ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැස්සට නිරාවරණය වීමෙන් ඔබට ලැබෙන ප්රතිලාභ 4ක්
- Author, ඇලි හර්ෂ්ලාග්
- කියවීමේ කාලය: මිනිත්තු 8
එහි ඇති සුවිශේෂී නැවුම් සුවඳේ සිට ඉන් නිකුත් වන ඍණ අයන දක්වා වර්ෂාව අපගේ ශරීරයට, විශේෂයෙන් අපගේ මනෝභාවය සම්බන්ධයෙන් ගත් කල, ආකර්ෂණීය ප්රතිලාභ ලබා දෙයි.
නිව් මිල්ෆර්ඩ්හි, කනේටිකට්හි තාප දර්ශකය අඛණ්ඩව 100°F ඉක්මවා ගොස් තිබුණු හයවන දිනය එය වූ අතර, අහස එක වර ම අසාමාන්‍ය ලෙස අඳුරු පැහැයට හැරුණේ යමක් ඉඟි කරන්නාක් මෙනි. ඒ වන විට මා සිටියේ එළිමහන් රංග ශාලාවක වැඩමුළුවක් මෙහෙයවමිනි. එහි කඳවුරු බැඳ සිටියවුන් තම හිසට ඉහළින් නැගෙන, සැතපුම් ගණනක් පුරා විහිදී තිබුණු අඳුරු වළාව දෙස බලන අයුරු මාගේ නෙත ගැටිණි. ඒත් සමග ම නිකුත් වූ ගිගුරුම් හඬින් පොළව දෙදරා ගිය අතර අකුණු සැර අහස පුරා විහිද ගියේ ය.
වැස්ස ඇද හැළෙන්නට පෙරාතුව අපට වැසි ඇති වන බව දැනුණු අතර අනතුරුව එකවර ම නොකඩවා ඇද හැළුණු විශාල වැහි බිඳුවලින් අපි තෙමී ගියෙමු. කිසිවෙකුට අනෙකා පවසන දේ නොඇසිණි. එබැවින් මම ඒ අසල රෙදි උර තබා තිබුණු වේදිකාවක් වෙත දිවයන ලෙස සිසුන් වෙත සංඥා කළෙමි. ඒත් සමග අපි ඒ වෙත ගියෙමු. තෙතබරිව සිටි අපි සිනාසෙමින් රෙදි ගොඩ මත වැටී බලා සිටියේ වේගයෙන් හමා යන කුණාටුව දෙසයි. මිනිත්තු 30කට පමණ පසු, අහස පැහැදිලි වූ අතර, වාතයේ පුදුමසහගත පිරිසිදු බවක් සහ සිසිලසක් දැනෙන්නට විය. වැස්සත් සමග පැමිණි ඒ සුවිශේෂී නැවුම් සුවඳ අතිමහත් විය.
අප පෙරහුරුවලට සහභාගී වීම සඳහා නැවත ඇවිද යන විට දුටුවේ ගහ-කොළ නව ජීවයක් ලබා ඇති අයුරු ය. එපමණක් නොව මා වටා සිටින පිරිස තුළ ද සැහැල්ලු බවක් නිරීක්ෂණය වුණු අතර ඔවුන්ගේ මුහුණු නිරායාසයෙන් නැගුණු සිනහවෙන් බර වී තිබිණි. මනසේ වූ වෙහෙසකාරී බව අවසානයේ ඉවත ගියාක් මෙන් මා හට ද දැනෙන්නට විය. ඊට හේතුව අප වෙළා ගෙන සිටි අධික රස්නය ඉවත යාම නිසා ද නැතහොත් සෙවණක් කරා දිව යාමට බලපෑ ඇඩ්රිනලින් ශ්‍රාවය වීම නිසා ද, නැතහොත් වර්ෂාව අපගේ මනෝභාවයට යම් බලපෑමක් ඇති කළා නිසා ද?
