ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන් දෙදෙනා සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සාක්ෂි දෙති
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පසුගිය දා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු වෙනුවෙන් වෙනත් නඩුවකට පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අද (ජූනි 05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ එම පරීක්ෂණය අද යළි කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසියකට අනුව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.
සාක්ෂිවල අන්තර්ගත කරුණු
ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ තේජිත කෝරළගේ පෙනී සිටි අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේ ය.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
"මියගිය කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකදී මා ඔහු වෙනුවෙන් පෙනී සිටියා. එම නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් මැයි මස 5 වන දා ඇප ලබා දුන්නා. ඇප ලබාදී මෙන් පසුව මම උසාවියේ හිර කූඩුව අසලට ගිහිල්ලා කපිල චන්ද්‍රසේනට ඇප කොන්දේසි ගැන පැහැදිලි කළා. පසුව මැයි මස 06 වන දා ඇප ලබා පිටව ගිය බව ඔහු මට දැනුම් දුන්නා. මැයි මස 07 වන දා කපිල චන්ද්‍රසේනව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා කියලා මාධ්‍යවලින් ප්‍රචාරය වුණා. ඉන්පසුව ඔහු මට කතා කළා වගේ මතක යි. මම කිව්වා වහා ම අධිකරණයට ඉදිරිපත් වෙන්න ඕන කියලා. එදා සවස 7.00ට විතර උද්ගත වෙලා තිබෙන තත්ත්වය ගැන අරවින්ද ද සිල්වා මහතා දුරකතන ඇමතුමක් අරගෙන මට කතා කළා. මම කිව්වා මේක ටෙලිෆෝන් එකෙන් කතා කරන්න බැහැ ඇවිල්ලා හම්බවෙන්න කියලා. ඉන්පසුව පැයකින් හෝ පැය එක හමාරකින් පසුව අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ කපිල චන්ද්‍රසේනට ඇප තැබූ පුද්ගලයින් කීප දෙනෙකු මගේ නිල මැදිරියට ආවා. එහිදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ දුරකතනයෙන් මම කපිලට කතා කළා. මම ඔහුට උපදෙස් දුන්නා වහා ම අධිකරණයට ඉදිරිපත්වීම අවශ්‍ය බවට."
ඉන් අනනතුරුව ජනාධිපති නීතිඥවරයාගේ කනිෂ්ඨ නීතිඥවරයා වන නීතිඥ උදාර මුහන්දිරම්ගේ සාක්ෂි ලබා දුන්නේ ය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් එම සාක්ෂිකරු කියා සිටියේ, කපිල චන්ද්‍රසේනට ඇප තැබීමෙන් පසුව ඇපකරුවන්ගේ ලේඛන අධිකරණ කාර්යාලයට ඉදිරිපත් කිරීමේ කටයුතුවලට සහය වන ලෙස කපිල චන්ද්‍රසේන තමන්ට උසාවි සිරකුටියේ සිට දැනුම් දුන් බව ය.
ඒ අනුව, තමන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ උපදෙස් මත ඇපකරුවන්ගේ ලේඛන කාර්යාලයට ඉදිරිපත් කිරීමේ කටයුතුවලට සහය වූ බව ඔහු සඳහන් කළේ ය.
"පසුව මැයි මස 07 වන දා දහවල් මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව. එදා දවල් දෙකට දෙක හමාරට විතර කපිල චන්ද්‍රසේන මහතා මට දුරකතනයෙන් කතා කරලා ජනාධිපති නීතිඥවරයා හමුවන්න වෙලාවක් ඉල්ලා සිටියා. පසුව එදා රාත්‍රී අරවින්ද ද සිල්වා මහතා, ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් අපගේ නිල මැදිරියට ආවා," යනුවෙන් කනිෂ්ඨ නීතිඥවරයා පැවසීය
ඉන් අනතුරුව කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඩී.එම්. සිලෝගම සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
"ඉකුත් මැයි මස 8 වන දා උදෑසන අරවින්ද ද සිල්වා මහතා මූලස්ථානයට කතා කර දැනුම් දී තිබුණා නිවසේ පුද්ගලයෙකු ගෙළ වැලලාගෙන මියගොස් තිබෙන බවට. ඒ අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක දමයන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මා එම ස්ථානයට පිටත් කළා. පසුව මමත් එම ස්ථානයට ගියා. එම නිවසේ අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ තවත් නීතිඥවරයෙක් සිටියා. පසුව මා අපරාධ ස්ථානයට ගමන් කළා. එම ස්ථානයේ බෙල්ලේ පටියක් සිර කරගෙන පුද්ගලයෙකු වැටී සිටින ආකාරය දුටුවා. එම පටියේ කොටසක් දොරේ ද තිබුණා. ඒක ලා නිල් පාට පටියක්. මේ පුද්ගලයාගේ හිස පුටුවක් මතයි තිබුණේ. මේ කාමරයට ඇතුළු වීමට එක් දොරක් තිබුණා. ජනෙල් හතරක් තිබුණත් ඒවාට ඇතුළින් අගුළු දමා තිබුණා. පසුව මා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්, ඇඟිලි සලකුණු පරීක්ෂකයින් ගෙන්වා විමර්ශන ආරම්භ කළා. පසුව නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් මත මේ විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයට භාර කළා."
මේ පිළිබඳ වැඩිදුර සාක්ෂි විභාගය ජූනි මස 09 වන දා දක්වා කල් තැබිණි.