ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මත්ද්‍රව්‍ය සමග ගුවන්තොටුපොළේදී හසුවූ භික්ෂූන් 19 දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පරීක්ෂණයෙන් තහවුරු වෙයි
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
තායිලන්ත සංචාරයක් නිම කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි දෙදෙනෙකු කිලෝ ග්‍රෑම් 110කට අධික "කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූයේ අප්‍රේල් 25 වන දා රාත්‍රියේ ය.
එම භික්ෂූන් වහන්සේලාගෙන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කළේ ය.
"කැනබීස් පොසිටිව් වෙලා තියෙන්නේ, 19ක් පොසිටිව්," වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල වැඩ වාසය කරන මෙම තරුණ භික්ෂූන් වහන්සේලා, විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බව හෙළිව ඇත.
මෙම භික්ෂූන් පැමිණියේ කුමන ගුවන්තොටුපොළේ සිට ද?
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත අප්‍රේල් 25 වන දා තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.140 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන් ගුවන් ගතව තිබුණේ බැංකොක් නුවරට කි. මී. 25ක් පමණ උතුරින් පිහිටා ඇති දොන් මුවාන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොළිනි (DMK).
අනුග්‍රාහකයෙකු ලබා දුන් ගුවන් ටිකට්පත් මගින් මෙම භික්ෂූන් වහන්සේලා තායිලන්තය බලා ගොස් තිබූ අතර, සැකකාර භික්ෂූන් වහන්සේලාගේ තායිලන්ත සංචාරය සංවිධානය කළ බව පැවසෙන කැලණිය ප්‍රදේශයේ "අමිතානන්ද" නමැති භික්ෂුව ද අත්අඩංගුවට ගන්නා ලදී.
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සෙසු භික්ෂූන් වහන්සේලා පිරිස ඉරිදා (අප්‍රේල් 26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකාර භික්ෂූන් වහන්සේලා වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන අය බවට පොලිසිය පවසයි.
කුෂ් කිලෝග්‍රෑම් 101ක් සහ ග්‍රෑම් 768ක් ද හෂීස් කිලෝග්‍රෑම් 10ක් සහ ග්‍රෑම් 812ක් ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.
මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන මෙහෙයවන්නන් කවුරුන්ද සහ මොවුන් මෙරට මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.