ඔක්තෝබර් 01 දා ඇරඹෙන 'රියැදුරු අකුසලතා ලකුණු' ක්‍රමවේදයට අනුව රථවාහන වැරදි මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ යටතේ රථවාහන වැරදි කරන සියලු ම රියැදුරන් සඳහා රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System) ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සඳුදා (සැප්: 28) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ, මෙහි නියමු ව්‍යාපාතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ය.

පළමු මාස 6 තුළ සිදුවන්නේ කුමක් ද?

ඔක්තෝබර් 01 වන දා සිට ගත වන මාස 6ක කාලය තුළ රියැදුරන් දැනුවත් කිරීමත් මෙම ආරක්ෂිත ක්‍රමවේදය සමග අනුගත වීමටත් කාලය ලබා දෙනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොලීසිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, Lanka Pay ආයතනය, Gov Tech ආයතනය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.

අධිවේගී මාර්ග හා මහාමාර්ගවල ධාවනයේ යෙදෙන සියලු ම රියැදුරන්, ඉදිරි හය මාසයක කාලය තුළ මෙම ක්‍රමවේදය සමග අනුගතවීම අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මාස 6කින් පසු සිදුවන්නේ කුමක් ද?

මාස 6ක නියමු ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු 2027 මාර්තු මස සිට රියැදුරන් සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System) නිත්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම ක්‍රියාවලිය රථවාහන වැරදි 33ක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශය පැවසීය.

මෙම ක්‍රමවේදයට අදාළ 1726/12 දරන ගැසට් පත්‍රය 2011 ඔක්තෝබර් 05 වන දා නිකුත් කර තිබිණි.

යෝජිත ක්‍රමවේදය

මේ යටතේ සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24ක් ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 24ක් ලබාගතහොත් එම රියැදුරු බලපත්‍රය මාස 12ක කාලයක් අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනයට අනුව 2013 වර්ෂයේදී සැලසුම් කර තිබිණි.

ලකුණු 18ට වැඩි 23ට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් විට මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ රියැදුරුට අනතුරු ඇඟවීමේ ලිපියක් යවනු ලැබේ.

ලකුණු 23 ඉක්මවූ විට රියැදුරු බලපත්‍රය අවලංගු වනු ඇත.

සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24ක් ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 24ට අඩු ප්‍රමාණයක් ලබා ඊළඟ අවුරුද්ද තුළ අභිවෘද්ධි ලකුණු ලබා නොගතහොත් එම ලකුණුවලින් 06ක් අඩු කරනු ලැබේ.

ඉන්පසු එලඹෙන අවුරුද්දේ ලකුණු තවදුරටත් නොලබා සිටියහොත් ඊළඟ ‍වසරේ ඔහුගේ සියලු ම අභිවෘද්ධි ලකුණු අහෝසි කෙරේ.

සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක පරිවාස කාළය තුළදී රියැදුරු අභිවෘද්ධි ලකුණු 06ක් ලබාගතහොත් පරිවාස කාළය තවත් වසරක් දීර්ඝ කෙරෙන අතර ‍06ට වැඩියෙන් ලබාගත් විට එය අවලංගු කෙරේ.

එවිට නැවත රියැදුරු බලපත්‍රයක් ලබාගත යුතු ය.‍

රියැදුරු උපදේශක බලපත්‍රය දරන්නෙකු මාස 24ක් ඇතුළත අභිවෘද්ධි ලකුණු 12ක් ලබා ගතහොත් ඔහුගේ උපදේශක රියැදුරු බලපත්‍රය මාස 12ක කාලයක් අත්හිටවනු ලැබේ.

වසර 04ක් ඇතුළත අභිවෘද්ධි ලකුණු 24 බැගින් ලබා රියැදුරු බලපත්‍රය අත්හිටවනු ලැබුවහොත් එම උපදේශක බලපත්‍රය අවලංගු කරනු ඇත.

රථවාහන වැරදි සහ ඊට අදාළ ලකුණු

රියැදුරු අභිවෘද්ධි ලකුණු ක්‍රමවේදය අනුව ලකුණු ලබා දෙන රථවාහන වැරදි 33ක් මේ වන විට නම් කර ඇති අතර, 1726/12 අංකය දරන ගැසට් පත්‍රයේ වැරදි 22ක් සඳහන් කර තිබේ.

