ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලුතෙන් එක්වූ SSCL බද්ද සහ තවත් හේතු නිසා වාහන මිල වැඩි වී ඇත්තේ කෙසේ ද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
"පොඩි කාර් එකක් ගන්න බල බල හිටියේ, වැගන් ආර් එකක් වගේ. ඒත් දැන් ගිය මාසේ තිබුණටත් වැඩිය ආයේ වාහනවල ගාණ වැඩි වෙලා කියනවා."
වාහන මිල ගණන් යළිත් ඉහළගොස් තිබීම හේතුවෙන් වාහනයක් මිල දී ගැනීමේ සිහිනය බොඳ වෙතැයි කණස්සල්ලෙන් පසු වන මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.
"අතේ තියන සල්ලි ටික ඔක්කොම දාලා, රත්තරන් බඩුත් උගස් තියලා, මදි පාඩුවට ලීසිං එකකුත් දාලා තමයි වාහනේ ගන්න ලෑස්ති වුණේ. ඒත් ආයෙත් ගණන් වැඩි වෙලා තියෙන නිසා එක්කෝ අතින් තව ගාණක් දාන්න වෙනවා නැතිනම් ලීසිං එක වැඩි කර ගන්න වෙනවා. හැබැයි ඔය දෙකෙන් එකක්වත් කර ගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි මම ඉන්නෙ," නම හෙළි කිරීමට අකැමැත්ත පළ කළ එම ව්‍යාපාරිකයා පැවසීය.
වත්මන් රජය බලය මැතිවරණයට පෙර දුන් පොරොන්දු අතර වාහන මිල අඩු කිරීම ප්‍රධානතම පොරොන්දුවක් වූ අතර, බොහෝ දෙනෙකු ඒ පිළිබඳව බලාපොරොත්තුසහගතව සිටියේ, වසර ගණනාවක් වාහන ආනයනය අත්හිටුවා තිබූ වාතාවරණයක් තුළ අඩු මිලට වාහනයක් මිල දී ගැනීමේ අදහසිනි.
වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට රජය පියවර ගත්ත ද, වාහන මිලෙහි අඩු වීමක් සිදු නොවූ අතර සිදුව ඇත්තේ තවදුරටත් බදු ප්‍රමාණය වැඩි වීම තුළ වාහන මිල ඉහළ යාමකි.
එවන් පසුබිමක මැයි මස 01 වන දා සිට මෙරටට ආනයනය කරන වාහන සඳහා 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) එකතු වූ අතර, එම බදු මුදල වාහනන ආනයනය කරන අවස්ථාවේදී ම රේගුව විසින් අය කරනු ගනු ලබයි.
මීට පෙර එම බද්ද ක්‍රියාත්මක වුව ද, වාහන සඳහා රේගුවේදී බදු අය නොකළ හෙයින් එම බද්ද බොහෝවිට ආනයනකරුවන් නොගෙවූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
මැයි 01 වන දා සිට රේගුවේදී එම බද්ද අය කර ගැනීමට පියවර ගත්තේ, ඒ අනුව බව ඔහු පෙන්වා දුන්නේ ය.
මිල ගණන් කොපමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ ද?
Honda Vezel රථයක මිල රුපියල් ලක්ෂ 4ත් 5ත් අතර මිලකින්, Wagon R මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙක හමාරකින් පමණ, Land Cruiser වැනි සුඛෝපභෝගී රථයක මිල ලක්ෂ රුපියල් 15ක් පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසීය.
දැනට වෙළෙඳපොළේ පවතින වාහනවල සහ ඉදිරියේදී ආනයනය කරනු ලබන වාහනවල මිල ද මෙසේ ඉහළ යනු ඇති බව ඔහු කියා සිටියේ ය.
එමෙන් ම, බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී Raize රථයක මිල රුපියල් ලක්ෂ
2කට වැඩි ප්‍රමාණයකින්, Yaris රථයක මිල ලක්ෂ එක හමාරේ සිට ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය විය.
ආනයනය කරනු ලබන වාහන මිල මෙලෙස ඉහළ යාම හමුවේ පාවිච්චි කරන ලද වාහනවල මිල ගණන් වෙනස් වීම සම්බන්ධයෙන් ද බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.
"දැන් අලුත් වාහන මිල වැඩි වුණොත් සෙකන්ඩ් හෑන්ඩ් වාහනවල මිලත් ඉහළ යන්න පුළුවන් මොක ද ඒක සාපේක්ෂයි නේ. සමස්තයක් විදියට වාහන මිල වැඩි වීම තුළ සියලු ම වාහන මිල ඉහළ යන්න පුළුවන්," ඊට පිළිතුරු දෙමින් වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග සඳහන් කළේ ය.
බදුවලට අමතරව වාහන මිල ඉහළ යාමට බලපාන තවත් හේතු කිහිපයක්
බදුවලට අමතරව මැද පෙරදිග පවතින යුද්ධය සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම ද වාහන මිල ඉහළ යාමට බලපා ඇති බව වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.
