොක ද කරන්නේ. කෝච්චිය පසුත් තල්ලු කරගෙන යන්න යනකොට ඉස්සරහ තියෙන කුල්ල වගේ එක ගලවගෙන ගිහිල්ලා, ඊට පස්සෙ රිවර්ස් කරන් මෙතනට ආවා, මෙතනින් ගම්පොළටවත් යන්න; ඒ එනකොට ම මෙතනත් විනාස යි," ඇය සඳහන් කළා ය.

දුම්රිය තුළ දින හතරක්

"හරි ම හොඳ ජයග්‍රහණයක්, හොඳ වාසනාවන්ත මහත්තයෙක්, කොච්චියත් බේරගෙන මිනිස්සුත් බේරගෙන එයත් බේරිලා, අද බලන්නකො ඔහොම බේර ගත්ත එක ලොකු දෙයක්."

"පාර බොහොම දරුණු ම තත්ත්වයට විනාශ වෙලා තිබ්බේ. විශාල ගස් ඇඹරිලා ඇඹරිලා හරියට මොකක් හරි මැෂින් එකකින් කුඩු කරලා වගේ, ගස් කියලා හොයන්න වත් බැහැ. පෙරළිලා විනාශ වෙලා, මෙතන පස් වැටිච්ච හින්දා ඒ ඩ්‍රයිවර් මහත්තයට ඉස්සරහට යන්න විදිහක් නැහැ. එයා මොක ද කරන්නේ. කෝච්චිය පසුත් තල්ලු කරගෙන යන්න යනකොට ඉස්සරහ තියෙන කුල්ල වගේ එක ගලවගෙන ගිහිල්ලා, ඊට පස්සෙ රිවර්ස් කරන් මෙතනට ආවා, මෙතනින් ගම්පොළටවත් යන්න; ඒ එනකොට ම මෙතනත් විනාස යි," ඇය සඳහන් කළා ය.

දිට්වා ආපදාවෙන් දුම්රිය මාර්ගයට මෙන් ම ප්‍රදේශයට දැවන්ත හානියක් සිදුව තිබුණ ද, ප්‍රධාන නියාමකවරයා සහ ජයම්පති මඩිගසේකර ප්‍රමුඛ දුම්රිය කාර්ය මණ්ඩලය දුම්රිය හැරගොස් නොතිබිණි.

සන්නිවේදන සබඳතාවලින් තොරව දින 03ක් දුම්රිය මැදිරි තුළ නිදා ගනිමින් දිවි ගෙවූ මෙම නිලධාරීන් හතර වන දිනයේ දුම්රිය තිබූ තැනින් පිටව ගොස් තිබුණේ, දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් දුම්රිය ප්‍රධානීන් ලබා දුන් උපදෙස්වලට අනුව ය.

"දවස් තුනක් හිටියා කතා කරන්න විදිහකුත් නැහැ. අපි හතර දෙනා රෑට පෙට්ටියට ගිහිල්ලා නිදා ගන්නවා."

එම දින හතර තුළ දුම්රිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය අහාර පාන ලබා දී ඇත්තේ, ගම්වැසියන් ය.

"දවස් තුනක් කන්න දුන්නා. කිරි තේ, කෝපි පුරවලා" ගම්වැසියන්ගේ පරිත්‍යාගශීලීත්වය ඔහු අගය කළේ, ස්තූති පූර්වකව ය.

"ලොකු සතුටක් තියෙනවා දුම්රිය බේර ගත්ත එකට. ගියා නම් දිට්වා එකට ලොකු ම අලාභය වෙන්න තිබ්බේ. කෝටි ගාණාක් වෙනවානේ දුම්රියක්"

"සම්පූර්ණයෙන් ම අර පැත්ත කඩාගෙන ගිහිල්ලා වතුර පිරිලා, ඩ්‍රයිවර් මහත්තයා ඒක නතර කරගෙන මෙතනට ඇවිල්ලා. ඇත්තට ම තව ඉස්සරහට ගියා නම් කෝච්චිය යනවා පල්ලෙහාට, එතුමාගේ තියෙන දක්ෂතාව අනුව ඒක නතර වුණා. ඊට පස්සේ කෝච්චිය මෙතනට ගෙනල්ලා මිනිස්සු ටික බස්සලා, බස්වල යන්න කියලා, යවලා; මේගොල්ලෝ මෙතන හිටියා. දවස් හතරක් යනකල් ටෙලිෆෝන් වැඩ කළේ නැහැ. කරන්ට් එක නැහැ. ඒගොල්ලෝ හරි අපහසුතාවකට පත්වුණා. මෙතන හතර දෙනක් හිටියා, ඩයිවර් මහත්ත යි, එයාගේ සහයකය යි, ගාඩ්ලා දෙන්න යි. කෙනෙකුට කතා කර ගන්නත් බැහැ, ඒගොල්ලන්ට කෑම බීමත් නැහැ. ඉතින් ගමේ කට්ටිය තමා උදව් කළේ, ඒගොල්ලෝ දවස් හතරක් ම හිටියා කෝච්චියේ. හතර වෙනි දවසේ හැන්දෑවේ, ඇසිස්ටන්ට් කෝල් එකක් අරගෙන හැන්දෑවේ පහ හමාරට හයට විතර එගොල්ලෝ ගියා."

"ගියාට පස්සේ, පහුව දා ඉදලා මෙතනට වොචර් දෙන්න දෙන්න දාලා තිබ්බා. බොහොම අපහසුතාවෙන් තමා ඒ කට්ටිය හිටියේ."

"ඒ ඩයිවර් මහත්තයා හරි දක්ෂ යි. මොක ද එයාගේ තියෙන දක්ෂතාව නිසා කොච්චිය පෙරළෙන්නේ නැතිව තියා ගත්තා. මිනිස්සු ගොඩක් හිටියා" උඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන වයලා සෙනෙවිරත්න ද බීබීසීය අදහස් දක්වමින් කියා සිටියාය.

දුම්රිය මගීන්ගේ ජීවිත මෙන් ම වටිනා දුම්රියක් දුම්රිය දෙපාර්තමේන්තුවට බේරා දීම ගැන මෙම ජනතාව දුම්රිය රියැදුරු සහ සෙසු කාර්ය මණ්ඩලය පිළිබඳව ප්‍රශංසාත්මකව සහ ස්තුතී පූර්වකව අප සමග අදහස් දැක්වීය.

දැනට මෙම දුම්රිය ආරක්ෂා කිරීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු තවමත් යොදවා තිබේ.

"හරිනම් අද අපේ බණ නේද? හෙට අපේ දානේ නේද?" යැයි සිද්ධියෙන් දින 7කට පසු දුරකථන ඇමතුමක් ගත් දුම්රිය සහයක රියදුරා තමන්ට දුරකථන ඇමතුමක් දී පැවසූ බව ජයම්පතී මඩිගසේකර කියා සිටියේ ය.