ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අවසරයකින් තොරව පෞද්ගලික චැට් ප්‍රසිද්ධ කිරීම: පෞද්ගලිකත්වය සුරැකීමට නීතියක් තිබේ ද?
යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය.
පෞද්ගලිකව සිදුකරන ලද සංවාද මෙලෙස සමාජ මාධ්‍ය හරහා අනෙක් පාර්ශවයේ අවසර ඇතිව හෝ නොමැතිව පළකිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
තවත් පුද්ගලයෙකු හෝ පාර්ශවයක් සමග සිදුකරන ලද පෞද්ගලික සංවාද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සුදුසු ද? මේ ඒ පිළිබඳව බීබීසී සිංහල සිදුකළ සොයා බැලීමයි.
'ඒ ගැන තියෙන්නේ අවම දැනුවත් භාවයක්'
සයිබර් ආරක්ෂණ සහ ඩිජිටල් ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයෙකු වන අසේල වෛද්‍යාලංකාරගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු කියා සිටියේ පෞද්ගලික දත්ත ආරක්ෂාව සහ තමන්ගේ දත්ත වෙනත් අයෙකු තමන්ගේ අනුමැතියෙන් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙරට පුද්ගලයින්ට ඇත්තේ අවම දැනුමක් බවය.
"අද වෙද්දී ගොඩක් දෙනෙක් මේ ගැන දැනුවත් නැති එකයි ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙන්නේ. මේ තත්ත්වය ගැන අපි බලන්න ඕන පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂණය කියන පදනම මතයි. දත්ත ආරක්ෂණයේ මූලධර්ම අරන් බැලුවම ඒකෙ තියෙන ප්‍රධාන මූලධර්මයක් තමයි තමන්ගේ 'කන්සේන්ට් එක' (අනුමැතිය) දීලා තියෙනවද කියන එක. උදාහරණයක් විදිහට ගත්තම; මම තව කෙනෙක් එක්ක පුද්ගලිකව කරන අදහස් දැක්වීමක් හරි වට්ස්ඇප් ගෘප් එකක හුවමාරු කරන ඡායාරූපයක් වෙන්න පුළුවන්, මේවා හෙට සමාජ මාධ්‍යයේ පළවෙයි කියලා අපි කවුරුත් හිතන්නේ නැහැනේ, මොකද එහෙම දෙයක් දැනගෙන නෙමෙයි නේ අපි අදහස් දක්වන්නේ හරි; යම් යම් දේවල් ෂෙයාර් කරන්නේ. ඒ හින්දා තමන්ගේ පෞද්ගලිකත්වය, පෞද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් එක්ක හුවමාරු කරනකොට ඒ ගැන නිසි දැනුවත් වීමක් තියෙන්න අවශ්‍ය".
"පුද්ගලික දත්ත භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියන එක ගැන සමාජයේ කතාබහක් ඇතිවෙන්න ඕන. අපි දකිනවා ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධියේ හුවමාරු කරන අය. ඒ වගේම පොදු මාධ්‍ය ඔස්සේත් සමහර පුද්ගලයින් දුරකථන අංක ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ වගේ දේවල් ගැන දැනුවත් වීමක් කරන්න අවශ්‍යයි" ඔහු පවසයි.
'නීති සම්පාදනය කිරීම අසීරුයි'
සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකුගේ අවසරයකින් තොරව ප්‍රසිද්ධ කරනු ලබන පුද්ගලික සංවාද සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම අසීරු බව සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව පවසයි.
"මේ සම්බන්ධයෙන් මම දකින ආකාරයට ලෝකයේ ලිංගික ඡායාරූප බෙදා හැරීම වගේ කරුණු වලට අමතරව නීති සම්පාදනය කරලා නැහැ. කොහොම ද ඒක නිර්වචනය කරන්නේ? කොහොම ද අර්ථකතනයක් ඉදිරිපත් කරන්නේ මේක කරන්න පුළුවන්, මේක කරන්න බැහැ කියලා. එතකොට ඒ වගේ දෙයක් ගැන නීති සම්පාදනයක් කරන්න බැහැ." ඔහු පැහැදිලි කරයි.
"යම් කිසි පුද්ගලයෙක්ගේ පෞද්ගලික සංවාදයක් නිකුත් කළාට සමාජීය වශයෙන් ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැනේ. එතකොට ඒ පුද්ගලයා කවුද කියන එක සහ ඒ පෝස්ට් එකේ ඇතුළත් වෙලා තියෙන සන්දර්භය තමා වැදගත් වෙන්නේ."
කෙසේ නමුත් සමාජ මාධ්‍යයේ එවැනි පොස්ට් ෂෙයාර් කර තිබෙන අවස්ථාවලදී සමාජ මාධ්‍ය භාවිත කරන පරිශීලකයින්ට ඒ සම්බන්ධයෙන් මූලික වශයෙන් ගත හැකි සරල ක්‍රියාමාර්ග තිබෙන බව ආචාර්ය සංජන හත්තොටුව මෙහිදී පැහැදිලි කළේය.