මනෝභාවය ඉහළ නැංවීමට වර්ෂාවට හැකියාවක් තිබේ ද යන්න පිළිබඳව දශක ගණනාවක් පුරා කෙරුණු අධ්‍යයනයන්ගෙන් පසුව, ඒ බව සනාථ කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ඇති බව විද්‍යාඥයින් විසින් අවසානයේ සොයා ගැනිණි. වර්ෂාවේ ඇති එක ම වාසිය එය පමණක් නොවන අතර මෙම අධ්‍යයනය පෙන්වා දෙන්නේ, වැස්ස වාතයේ පවතින අහිතකර ද්‍රව්‍ය ඉවත් කරන බවත් එහි ඇති නැවුම් සුවඳට අපගේ මතකයන් පවා වැඩිදියුණු කළ හැකි බවත් ය.
සෙරොටොනින් වැඩිවීම
මීට ප්‍රධාන හේතුව විය හැක්කේ වර්ෂාව මගින් ඍණ වායු අයන එනම්, අමතර ඉලෙක්ට්‍රෝනයක් සහිත ඔක්සිජන් අණු මුදා හැරීමයි. වැහි බිඳු එකිනෙක ගැටීමෙන් හෝ පෘෂ්ඨයක ගැටීමෙන් හා බෙදී වෙන්වීමෙන් මෙම ඔක්සිජන් අණු සෑදේ. මෙම අයන විශාල වශයෙන් මුදා හැරෙන විට ඒවා මගින් මොළයේ සෙරොටොනින් සහ ඇල්ෆා තරංග මට්ටම වැඩි කරන්නේ මනස සතුටුදායක සහ සැහැල්ලු තත්ත්වයකට ගෙන යමිනි.
වැහි බිංදු පොළොවට පතිත වන විට ඒවා විසිරී වාතයට ඍණ අයන මුදා හරින තර එය 'ලෙනාඩ් ආචරණය' ලෙස හඳුන්වයි. එබැවින් ඔබ සෙරොටොනින් හෝමෝනය ශ්‍රාවය කරන ඍණ අයන මාත්‍රාවක් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, වැස්සේ ඇවිද යාමට උත්සහ කර බලන්න. නමුත් අකුණු ඇති වන බව නිරීක්ෂණය වන්නේ නම්, ආරක්ෂාව සඳහා එළිමහනට නොයා සිටින්න.
ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම ධනාත්මක ප්‍රතිඵල ලැබෙන්නේ, ඍණ වායු අයන මගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ නංවන නිසා බවයි. මෙය දැඩි ලෙස ව්‍යායාමවල නිරත වීමෙන් පසුව දැනෙන ආකාරයේ ප්‍රබෝධවත් මනෝභාවයකට සමාන වේ.
කෙසේ වෙතත්, මෙම බලපෑම් ඇති වීම සිදුවන්නේ කුමන යාන්ත්රණයකින් ද යන්න පැහැදිලි කිරීමට තවමත් නිශ්චිත සාක්ෂි නොමැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා මොනෙල් රසායනික සංවේදක මධ්‍යස්ථානයේ සංජානන විද්‍යාඥ පෑම් ඩෝල්ටන් සඳහන් කරන්නේ, ඍණ අයන මනෝභාවයට මෙන් ම තෙහෙට්ටුව, හෘද වාහිනීවල තත්ත්වය සහ රුධිර පීඩනය වැනි දෑ කෙරෙහි බලපෑම් ඇති කරන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් තවමත් නිවැරදිව අවබෝධ කරගෙන නොමැති බවයි. "කුතුහලය දනවන නමුත් ඉන් කායිකව ලැබෙන ප්රතිලාභ පිළිබඳව පොදු එකඟතාවක් නැති තරම්, ඒ වගේ ම ඍණ අයන මගින් මෙම බලපෑම් ඇති කරන ආකාරය පිළිබඳව අවබෝධය තියෙන්නෙත් ඉතා සුළු වශයෙන්," ඇය පවසයි.
