ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නව නීති දැන් ක්‍රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ශිෂ්‍ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ.
මෙම ප්‍රතිසංස්කරණ, පසුගිය වසර කිහිපය තුළ ශිෂ්‍ය වීසා පද්ධතියට සිදු කරන ලද විශාලතම වෙනස්කම් අතරට අයත් වන අතර, ඒවායේ ප්‍රධාන අරමුණ වන්නේ ඔස්ට්‍රේලියාවේ තාවකාලිකව රැඳී සිටීමේ අවසරය දීර්ඝ කර ගැනීම සඳහා විදේශීය පුද්ගලයන් නැවත නැවතත් රට තුළ සිට ම (onshore) වීසා අයැදුම් කිරීමේ මාර්ගයක් ලෙස ශිෂ්‍ය වීසා භාවිත කිරීම සීමා කිරීම ය.
එමෙන් ම, ශිෂ්‍යයෙකුගේ අධ්‍යයන කාලය තුළ පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට රැගෙන ඒම සම්බන්ධ නීති ද මෙම වෙනස්කම් මගින් තවදුරටත් දැඩි කර ඇත.
දැනට ශිෂ්‍ය වීසා දරන පුද්ගලයන්ටත්, අනාගතයේදී ඔස්ට්‍රේලියාවේ අධ්‍යයනය කිරීමට සැලසුම් කරන පුද්ගලයින්ටත්, මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්‍ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද? යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතු ය.
ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින්නන්ට එහි රැඳී සිටිමින් වෙනත් ශිෂ්‍ය වීසා අයැදුම් කිරීම අත්හිටුවයි
මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන වෙනසක් වන්නේ, ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින්නන් වෙනත් ශිෂ්‍ය වීසා ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටිමින් ඊට අයැදුම් කළ නොහැකි වීම ය.
මීට පෙර, එක් පාඨමාලාවක් අවසන් වීමට ආසන්න වූ ශිෂ්‍යයන්ට තවත් අධ්‍යයන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව තුළ සිට ම නව ශිෂ්‍ය වීසා අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබිණි.
නමුත් නව නීති යටතේ, දැනට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් දරන පුද්ගලයෙකු ප්‍රධාන අයැදුම්කරු ලෙස තවත් ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කිරීමට අවශ්‍ය නම්, අයැදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහු හෝ ඇය ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතු ය.
එපමණක් නොව, අයැදුම්පත විදේශගතව සිට ඉදිරිපත් කළ යුතු අවස්ථාවලදී, නව වීසා බලපත්‍රය නිකුත් කරන විටත් එම පුද්ගලයා ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතු වේ.
මෙම වෙනස හඳුන්වා දී ඇත්තේ ශිෂ්‍ය වීසා නැවත නැවත ලබාගෙන ඔස්ට්‍රේලියාවේ තාවකාලික නවාතැන් කාලය දිගු කර ගැනීමේ ප්‍රවණතාව අවම කිරීමේ අරමුණ ඇතිව ය.
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට අයැදුම් කිරීම අනිවාර්ය කර ඇති තවත් පිරිස්
ඔස්ට්‍රේලියානු රජය, ඔස්ට්‍රේලියාවේ රැඳී සිටියදී ම ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කළ නොහැකි වීසා දරන්නන්ගේ ලැයිස්තුව ද තවත් පුළුල් කර ඇත.
නීතිවල කරන ලද වෙනස්කම් හේතුවෙන් Skills in Demand (Subclass 482), Working Holiday (Subclass 417), Work and Holiday (Subclass 462), Training (Subclass 407), Temporary Activity (Subclass 408) ඇතුළු තාවකාලික වීසා වර්ග රැසක් දරන පුද්ගලයන්ට බලපෑම් එල්ල වනු ඇත.
නව නීති යටතේ, මෙම වීසා දරන්නන්ගෙන් බොහෝ දෙනෙකුට ශිෂ්‍ය වීසා අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට නම් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට එය සිදු කළ යුතු වේ.
