ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
T20 කාන්තා ලෝක කුසලානය 2026: ශ්‍රී ලංකාවට නායකත්වය දෙන චමරි අතපත්තු ගැන ඔබ දැනගත යුතු තොරතුරු
අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී, එසේ නොමැති නම් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන් චමරි අතපත්තු ලෙස හඳුන්වන ඇය ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියක් අත්පත් කර ගත් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩිකාවකි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරියක් වන ඇය බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ, ක්‍රිකට් පිටියේ වඩාත් ම ආක්‍රමණශීලී පිතිකාරියක ලෙස ය.
මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජූනි මස 12 වන දා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත අතර, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ද, චමරි අතපත්තුට ය.
චමරි අතපත්තු යනු කවුද?
1990 වසරේ පෙබරවාරි මස 09 වන දා කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ චමරි අතපත්තු මේ වන විට 36 වන වියේ පසුවන්නී ය. චමරි ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ, ක්‍රීඩා සඳහා කීර්තියක් අත්පත් කර ගත් ප්‍රකට පාසලක් වන ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී ය.
සාර්ථකව පාසල් ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පසුව, චමරි 2007 වසරේදී කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ඇතුළත් වූවා ය.
චමරි අතපත්තු පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තේ, 2009 වසරේ පැවැති T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 19ක් විය.
පවුලේ එක ම දරුවා වන චමරිගේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා මව්පියන්ගෙන් ලැබුණු උපකාරය පිළිබඳව ඇය අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ ස්තුති පූර්වකව ආවර්ජනය කර තිබේ.
කෙසේ වුව ද චමරිගේ පියා 2008 වසරේදී අභාවප්‍රාප්ත වූයේ, ඇය ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගැනීමට වසරකට පෙර ය.
''මගේ කුඩා කාලයේ ඉඳල ම අම්මාව මට දැනිච්ච වාර අනන්ත යි. ඒත් අම්මා තදින් ම දැනුණෙ අපේ අප්පච්චි නැති වූ දවසෙදි යි. එදා තමයි මම අම්මා මොන තරම් ශක්තිමත්ව එය දරා ගත්ත ද කියලා දැන ගත්තෙ. අප්පච්චි ඉන්නකොට අම්මා එහෙම නැහැ. අප්පච්චි නිසා අම්මා ආඩම්බරයෙන් හිටියේ. ඉතින් අප්පච්චි නැති වුණා ම අප්පච්චි සතු වූ ශක්තිමත් බව අම්මා අරගන්න ඇති. මම ක්‍රිකට් ගහන්න ආවේ අප්පච්චි නිසයි. එයා නැති වුණා ම මම ක්‍රිකට් නවත්තන්න හැදුවා. ඒත් අම්මා කිව්වෙ ඔයා අප්පච්චිගෙ කැමැත්ත දිගට ම කරගෙන යන්න කියලා. අපේ මාමා තමයි මගේ පුහුණුකරු. ඉතින් අප්පච්චිගෙ සහ මාමාගෙ අරමුණු ඉටු කරන්න කිව්වා. ඒ දෙදෙනාට ම දෙන ලොකු ම තෑග්ග ඔයා ක්‍රිකට් ගහන එක කියලා අම්මා මාව ධෛර්යවත් කළා. ඒ විතරක් නෙවෙයි, ඇයට කළ හැකි සෑම යුතුකමක් ම කළා. ගෙදර දේවල් සියල්ල ඇය බලා ගනිද්දි මට මගේ ගමන යන්න මාර්ගය හදලා දීලා මට මහා ශක්තියක් දුන්න," වරක් චමරි අතපත්තු වරක් මාධ්‍ය හමුවේ පැවසුවා ය.
චමරි ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා
2009 වසරේදී විස්සයි 20 තරග සඳහා ක්‍රීඩා කිරීමෙන් වසරකට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව චමරි අතපත්තු එක්දින ක්‍රිකට් ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත්විය.
චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 09ක් ලබා ඇති අතර, ඇය එක්දින ජාත්‍යන්තර තරගයකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 195කි.
එම දක්ෂතාව දැක්වූයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ය. එමෙන් ම, චමරි අතපත්තු 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයකදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී නොදැවී ලකුණු 178ක් රැස් කිරීමට සමත් විය.
චමරි එක්දින තරග 126කදී ශතක 9ක් සහ අර්ධ ශතක 20ක්ද සමගින් ඇය ලකුණු 4,154ක් රැස් කර ඇති ඇය, පන්දු යැවීමෙන් එක්දින තරගවලදී කඩුලු 56ක් දවා ගැනීමට සමත් වූවාය.
එක්දින ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු වාර්තා අතරට එක් වුණේ, 2011 වසරේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 111ක් රැස් කරමිනි.
එමෙන් ම, චමරි අතපත්තු T20 ජාත්‍යන්තර තරග 157කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඇය ශතක 3ක් සහ අර්ධ ශතක 14ක්ද සමගින් ලකුණු 3,752ක් රැස් කර සිටින්නීය. ඇය පන්දු යවමින් කඩුලු 71ක් ද දවා ගත්තා ය.
චමරි, එක්දින සහ T20 අංශ දෙකේ ම තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩිකාවක් ලෙස ජාත්‍යන්තර මට්ටමේදී කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත.
චමරි පළමු වරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ, 2014 වසරේදී ය. 2018, 2020 සහ 2023 වසරවලදී T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තරග කළේ චමරිගේ නායකත්වය යටතේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල රැසකදී සම්මාන රැසක් දිනා ඇති ඇය, ජාත්‍යන්තර වශයෙන් ද අගැයීමට ලක් වූවා ය. පිතිකාරියක සහ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩිකාවන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ස්ථාන ද ඇය හිමිකර ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය ද අවස්ථා කිහිපයකදී නියෝජනය කළ චමරි වාර්තා අතරට එක් වූයේ විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ය.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වසර 17ක අත්දැකීම් සමගින් ඇය තම 10 වන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටියි.
මෙවර ලෝක කුසලානයේ බලාපොරොත්තුව
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ සිට උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කරමින්, කණ්ඩායමේ සියලු ම ක්‍රීඩිකාවන් රටට කීර්තියක් ගෙන ඒමේ අපේක්ෂාවෙන් පසුවන බව චමරි අතපත්තු ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත් වීමට පෙර පැවසුවා ය.
කණ්ඩායම නිරන්තරයෙන් යොදාගත් දඟ පන්දු යවන්නියන්ට මූලිකත්වය දුන් ක්‍රමවේදයෙන් බැහැරව, එංගලන්තයේ තත්ත්වයන්ට සුදුසු අයුරින් වේගපන්දු යවන්නියන් දෙදෙනෙකු ද සමග ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්, කණ්ඩායමේ පිතිකරණයට වැඩි අවධානයක් ලබා දී ඇති බවත් චමරි අතපත්තු වැඩිදුරටත් සඳහන් කළා ය.
පිතිකාරියන්ට නොබියව පන්දුවට පහර දීමට නිදහස ලබා දී ඇති බවත්, ලෝක කුසලාන තරගයකදී ලකුණු 160, 170ක් රැස් කිරීම අනිවාර්ය බවත් ඇය පැවසුවා ය.
මේ වන විට කණ්ඩායම තමන්ගේ පිතිකරණය මත රඳා පවතින තත්ත්වයෙන් බැහැරව තිබෙන බවත්, හර්ෂිතා සමරවික්‍රම, හෂිනි පෙරේරා, විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි වැනි පිතිකාරියන් ලකුණු අතර සිටීම හේතුවෙන් කණ්ඩායම වඩාත් හොඳ මානසික තත්ත්වයකින් පසුවන බව ද චමරි අතපත්තු සඳහන් කළා ය.