එම වැරදි සහ ඊට අදාළ ලකුණු පහත දැක්වේ.

  • මහා මාර්ගයක රිය අනතුරක් වළක්වා ගැනීමට පියවර ගැනීමට අපොහොසත් වීම - ලකුණු 06
  • මහා මාර්ගයක අනාරක්ෂිත ලෙස හෝ අනතුරුදායක ලෙස මෝටර් රථයක් ධාවනය කිරීම - ලකුණු 08
  • මහා මාර්ගයක අනතුරුදායක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කිරීම - ලකුණු 08
  • මහා මාර්ගයක රිය අනතුරක් සිදු වී ඇති අවස්ථාවක වාහනය නතර කිරීම පැහැර හැරීම - ලකුණු 10
  • අනතුරක් පිළිබඳ පොලිසියට දැනුම් දීම පැහැර හැරීම - ලකුණු 10
  • මහා මාර්ගයක නියමිත වේග සීමාව ඉක්මවා රිය පැදවීම - ලකුණු 06
  • මාර්ගයේ වම් පැත්තෙන් අනාරක්ෂිත ලෙස හෝ අනතුරුදායක ලෙස රිය පැදවීම - ලකුණු 02
  • මාර්ගයේ ඉදිරිය පැහැදිලිව දර්ශනය කර ගැනීමෙන් තොරව වෙනත් වාහනයක් පසු කර රිය පැදවීම - ලකුණු 06
  • වෙනත් වාහනයක් පසුකර යන විට එම වාහනයේ ගමනට බාධා වන අන්දමින් රිය පැදවීම - ලකුණු 04
  • අවහිර කිරීම් හෝ මාර්ග නීතිවලට පිටුපාමින් රිය පැදවීම හෝ නවතා තැබීම - ලකුණු 04
  • පොලිස් නිලධාරියකු හෝ වාහන පරීක්ෂකවරයෙකු විසින් දෙන ලද විධාන හෝ සංඥාවලට අනුකූල නොවීම - ලකුණු 04
  • තහනම්, සීමා, අනතුරු සහ ප්‍රවේශක සංඥා පිළිබඳ නියෝග කඩ කිරීම - ලකුණු 06
  • නියමිත ප්‍රමිතිය ඉක්මවන ශබ්ද හෝ විමෝචන සහිත වාහනයක් භාවිත කිරීම - ලකුණු 06
  • නියමිත ප්‍රමිතියට වඩා විමෝචන සහිත වාහනයක් භාවිත කිරීම - ලකුණු 06
  • නියමිත ප්‍රමිතිය ඉක්මවන ශබ්ද මට්ටම් සහිත වාහනයක් භාවිත කිරීම හෝ භාවිත කිරීමට ඉඩ දීම - ලකුණු 06
  • නියමිත ප්‍රමිතිය ඉක්මවන ශබ්දයක් නිකුත් කරන වාහනයක් භාවිත කිරීම - 06
  • මාර්ගයේ හෝ මාර්ගයට යාබද පුද්ගලයෙකුට, දේපළකට හෝ වාහනයකට අනතුරක් හෝ හානියක් ඇති කළ හැකි තත්ත්වයකින් යුත් වාහනයක් පැදවීම - ලකුණු 10
  • රියැදුරු හෝ ඉදිරිපස මගියා ආසන පටිය (Seat Belt) පැළඳ ඇති බවට වග නොබැලීම - ලකුණු 03
  • වංගු, කඳු, පාලම්, මංසන්ධි, පදික මාරු, වාහන ඉස්සර කිරීම තහනම් ප්‍රදේශ ආදී ස්ථානවල වාහන ඉස්සර කිරීම - ලකුණු 04
  • පදිකයෙකු පදික මාරුවේ සිටියදී වාහනය නවතා ඉඩ නොදීම - ලකුණු 06
  • මෝටර් සයිකලයක නියමිත සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යාම හෝ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් කිරීම - ලකුණු 04
  • රිය පදවන අතරතුර දුරකතන හෝ සන්නිවේදන උපකරණ භාවිත කිරීම - ලකුණු 04