"මේ වගේ පෝස්ට් වලට එන්ගේජ් වෙන එක අඩු කරන්න සමාන්‍ය ජනතාවට පුළුවන් ඒවට ලයික් නොදා හෝ කමෙන්ට් නොකර ඉන්න. එතකොට ඒ වගේ පෝස්ට්වලට එන රීච් එක අඩුවෙනවා."
'පෞද්ගලිකත්වයට ඇති අයිතිය නීතියෙන් ප්‍රකාශිතව පිළිගෙන නැහැ'
පෞද්ගලිකව සිදුකරනු ලබන සංවාද (වට්ස්ඇප් / මැසෙන්ජර් හෝ කෙටි පණිවිඩ) අනෙක් පාර්ශවයේ අනුදැනුමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම සම්බන්ධව නීතිමය තත්ත්වයක් තිබේද? කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් අපි විමසීමක් කළෙමු.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය නීතියෙන් ප්‍රකාශිතව පිළිගෙන නොමැති බවත් ඇතැම් පනත් හරහා යම් ආරක්ෂාවක් වින්දිතයින්ට හිමිවන බවය.
"පළවෙනි කාරණාව, ශ්‍රී ලංකාවේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය නීතියෙන් ප්‍රකාශිතව පිළිගෙන නෑ. නමුත් 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත හා 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ විධිවිධාන ඔස්සේ, යමෙකුගේ පෞද්ගලිකත්වය පිළිබඳ දත්ත විශේෂයෙන්ම විද්‍යුත් වේදිකා ඔස්සේ හුවමාරු වන පණිවුඩ හා එම දත්ත සුරක්ෂිත වෙනවා."
"විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) යටතේ, තහනම් ප්‍රකාශයක් හෝ අසත්‍ය තොරතුරක් හේතුවෙන් පීඩාවට පත් වූ තැනැත්තෙකුට 24 වන වගන්තිය යටතේ සෘජුවම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර එවැනි තොරතුරු සංසරණය වීම වැළැක්වීමේ නියෝගයක් ලබා ගැනීමට ඉල්ලා සිටිය හැකියි." ඔහු පැවසීය.
දත්ත ආරක්ෂාව ගැන වෙනත් රටවල ඇති නීති මොනවා ද?
බොහෝ රටවල පුද්ගලිකව සිදුකර ගන්නා අදහස් ප්‍රකාශ කිරීම් හෝ ඒවායේ ස්ක්‍රීන් ෂොට්ස් සමාජ මාධ්‍ය ඔස්සේ අනුමැතියකින් තොරව හුවමාරු කිරීමට හෝ ප්‍රසිද්ධ කිරීමට දඬුවම් කරන දැඩි නීති ඇත.
මෙම නීති සාමාන්‍යයෙන් දත්ත රහස්‍යතාව, සයිබර් අපරාධ හෝ අපහාස රෙගුලාසි යටතට අයත් වේ.
1. එක්සත් අරාබි එමීර් රාජ්‍යය :
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධ නීතිය ඩිජිටල් පෞද්ගලිකත්වය දැඩි ලෙස ආරක්ෂා කරයි. පැහැදිලි අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලිකව සිදුකරන අදහස් දැක්වීම්, කෙටි පණිවිඩ, ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කිරීම අපරාධමය වරදක් ලෙස හඳුන්වා දී තිබේ. එම නීතිය කඩකරන පුද්ගලයින්ට දඩ මුදල් හෝ සිරදඬුවම් නියම කිරීමට අවස්ථාව තිබේ.
2. යුරෝපා සංගමයට අයත් රටවල් :
සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසිය මගින් යුරෝපා සංගමයට අයත් රටවල් තුළ පුද්ගලික තොරතුරු ආරක්ෂාවට ලක් කර තිබේ. යම් පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු, දුරකථන අංකය හෝ පණිවිඩ ප්‍රසිද්ධියේ හෙළි කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස එම රෙගුලාසි මගින් දක්වා තිබේ.
යම් අයුරකින් එම සංවාද අදාළ පුද්ගලයාට අපහාස කිරීමට හෝ සමච්චල් කිරීමට යොදා ගනිමින් හුවමාරු කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරිමට අවස්ථාව තිබේ.
3. දකුණු කොරියාව :
පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි නීති දකුණු කොරියාව අනුගමනය කරනු ලැබේ. කිසියම් පාර්ශවයකගේ හෝ පුද්ගලයෙකුගේ අවසරයකින් තොරව පුද්ගලික සංවාද හෝ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ එමගින් එම පුද්ගලයාට මානසිකව හෝ සමාජීය පීඩාවක් ඇති වන්නේ නම් 'තොරතුරු හා සන්නිවේදන ජාල භාවිතය සහ තොරතුරු ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ පනත' උල්ලංඝනය කිරීමක් ලෙස නඩු පැවරිය හැක.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ සම්බන්ධයෙන් පොදු ෆෙඩරල් නීතියක් නොමැති වුවද, එක් එක් ප්‍රාන්ත සතුව පෞද්ගලිකත්වයට අදාළ සිවිල් නීති පවතී.