ඔස්ට්‍රේලියාවේ දැනටමත් රැඳී සිටින අතර අධ්‍යයනය ඉදිරියට ගෙන යාම සඳහා ශිෂ්‍ය වීසා ලබා ගැනීම පහසු මාර්ගයක් ලෙස සැලකූ බොහෝ තාවකාලික පදිංචිකරුවන්ට මෙම වෙනස සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත.
මෙම ප්‍රතිසංස්කරණ මගින්, තාවකාලික වීසා මත සිටින පුද්ගලයන් ශිෂ්‍ය වීසා භාවිත කරමින් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කර ගැනීමේ ප්‍රවණතාව සීමා කිරීම රජයේ අරමුණ යි.
ඔස්ට්‍රේලියාවේ සිටියදී ම වීසා අයැදුම් කළ හැකි ශිෂ්‍යයින් කවුද?
නව සීමා කිරීමේ නීති පුළුල් පරාසයකට අදාළ වුව ද, එම නීති බලනොපාන කාණ්ඩ කිහිපයක් තවමත් පවතී.
ආචාර්ය උපාධි (PhD) හදාරන සිසුන්ට තවදුරටත් ඔස්ට්‍රේලියාව තුළ සිට ම (onshore) තවත් ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.
එමෙන් ම, අධ්‍යාපන ආයතනයක් වසා දැමීම හෝ එහි ලියාපදිංචිය අහිමි වීම වැනි "provider default" තත්ත්වයන්ට මුහුණ දෙන සිසුන්ට ද, ඔස්ට්‍රේලියාවෙන් පිටව නොගොස් තවත් ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ඊට අමතරව, තම අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට අමතර කාලයක් අවශ්‍ය වන හෝ අනුමත අධ්‍යයන ප්‍රගති මාර්ගයක් (approved progression pathway) ඔස්සේ ඉදිරියට අධ්‍යයනය කළ යුතු සිසුන්ගේ අවශ්‍යතා ද රජය විසින් සැලකිල්ලට ගෙන ඇත. ඇතැම් විශේෂ තත්ත්වයන් යටතේ, එවැනි සිසුන්ට ද ඔස්ට්‍රේලියාවේ සිටියදී ම නැවත ශිෂ්‍ය වීසා අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් පවතී.
කෙසේ වෙතත්, මෙම සියලු ව්‍යතිරේක සඳහා නිශ්චිත සුදුසුකම් සහ කොන්දේසි පවතින බැවින්, සෑම වීසා අයැදුම්පතක් ම ඉදිරිපත් කිරීමට පෙර එම කොන්දේසි හොඳින් පරීක්ෂා කර බලන ලෙස උපදෙස් දෙයි.
පවුලේ සාමාජිකයන්ට පැනවෙන නව සීමා
මෙම ප්‍රතිසංස්කරණ මගින් ශිෂ්‍ය වීසා දරන්නන් සමග පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද සැලකිය යුතු වෙනස්කම් සිදු කර ඇත.
මීට පෙර, බොහෝ ශිෂ්‍යයන්ට ඔවුන්ගේ ශිෂ්‍ය වීසා අනුමත වූ පසුව පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට කැඳවා ගැනීමේ හැකියාව තිබිණි. බොහෝ අවස්ථාවලදී, ප්‍රධාන අයැදුම්කරු අධ්‍යයන කටයුතු ආරම්භ කර මාස කිහිපයකට හෝ වසර කිහිපයකට පසුව පවා, පවුලේ සාමාජිකයන්ට වෙන ම "subsequent entrant" අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි විය.
කෙසේ වෙතත්, එම නම්‍යශීලීභාවය නව නීති යටතේ දැඩි ලෙස සීමා කර තිබේ.
