ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති සමාව අවලංගු වූ ඥානසාර හිමි කොළඹ මහාධිකරණයට පැමිණ දැනුම් දුන්නේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවක් කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව ඒ හිමියන්ගේ නීතිඥවරයා අද (සැප්: 16) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබී ය.
එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
නීතිඥවරුන් කළ දැනුම්දීම
විත්තිකාර හිමියන් වෙනුවෙන් නීතිඥ සංජය මාරඹේ සමග පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායක හිමියන් මෙම නඩු කටයුත්ත කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසීය.
ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට කටයුතු කරන බව ද නීතිඥවරයා දැනුම් දුන්නේ ය.
මේ පිළිබඳව විනිසුරුවරයා කළ විමසීමකදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත් මීට අදාළව නීතිපතිවරයා වෙත ලිඛිත සැලකිරීම් සිදු කිරීමට විත්ති පාර්ශ්වයට හැකියාවක් තිබෙන බවත් ය.
ඒ අනුව ඉදිරියේදී ලිඛිත සැලකිරීම් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
අනතුරුව මෙම නඩු කටයුත්ත ලබන 30 වන දා කැඳවීමට නියම කළ අධිකරණය, එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පාර්ශවකරුවන්ට නියම කළේ ය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර 6ක සිර දඬුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමනු ලැබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා අහෝසි කරනු ලැබී ය.
ඥානසාර හිමියන්ගේ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ, එවන් පසුබිමක ය.