මනෝභාවයට ඍණ අයනවලින් එල්ල වන බලපෑම පිළිබඳ සොයා බැලීම සඳහා අධ්‍යයන සිදු කිරීම 1950 දශකයේදී ආරම්භ වුව ද 1990 දශකයේදී වඩාත් කාර්යක්ෂමව ඍණ අයන නිපදවන වඩාත් දියුණු, ඍණ අයන මුදා හැරිය හැකි යන්ත්‍රයක් නිපදවන තෙක් ප්‍රතිඵල අවිනිශ්චිත විය. 1995දී සිදු කරන ලද අධ්‍යයනයකදී පර්යේෂකයින් විසින් සොයා ගනු ලැබුවේ, ඊට සහභාගී වූ ඍතුමය බලපෑම් ආබාධය (SAD) සහිත පුද්ගලයින් දිනපතා ඍණ අයන සමග ගැටීමට සැලැස්වූ විට අඩු අයන ප්‍රමාණයක් සමග ගැටුණු පුද්ගලයින්ට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් සමග ගැටුණු පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ විශාල ලෙස අඩුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
අධ්‍යයනයට නායකත්වය දුන් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් ටෙහාන්ට අනුව, තද වැසි ඔහුගේ කණ්ඩායම විසින් භාවිත කරන ලද ඍණ අයන නිපදවීමේ යන්ත්‍රයට සමාන මට්ටමට සෘණ වායු අයන නිපදවයි. නමුත් ඔහු සඳහන් කරන්නේ, මේ දක්වා කිසිදු අධ්‍යනයක් මගින් මේ පිළිබඳව හෝ වැස්සේ ගත කරන කාලය සහ මනෝභාවයේ වෙනස්වීම් අතර ඍජු සම්බන්ධතාවක් ඇතැයි ඔප්පු කර නොමැති බවයි.
පිරිසිදු වාතය
ආශ්වාස ප්‍රශ්වාස කිරීම පහසු කරමින් වර්ෂාවේ ඇති ඍණ අයන දූෂක කොටස් සහ අසාත්මිකතාකාරක වැනි අංශු පදාර්ථ වාතයෙන් ඉවත් කරන බව පෙනෙන්නට තිබේ. මෙමගින් මනෝභාවයට සහ සෞඛ්‍යයට ද බලපෑමක් ඇති කළ හැකි ය. මන්ද වාතයේ ගුණාත්මකභාවය අඩුවීම කාංසාව වැඩි වීම සහ වඩාත් දරුණු මානසික සෞඛ්‍ය ආබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි අතර පිරිසිදු වාතය ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලබා දෙන බැවිනි.
"බොහෝ දෙනෙකුගේ ශ්වසන පද්ධතිය ආශ්රිත සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකි වන පරිදි වාතයෙන් දූවිලි, බැක්ටීරියා, ආසාත්මිකතාකාරක සහ අනෙකුත් අංශු පදාර්ථ ඍණ අයන මගින් ඉවත් කළ හැකි බවට සාධාරණ සාක්ෂි තියෙනවා," ඩෝල්ටන් පවසයි.
වාතය පිරිසිදු කිරීමට ඍණ අයනවලට කෙතරම් හැකියාවක් පවතින්නේ ද යන්න මීට දශකයකට පමණ පෙර පැහැදිලි වී නොතිබිණි. 2015 වසරේදී සිදු කළ අධ්‍යයනයකදී පර්යේෂකයෝ විවිධ වර්ගයේ අංශු ද්‍රව්‍ය වැහි බිංදු ජනනය කරන වීදුරු කුටියකට පොම්ප කිරීමෙන් මෙම හැකියාව සියුම් ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කළහ. වැහි බිංදු වාෂ්ප වී යාමෙන් අනතුරුව පර්යේෂකයින් එහි ඉතිරි වූ අංශු එකතු කළ අතර වැහි බිංදු ඒවා ආකර්ෂණය කර ගෙන ඇති දැයි තීරණය කිරීමට ඒවා ස්ථානගත වී ඇති ආකාරය සටහන් කර ගත්හ. කුඩා වැහි බිංදුවලට වාතයේ ඇති මෙම අංශු ආකර්ෂණය කර ගැනීමේ විශේෂ හැකියාව ඇති බව ඔවුහු සොයා ගත්හ.
