ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
79 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් සීදුවේදී ට්‍රැවලිං බෑගයකින් හමුවෙයි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
සීදුව, මූකලන්ගමුව ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක ඝාතනය කර සංචාරක ගමන් මල්ලක (Travelling Bag) සැඟවීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කර ඇතැයි පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ග්‍රෑන්ඩ්ස්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වූ සැකකරුවෙකු එලෙස සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මැයි 25 දක්වා රක්ෂිත බන්ධානාගරගත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
'කම්බියකින් ගෙළ සිර කර කළ ඝාතනයක්'
අදාළ තැනැත්තා මිය ගිය කාන්තාවගේ නිවසේ අලුත් වැඩියාවකට පැමිණ ඇති බවත්, පසු දිනක සොරකමක් සිදු කිරීමට පැමිණ කාන්තාව ඝාතනය කර ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.
කාන්තාවගේ ගෙළ කම්බියකින් සිර කර එම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් පැවසීය.
"සැකකරු වහලේ තෙමෙන තැනක් හදන්න මේ ගෙදරට කලින් ඇවිල්ලා තියෙනවා. මේ කාන්තාව පොළියට සල්ලි දෙන කෙනෙක්. මේ ගෑනු කෙනා ගාව සල්ලි තියෙනවා කියලා හිතලා ඇවිල්ලා කියලා තමයි සැක කරන්නේ. කම්බියකින් බෙල්ල හිර කරලා තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඊට අමතරව මේ කාන්තාවගේ කැමරාවක මෙමරි කාඩ් එකක් සැකකරු විසි කරලා දාලා තිබිලා පොලිසියට හම්බ වෙලා තියෙනවා."
මිය ගිය කාන්තාවගේ පුත්‍රයා සීදුව පොලිසිය වෙත මෙම සිදුවීම පිළිබඳව පැමිණිලි කර ඇත්තේ, මැයි 20 වන දා සවස වන අතර, ඊට පෙර දිනයේ අදාළ සැකකරු මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරන අතර තවදුරටත් ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වේ.
සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වුව ද තාවකාලිකව සීදුව ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට තිබිණි
මළ සිරුර සොයා ගත් හැටි
මිය ගිය කාන්තාවගේ මළ සිරුර ඇයගේ නිවස තුළ ට්‍රැවලිං බෑගයක දමා තිබියදී සොයා ගෙන ඇත්තේ, එම කාන්තාවගේ පුත්‍රයා ය.
සිය මව හමුවීමට පැමිණි කාන්තාවක මව නිවසේ නොමැති බව සහ දුරකතනයට ප්‍රතිචාර නොදක්වන බවට තමන්ට දැනුම් දුන් බව පවසන පුත්‍රයා, ඒ හේතුවෙන් මවගේ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී දොර අගුළු නොදමා තිබූ අතර, මවගෙන් ප්‍රතිචාරයක් නොමැති බව අදාළ කාන්තාවට සහ ඥාති සහෝදරයෙකුට දන්වා තිබේ.
ඉන්පසුව ග්‍රාම නිලධාරීවරයා වෙත ඒ පිළිබඳව දැනුම් දුන් පසුව නිවසට ඇතුළු වන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති මිය ගිය කාන්තාවගේ පුත්‍රයා, ඒ පිළිබඳව සීදුව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
"පැමිණිල්ලක් දාගන්න ගියා ම මොබයිල් එකෙන් මහත්තයෙක් එව්වා. ඒ ඇවිල්ලා සම්පූර්ණ පරීක්ෂාවක් කළත් හොයා ගන්න හම්බ වුණේ නැහැ. ඊට පස්සේ ආපහු 1.40ට විතර මමයි මගේ සහෝදරයෙක් ඉන්නවා තව, මම කිව්වා අපේ අම්මාව නැති වෙන්න විදියක් නැහැ සෙරෙප්පු දෙකත් තියෙනවා, බෑගුත් තියෙනවා කියන්නේ එයා ඉන්න ඕන කොහේ හරි කියලා."
ග්‍රාම නිලධාරීවරයා සහ පුත්‍රයා මිය ගිය කාන්තාව සොයන විට නිවසේ තිබූ ට්‍රැවලිං බෑගයකින් දුඟදක් වහනය වීම හේතුවෙන් එය පරීක්ෂා කිරීමේදී එහි තිබී මළ සිරුර හමුවී ඇත.
"ලොකු ට්‍රැවලිං බෑග් එකක් තියෙනවා ඒකෙන් නිකං මීයෝ කුණු වුණා ම වගේ ගඳක් ආවා. එතකොට මම කිව්වා ගඳක් එනවා මල්ලි අපි චෙක් කරමු කියලා. ඇරලා බලද්දී කකුල් දෙක දැක්කා. දැකපු ගමන් මම පොලිසියට පැනලා දිව්වා," යැයි මිය ගිය කාන්තාවගේ පුත්‍රයා පැවසීය.
මිය ගිය කාන්තාවගේ මළ සිරුර අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන් වෙත භාර දී ඇති බවත්, සීදුව පොලිසිය සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.