නව නීති යටතේ සුදුසුකම් ලබන පවුලේ සාමාජිකයන් ශිෂ්‍ය වීසා අයැදුම්පතට මුලින් ම ඇතුළත් කළ යුතු ය. ප්‍රධාන අයැදුම්කරු සහ පවුලේ සාමාජිකයන් එක ම ස්ථානයක සිට එකට අයැදුම් කර, ඒකාබද්ධ අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, තම සහකරු හෝ දරුවන් පසුව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන්, ශිෂ්‍ය වීසා අයැදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සිට ම එම සැලසුම් පිළිබඳව හොඳින් සලකා බැලිය යුතු බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ඇතැම් පවුලේ සාමාජිකයන් සඳහා තවමත් පවතින අවස්ථා මොනවා ද?
"Subsequent entrant" මාර්ගය බොහෝ දුරට ඉවත් කර ඇතත්, ඇතැම් කාණ්ඩවල පවුලේ සාමාජිකයන් සඳහා තවමත් අවස්ථා කිහිපයක් ක්‍රියාත්මක වේ.
ආචාර්ය උපාධි (PhD) හදාරන සිසුන්ගේ පවුලේ සාමාජිකයන්ට, විදේශීය රජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ පවුලේ සාමාජිකයන්ට, අධ්‍යාපන ආයතනවල අසාර්ථකත්වය (provider default) හේතුවෙන් බලපෑමට ලක්වූ සිසුන්ගේ පවුල්වලට සහ දැනටමත් ආරම්භ කර ඇති ඇතැම් පාඨමාලා සම්පූර්ණ කරමින් සිටින සිසුන්ගේ පවුලේ සාමාජිකයන්ට තවමත් ද්විතික අයැදුම්කරුවන් (secondary applicants) ලෙස වීසා අයැදුම්පත්වලට ඇතුළත් විය හැකි විශේෂ විධිවිධාන පැවතිය හැකි ය.
නව නීති ක්‍රියාත්මක වීමට පෙර දැනටමත් ශිෂ්‍ය වීසා ලබා සිටින හෝ ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කර තිබූ ඇතැම් පවුලේ සාමාජිකයන් සඳහා තාවකාලික විධිවිධාන ද හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත්, මෙම ව්‍යතිරේක සියල්ල සඳහා ම නිශ්චිත සුදුසුකම් සහ කොන්දේසි අදාළ වන බැවින්, පවුලේ සාමාජිකයන් ශිෂ්‍ය වීසා අයැදුම්පතකට ඇතුළත් කිරීමට පෙර තමන් වීසා අයැදුම් කරන්නේ කුමන තත්ත්වයක් යටතේ ද යන්න පිළිබඳව ප්‍රවේශමෙන් සලකා බැලීම වැදගත් වේ.
ශිෂ්‍ය වීසා බලපත්‍රය අවසන්වූවන්ට ලබා දී තිබූ දින 28ක සහන කාලය සීමා කෙරේ
මෙම ප්‍රතිසංස්කරණ මගින්, පෙර පැවති සහනයක් සීමා කර තිබේ.
මීට පෙර, ශිෂ්‍ය වීසා දරන්නන්ට ඔවුන්ගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය අවසන් වූ පසුව දින 28ක් ඇතුළත නව ශිෂ්‍ය වීසා අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබිණි. මෙම විධිවිධානය හරහා, ඇතැම් පුද්ගලයන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටව නොගොස් නැවත අධ්‍යයන කටයුතු සඳහා වීසා ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබිණි.
එහෙත්, නව නීති යටතේ, මෙම විකල්පය බොහෝවිට තවදුරටත් ලබා නොදෙනු ඇත.
ඉදිරියේදී, ශිෂ්‍ය වීසා බලපත්‍රය අවසන් වී ඇති අතර දැනට වෙනත් කිසිදු වීසා බලපත්‍රයක් නොමැති පුද්ගලයන්ට, නව ශිෂ්‍ය වීසා අයැදුම්පතක් ඉදිරිපත් කළ හැක්කේ, ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට පමණි. රට තුළ සිට අයැදුම් කිරීමේ හැකියාව පවතින්නේ නීතියෙන් සපයා ඇති විශේෂ ව්‍යතිරේකවලට අයත් වන අවස්ථාවලදී පමණි.