මෙම අධ්‍යයනයේ සම-කර්තෘ සහ එක්සත් ජනපදයේ ඉන්දියානාහි පර්ඩියු විශ්වවිද්‍යාලයේ පෘථිවි, වායුගෝලීය සහ ග්‍රහලෝක විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෑන් සිට්සෝ පවසන්නේ, වැහි බිඳු පොළවට පතිත වන විට ප්‍රධාන වශයෙන් ම ඒවා ගමන් මාර්ගයේ පවතින සියුම් වායුගෝලීය අංශු "අතුගා දමන" බවයි. වැහි බිංදුවක් තුළ ඇති විද්‍යුත් ආරෝපණය (අයන) මෙම අංශු සඳහා චුම්බකයක් මෙන් ක්‍රියා කරන අතර ප්‍රතිඵලය වන්නේ අංශු එකිනෙක එකතු වීමයි.
චික්සෝ එය ඉදිකිරීම්වල නිරත පුද්ගලයින් කණ්ඩායමක් දූවිලි සහිත ස්ථානයකට ජලය ඉසින විට සිදුවන දෙයකට සමාන කරන අතර එහිදී වාතය පිරිසිදු වෙමින් එහි පැවති දූවිලි අංශු නැවත පොළොවට තල්ලු වේ.
වර්ෂාව ඇදහැළෙන වේගය ද ඊට හේතු වේ. "වැස්ස තදින් වහින තරමට වායුගෝලය පිරිසිදු වීමෙන් ඔබට ලැබෙන බලපෑම වැඩි වෙනවා," චික්සෝ පවසයි. කෝපය සහ අධික කාංසාව ඇති කිරීම සමග සම්බන්ධ වී තිබෙන වාතයේ ඇති ධන අයන ප්‍රමාණය අඩු කිරීම ද මෙයට ඇතුළත් වේ.
එබැවින්, මීළඟ අවස්ථාවේදී සැලකිය යුතු ලෙස වර්ෂාව ඇද හැළී එය අවසන් වීමෙන් අනතුරුව ඔබේ නිවසේ කවුළු විවෘත කිරීම ගැන සලකා බලන්න. වාතය වඩාත් පිරිසිදු වී ඇති බව ඔබට නිරීක්ෂණය කළ හැකි අතර තද වැසි සමග බොහෝ විට පැමිණෙන සීතල සුළඟ මගින් වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් පිරිසිදු වාතය ඔබේ නිවස තුළට ගලා ඒමට සලස්වනු ඇත.
මතකය වැඩි දියුණු කරන සුවඳ
වර්ෂාවේ ඇති නැවුම් සුවඳ මානසික බලපෑමක් ද ඇති කළ හැකි ය. 'පෙට්‍රිකෝර්' (petrichor) ලෙස හැඳින්වෙන මෙම දැඩි සුවඳ වැස්සකින් පසු පොළවෙන් නිකුත් වන අතර එය නමුත් පිරිසිදු ය.
"වැස්ස පොළොවෙන් එයරොසොල මුදා හරින විට පෙට්‍රිකෝර් සුවඳ නිකුත් වෙනවා," එක්සත් රාජධානියේ කිව් උද්‍යානයේ ශාක හා දිලීර ලක්ෂණ පිළිබඳ කටයුතු මෙහෙයවන ග්‍රීන්විච් විශ්වවිද්‍යාලයේ ශාක රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ෆිල් ස්ටීවන්සන් පවසයි. "වියළි කාලගුණයක් පවතින විට ශාකවලින්, සතුන්ගෙන් සහ පස්වලින් පිටවන කාබනික අණු පෘෂ්ඨ මත තැන්පත් වනවා. වැහි බිංදු ඇදහැළෙන විට ශාක මගින් පිට කරන තෙල් වර්ග ඇතුළු මෙම අණු වාතයට මුදා හරිනවා."