"ඩොලර් එකේ අගය 320 සීමාව පන්නලා ගිහිල්ලා තියෙනවා. ඒ මතත් වාහන මිල දැන් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව නැව් ගාස්තු විශාල ලෙස වැඩි වෙලා, මොක ද මැද පෙරදිග කලාපයේ තියෙන යුදමය තත්ත්වය නිසා ගොඩක් නැව් මාර්ගවල නැව් ගමන් අවලංගු වෙලා තියෙනවා. තියෙන සීමිත නැව් ගමනාගමනයත් එක්ක භාණ්ඩ ප්‍රවාහනයට ඉල්ලුම් කරද්දී ඒගොල්ලෝ නැව් ඉඩකඩ වෙන් කර ගැනීමේදී 25%ක විතර ප්‍රමාණයකින් නැව්වල ගාස්තුව වැඩි කරලා තියෙනවා. ඊට අමතරව ඉන්ෂුවරන්ස්, රක්ෂණ මිල සීයට 50කින් විතර වැඩි වෙලා තියෙනවා වාහන මත. ඒවා සේරම මිල වැඩි වෙන්න බලපානවා."
'එක වාහනයක් ගන්නවත් අවස්ථාව තියෙන්නේ ඕනේ'
බදු එකතු වීම සහ ඩොලරයේ අගය ඉහළ යාම වාහන මිල වැඩි වීමට බලපා ඇති බව පෙන්වා දෙන වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ, මේ වසර වන විට ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇති බව ය.
වාහන මිල සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව මහාචාර්යවරයා අවධාරණය කළේ ය.
"රජය පැත්තෙන් වාහන සම්බන්ධයෙන් පොලිසි එකක් තියෙන්න ඕනේ. ජපානයේ ඔක්කොම කරලා, අමුද්‍රව්‍ය දාලා හැම දේ ම කරලා හදන වාහනේ රුපියල් ලක්ෂ 10ට එහෙ ගන්න පුළුවන්කම තියෙද්දි අපි ඒ වාහනේට ලක්ෂ 30ක් විතර බදු ගහනවා. එතකොට ජපානයට වඩා වාහනයෙන් හම්බ කරනවා ලංකාව. ඒක හරි අසාධාරණ යි. මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකමක් නැති කරනවා වගේ. අඩු ම ගාණේ එක වාහනයක් ගන්නවත් අවස්ථාව තියෙන්නේ ඕනේ."
"රජයට පුළුවන් නම් හිතන්න අවුරුදු 10කට එක පවුලකට එක වාහනයක් ගන්න උපරිම ලිමිට්ස් දාන්න පුළුවන් නේ. ලොකු වාහන නෙමෙයි පොඩි වාහනයක්. එහෙම හරි ගන්න ක්‍රමයක් හදනවා නම් හොඳ යි. මේ රජය ආවෙත් ලක්ෂ 12ට විට්ස් එක ගන්න පුළුවන්, ජපන් මෝටර් සයිකල් අරන් දෙන්නම් කියලා නේ. ඒ නිසා මේ ආණ්ඩුවට තමයි ඕක කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් හොඳ යි, නැතිනම් ඉස්සරහට වාහනයක් ගන්නවා කියන එක හීනයක් බවට පත් වෙනවා," මහාචාර්යවරයා පැවසීය.
වාහන මිල ඉහළ යාම හමුවේ රක්ෂණ ගාස්තු, වාහන අමතර කොටස් මිල ද වැඩි වනු ඇතැයි පෙන්වා දුන් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, මූල්‍ය සේවා සඳහා එකතු කරන ලද 20.5%ක VAT එකතු වීම ද රක්ෂණ සඳහා බලපානු ඇති බව පැවසීය.
'රජය බදු අඩු කරයි කියලා විශ්වාසයක් තියන්න බැහැ'
වාහන මිල පහළ දැමීම කළ හැකි ආකාරය සම්බන්ධව කළ විමසීමේදී වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග කියා සිටියේ, බදු අඩු කිරීමෙන් වාහන මිල අඩු කළ හැකි වුවත් රජය බදු අඩු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ය.
"රජය පැත්තෙන් කරන්න පුළුවන් එක ම දේ තමයි වාහනවල බදු අඩු කිරීම. නමුත් මේ අවස්ථාවේ රජය බදු අඩු කරයි කියන එක පිළිබඳව අපිට විශ්වාසයක් තියන්න බැහැ. මොක ද රජයේ ප්‍රධාන ම ආදායම් මාර්ගයක් විදියට තමයි වාහන ආනයනය මේ අවස්ථාවේ සැලකෙන්නේ. ඉතින් ඒකෙන් හම්බ වෙන මුදල් ප්‍රමාණය අඩු කර ගැනීමට මම හිතන්නේ නෑ රජයක් විදියට මේ අවස්ථාවේ සූදානම් වෙයි කියලා. අනිත් ගෝලීය තත්ත්වයන් මත වැඩි වෙන එක පාලනය කරන්න බැහැ."