ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඥානසාර හිමියන්ට මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ජනපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්: 10) තීන්දු කළේ ය.
අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් වසර 6ක සිර දඬුවම් නියම කර තිබිණි.
එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් ප්‍රදානය කළේ ය.
පාදක වූ සිද්ධිය කුමක් ද?
අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වන දා වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණි.
නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ, හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන් ම කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව ය.
එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බව ය.
වගඋත්තරකාර ඥානසාර හිමි සඳහන් කර තිබුණේ, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව ය.
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ භික්ෂූන් මෙන්ම දේශපාලනඥයන් අවස්ථා ගණනාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි. ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් බවට ද චෝදනා එල්ල විය.