ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහාධිකරණය හමුවට

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (ඔක්. 6) කොළඹ මහාධිකරණය වෙත රැගෙන එනු ලැබිණි.

ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවක් ඉකුත් 29 වන දා කැඳවනු ලැබූ අවස්ථාවේදී උන්වහන්සේ අධිකරණයේ පෙනී සිටියේ නොමැත.

වීඩියෝව නරඹන්න

ඉන් අනතුරුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසින් එදින වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

එම වරෙන්තුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට රැගෙන එනු ලැබිණි.

මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න සමග පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසුව විත්තිකාර හිමියන් මානසික වශයෙන් කඩා වැටීමකට ලක්ව අසනීප තත්ත්වයෙන් පසුවු බවත් උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක භාවනායෝගීව සිටි බවත් සඳහන් කළේය.

එම නිසා පසුගිය නඩු දිනයේ උන්වහන්සේට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවත් නීතිඥවරයා පැවසීය.

අධිකරණය මගහැරීමේ චේතනාවක් උන්වහන්සේ තුළ නොතිබූ බවත් නීතිඥවරයා සඳහන් කළේය.

තවදුරටත් කරුණු දැක්වූ නීතිඥ සංජය මාරඹේ " ස්වාමීනී.. අද දින ඥානසාර හිමියන්ව බන්ධනාගාරය විසින් චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා කම්පා වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට. ඒත් මෙය කනගාටුදායක තත්ත්වයක්" යනුවෙන් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩු කටයුත්ත නැවත ඔක්තෝබර් මස 23 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

බුදු දහමට අපහාසයක් සිදුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නති සංග්‍රහය යටතේ නීතිපති වරයා විසින් මෙම නඩුකරය ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කර තිබේ.