මෙම පිරිසිඳු සුවද, කුණාටුවක් අතරතුර පහළට ගමන් කරන වායු ධාරා මගින් පොළවට ඇද ගන්නා ඕසෝන් නිසා ඇති වන බව සැලකේ. සුවඳට හේතු වන තවත් දෙයක් වන්නේ පසෙහි ජීවත්වන ඇක්ටිනොමයිසීට් නමැති බැක්ටීරියාව බීජාණු නිපදවීමේදී ඇති වන රසායනික සංයෝගයක් වන ජියෝස්මින් ය.
"කාෂ්ඨක පොළොවට වැස්ස වැටුණා ම එන මෙම හුරුපුරුදු සුවඳ මවමින් වැස්ස මෙම බීජාණු සහ ජියෝස්මින් නිදහස් කරන අතර මෙය උණුසුම පවතින කාලවලදී වඩාත් හොඳින් දැනෙනවා," ස්ටීවන්සන් පවසයි. මෝරුන්ට ලේ වල සුවඳ දැනෙනවාටත් වඩා වැඩි සංවේදීතාවකින් මිනිසුන්ට මෙම සුවඳ දැනෙන්නේ ඇයි ද යන්න මින් පැහැදිලි විය හැකි ය. පර්යේෂකයන් උපකල්පනය කරන්නේ, පෙට්‍රිකෝර් සුවඳ යනු, නැවුම් ජලය බහුලව ලැබෙන බවට ලැබෙන සංඥාවක් ලෙස හඳුනා ගැනීමට අප පරිණාමය වී ඇති බවයි. එය අපේ මුතුන් මිත්තන්ට ආරක්ෂාකාරී බවක් සහ සන්සුන් බවක් දැනීමට උපකාරී වූවා විය හැක.
මෙම සුවඳට මොළයේ ඇල්ෆා සහ බීටා තරංගවල වෙනසක් කළ හැකි බව පෙන්වා දී ඇති අතර ඒවා සන්සුන්, වඩාත් සැහැල්ලු හැඟීමක් ඇති කරයි.
වර්ෂාවේ අද්විතීය සුවඳ සහ පරිසරය නාටකාකාර ලෙස වෙනස් කිරීමට අමතරව වර්ෂාව බලවත් අතීතාවර්ජන ප්‍රේරකයක් ද විය හැකිය. කඳවුරේදී මා ලද කුණාටු අත්දැකීම මීට වසර 20කට පෙර සිදු වූවකි. නමුත් තවමත් වැස්ස ඇදහැළෙන සෑම අවස්ථාවකදී ම මාගේ මනසේ එම දිනයේ පැහැදිලි සිතුවමක් ඇඳෙයි.
"වැස්ස ඇහහැළීමට ආසන්න වනවිට දැනෙන සුවද හෝ ඉන්පසුව දැනෙන සුවඳ වැනි සංවේදී අත්දැකීමක් විවිධාකාර ස්ථාන හෝ චිත්තවේගයන් පිළිබඳ අප සතු මතකයන් සමග බද්ධ වෙන්න පුළුවන්," සුවඳෙහි මනෝවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කළ ඩෝල්ටන් පවසයි.
ඇය පවසන්නේ ඕනෑ ම සුවඳකට අපගේ චිත්තවේග සහ චිත්තවේගී වශයෙන් වැදගත් මතක සැකසීම සිදු කරන මොළයේ කොටස වන ඇමිග්ඩලා සක්‍රීය කළ හැකි බව ය. අපගේ මෙම හැඟීම් කේන්ද්‍රස්ථානය සමග පවතින සබඳතාව නිසා ම සුවඳ හා බැඳුණු මතකයන් මොළයේ තදින් තැන්පත් වී පැහැදිලිව පවතී. එබැවින්, වැස්සක් වැනි සුවඳක් ඔබ දකින්නේ හොඳ හෝ නරක ලෙස ද යන්න ගැටලුවක් නොවේ: ඔබට යමක සුවඳ දැනෙන විට ඔබ සිටින තත්ත්වය අනුව එය මතක තබා ගත හැකි ය.
