ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෙසක් සතිය කල් දැමීමේදී රජය හජ්ජි සැමරුම ගැන තැකීමක් නොකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක්
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
විසා නැකත නොයෙදීම නිසා මැයි 1 වන දාට යෙදී තිබූ වෙසක් පොහොය මැයි 30 වන දින දක්වා කල්දැමීමට රජය පියවර ගෙන තිබේ.
මෙම දින වෙනස් කිරීම සිදු කර ඇත්තේ, මහනායක හිමිවරුන් ද ජනාධිපතිවරයාට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ය.
කෙසේ වෙතත්, මේ වන විට අලුතින් නම් කර ඇති වෙසක් සතිය තුළ හජ්ජි සැමරුම ද යෙදී තිබීම සම්බන්ධයෙන් මේ වන විට මුස්ලිම් ප්‍රජාව තුළ සංවාදයක් මතුව තිබේ.
වෙසක් පොහොය කල් දැමුවේ ඇයි?
බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම විසා නැකත නම් නැකතකින් සිදුව ඇති බව මහනායක හිමිවරුන් 2025 දෙසැම්බර් 20 වන ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ ලිපියක පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් උන්වහන්සේලා පෙන්වා දී ඇත්තේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයෙන් ඒ වන විට නිකුත් කර තිබූ දින දර්ශනයට අනුව වෙසක් පොහොය ලෙස නම් කර තිබූ මැයි 1 දිනයේ ඉහත කී නැකත යෙදී නොමැති බව ය.
එහෙයින්, අධිපොසොන් පොහොය ලෙස නම් කර තිබූ මැයි 30 වන දින වෙසක් පොහොය ලෙස නම් කිරීම සුදුසු බවට එම ලිපියේ සඳහන් කර තිබිණි.
එමෙන් ම, 2026 ජනවාරි 6 දින පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද යෝජනා වී ඇත්තේ, 2026 මැයි 27 සිට 2026 ජූනි 2 දක්වා වෙසක් සතිය නම් කළ යුතු බවට ය.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න, 2026 පෙබරවාරි 16 වන දින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව, එම අමාත්‍යංශ දෙකෙහි අමාත්‍යවරුන් දෙදෙනා මාර්තු 16 ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබූ අතර, ඒ සඳහා 2026 මාර්තු 30 කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, 2026 මැයි 27 සිට 2026 ජූනි 2 දක්වා වෙසක් සතිය ලෙස නම් කර තිබේ.
වෙසක් සතිය තුළ යෙදී ඇති හජ්ජි සැමරුම
එලෙස නම් කරන ලද වෙසක් සතියට ඇතුළත් මැයි 28 වන දිනට හජ්ජි සැමරුම ද යෙදී තිබේ.
මාධ්‍යවේදිනියක වන මුන්සා මුෂ්ටාක් සිය ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සටහනක් තබා තිබේ.
එහි දළ සිංහල පරිවර්තනය අනුව, "වෙසක් සතිය දැන් මැයි 27-30 දක්වා මාරු කර ඇති නිසා, මැයි 28 වන දිනට යෙදෙන හජ්ජි සඳහා කුර්බාන් පූජා කිරීමට සැලසුම් කරන මුස්ලිම්වරුන්ට මෙය බලපාන්නේ කෙසේ ද?," යනුවෙන් ඇය ප්‍රශ්න කර තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අර්ෂාඩ් කාදර් ද මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ ඉංග්‍රීසි භාෂාවෙන් දීර්ඝ සටහනක් තබා තිබේ.
ඔහු ද පෙන්වා දෙන්නේ, වෙසක් සැමරුම වෙනුවෙන් සිදු කරන ඇතැම් සීමා කිරීම් (මස් සඳහා සීමාවන් වැනි) සහිත සතියක් තුළ හජ්ජි සැමරුමේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමට බාධාවක් ඇති විය හැකි බව ය.
"සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රාජ්‍යය විසින් ආරක්ෂා නොකරන බවටත්, ආගමික බහුතරයේ අභිමතයන්ට සහ 'අවසරයට' [සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්] යටත් වන බවටත් සෑම පුරවැසියෙකුට ම පණිවිඩයක් ලබා දීමක්," මෙයින් සිදුව ඇතැයි ඔහු චෝදනා කරයි.
රජය පවසන්නේ කුමක් ද?
වෙසක් සතිය නැවත නම් කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව මතු කර ඇති මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්ගෙන් විමසීමක් කරන ලදී.
"සතියක් ප්‍රකාශ කරද්දී මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් සලකලා ද මේ තීරණය ගත්තේ කියලා පොඩි කතිකාවක් මේ වෙද්දී සමාජයේ තියෙනවා. සංවේදී තැනක් මේක. විශ්වාසයන් දෙකක්. විවිධ විදිහට තියෙන විශ්වාසයන් දෙකක්, ආණ්ඩුව විදිහට මේ සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යි කියලා අපි විශ්වාස කරනවා,: නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
"බෞද්ධ කටයුතු කොමසාරිස් අපේ අමාත්‍යංශය යටතේ සහ, රාජ්‍ය පරිපාලනය එක්ක කතා කරලා ඒක ඉතා සුහදව අවබෝධයෙන් ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මොකක් ද කියන කාරණාව දැන් අපි සාකච්ඡා කරලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න සූදානම් වෙනවා."
"අපේ රටේ බොහෝදුරට සුරාසල් සහ මස් කඩ පෝය සහ පසු දින වහන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් වේවි. ඒ චක්‍රලේඛය බොහෝදුරට මුස්ලිම් සමාජය හජ් දවස එක්ක ගැටෙන්න නැති තත්ත්වයක් ඇති වේවි," නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ ය.
තව ද වෙසක් සතිය ආසන්නයේ හජ්ජි උත්සවය පැමිණෙන නිසා මුස්ලිම් ප්‍රජාවට ද වගකීමක් ඇති බවට ඔහු පවසයි.
"ප්‍රජාවක් ලෙස මම හිතන්නේ අපටත් වගකීමක් තියෙනවා මුස්ලිම් ප්‍රජාව විදිහට, වෙසක් සතිය ආසන්නව අපේ උත්සවය එන නිසා අපේ හජ් උත්සවය හා බැඳිච්ච කුර්බාන් සම්බන්ධව අපි ඉතා සංවේදීව, අනෙකා සම්බන්ධව, ඒ ආගම් හා සංස්කෘතිය සම්බන්ධව ගෞරවයෙන් කටයුතු කළ යුතු යි කියන පණිවිඩයත් අපි මුස්ලිම් සමාජයට ලබා දෙනවා."
එහිදී බීබීසී සිංහල විමසා සිටියේ, මෙලෙස වෙසක් සතිය වෙනස් කිරීමේදී, එම සතියේ හජ්ජි උත්සවය ද යෙදී තිබීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාවගෙන් අදහස් විමසීමක් සිදු කළේ ද යන්න යි.
"වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමේදී අපේ රටේ පැවති ක්‍රමවේදය තමයි වෙනසක් දිනවලට පෙර දින 2ක් සහ පසු දින 3ක් වගේ තමයි සාමාන්‍යයෙන් තිබුණේ. ඒ අනුව තමයි ඒක ප්‍රකාශයට පත්වෙලා ඇත්තේ," නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් පැවසීය.