'ප්‍රථම වතාවට' මත්ද්‍රව්‍ය සමග භික්ෂූන් පිරිසක් කටුනායකදී අත්අඩංගුවට ගැනීම: අප මෙතෙක් දන්නේ මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ලෝක සාමය පතා විදෙස් භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙරට පා ගමනක යෙදෙන මොහොතක විදෙස් සංචාරයකට ගොස් පෙරළා පැමිණි මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්ත සංචාරයක් නිම කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 දෙදෙනෙකු මෙසේ කිලෝ ග්‍රෑම් 110කට අධික "කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇත.

මත්ද්‍රව්‍ය සමග භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව

බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත අප්‍රේල් 25 වන දා තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

භික්ෂූන්ගේ ජංගම දුරකතනවලින් අනාවරණය වී ඇත්තේ මොනවා ද?

අනුග්‍රාහකයෙකු ලබා දුන් ගුවන් ටිකට්පත් මගින් මෙම භික්ෂූන් වහන්සේලා තායිලන්තය බලා ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල වැඩ වාසය කරන මෙම තරුණ භික්ෂූන් වහන්සේලා, විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බව හෙළිව ඇත.

එමෙන් ම, මෙම ඇතැම් භික්ෂූන් වහන්සේ තායිලන්තයේදී ගිහියන් ලෙස සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ජායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකතන තුළ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අනාවරණය කරගෙන තිබේ.

ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 05කට අධික මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයා ගනී

භික්ෂූන් වහන්සේලා රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ, විවිධ රසකැවිලි අතර, ව්‍යාජ පතුල් සකස් කර සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇති අතර සෑම භික්ෂූන් වහන්සේ නමකගේ ම ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 05කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඟවා තිබියදී සොයා ගැනීමට හැකිව ඇත.

එසේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන එන ලද "කුෂ්" සහ "හෑෂ්" කිලෝ ග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගෙන තිබේ.

ජාවාරම මෙහෙයවා ඇත්තේ භික්ෂූන් වහන්සේ නමක් ද?

මෙම සිදුවීම පිළිබඳව බීබීසී සිංහල තවදුරටත් කරුණු සොයා බැලු අතර එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි මිනුර සෙනරත් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කැලණිය ප්‍රදේශයේ තවත් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ය.

"අමිතානන්ද වගේ කියලා නමක් තියෙන හාමුදුරු කෙනෙක් ඉන්නවා කැලණිය පැත්තේ, කලිනුත් එයා හාමුදුරුවෝ එක්ක ටුවර් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ හාමුදුරුවෝ තමයි කියලා තියෙන්නේ මේ පාර්සල් ටික ඩොනේෂන් එකක්, වෑන් එකක් එයි, ඒ වෑන් එකට දෙන්න කියලා."

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමට සොයනු ලබන එම භික්ෂුව මෙම සංචාරයට එක්ව නැති බව ද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට ගැනීමට සොයන භික්ෂූන් වහන්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට සැකකරන බවත් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් අධිකාරී මිනුර සෙනරත් බීබීසී සිංහල වෙත පැවසීය.

එමෙන් ම, අත්අඩංගුවට පත්වූ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මෙම සිදුවීම සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර අත්අඩංගුවට ගන්නා ලද භික්ෂූන් වහන්සේලා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.