ඉතින්, ඊළඟ අවස්ථාවේදී වැසි ඇදහැළෙන විට කවුළුවකින් එබී හෝ වැස්සෙන් පසු ඇවිද යන විට එහි සුවඳ විඳ පැරණි මතකයන් නැවත සිහිවේදැයි බලන්න.
මනස සන්සුන් කරන හඬ
යහපත් මනෝභාවයක් ඇති කරන්නේ වැස්සේ ඇති නැවුම් සුවඳ විඳීම සහ එමගින් ඇති කරන නැවුම් වාතය ආශ්වාස කිරීම පමණක් නොවේ. එහි හඬ ද මනස සන්සුන් කරවන්නකි. මනස සන්සුන් කරවන ශබ්ද නිපදවන යන්ත්‍රවල වැස්සේ හඬ අන්තර්ගත කර ඇත්තේ ඒ නිසා ය. ඒකාකාරීව ඇදහැළෙන වැස්සකට කෝටිසෝල් මට්ටම අඩු කර සන්සුන් බවක් ඇති කර බාධාකාරී ඝෝෂා යටපත් කිරීමට ද හැකි ය.
"ජලයේ ශබ්දය ඔබේ ශරීරය ලිහිල් කිරීමට සහ ප්‍රකෘතිමත්වීමට දායක වන ස්නායු පද්ධතියේ කොටස වන ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධ වී තිබෙනවා," එක්සත් ජනපදයේ මිචිගන්හි සවුත්ෆීල්ඩ්හි බාහිර රෝගී සත්කාරක අංශයේ සේවය කරන සායනික ශ්‍රව්‍ය විද්‍යාඥ ඒමි සරොව් පවසයි. "මෙම පද්ධතිය සක්‍රීය වූ විට අපට අඩු හෘද ස්පන්දන වේගයක් සහ ආතති ප්‍රතිචාර අඩුවීම වැනි කායිකමය බලපෑම් දැක ගත හැකියි."
මෑතකාලීනව සිදු කළ අධ්‍යයනයකින් සොයා ගැනුණේ, වර්ෂාවේ ශබ්දය ඩෙසිබල් 40 සිට 50 දක්වා පරාසයක් තුළ (මෘදු බවට සමාන, මෘදු වර්ෂාපතනයක්) ආතති මට්ටම් 65% දක්වා අඩු කරන බවයි. තද වැස්සේ හඬ 'බ්‍රවුන් නොයිස්' නම් අඩු සංඛ්‍යාත කාණ්ඩයට අයත් වන අතර එයට නින්දට උපකාරී වන ලෙස බාධාකාරී ශබ්ද යටපත් කළ හැකි බව සරොව් පවසයි.
මෙම මට්ටම් දෙක ම සන්සුන් විය හැකි වුව ද, සරොව් පවසන්නේ එය බොහෝවිට පුද්ගල රුචිකත්වය අනුව රඳා පවතින බවයි. "යම් කිසි පුද්ගලයෙකු විවේකීව සිටීමේ අරමුණින් මෙම ශබ්දවලට සවන් දෙන්නේ නම්, එය අවධානය යොමු කිරීම හෝ භාවනා කිරීම වගේ. ශබ්දය ඔවුන්ට අවධානය යොමු කිරීමට සහ සන්සුන් වීමට උපකාර කරනවා."
වැස්ස පූර්ණ වශයෙන් මා යෝගී තත්ත්වයකට පත් නොකළ ද එය මා වෙත සහනයක් ගෙන දුන්නා සේ ම, වර්තමාන මොහොත සමග සම්බන්ධ කළේ ය. දැන් වැසි ඇති වන සෑම මොහොතක ම මා එය රස විඳිමින් කාලය ගත කිරීමට උත්සහ කරයි. ඊළඟ වතාවේ වැසි ඇදහැළෙන වැටෙන විට, එය සැබවින් ම අත්විඳීමට උත්සහ කර බලන්න. ඔබ එයින් පුදුමයට පත් වනු ඇත.