ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඥානසාර හිමිට වරෙන්තු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස නියෝගයේ සඳහන් විය.
ඒ අනුව, ඔක්තෝබර් මස පළමු වන දා විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.
වරෙන්තු නිකුත් කළේ ඇයි?
ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකර තිබෙන මෝසමක් අද (සැප්: 29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මෙම මෝසම කැඳවනු ලැබුවේ, මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.
එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත්, මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.
එහෙත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ, මෙය අපරාධ නඩුවක් බව ය.
එහෙයින්, විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.