ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර ගණනකට පසු කරළියට ආ ජාතික කලාභවනේ සිතුවම් 42ක් අතුරුදන් වීමේ සිද්ධිය: දැන් සිදුවන්නේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
දශකයකට වැඩි කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබෙන ජාතික කලාභවන සතු පෞරාණික චිත්‍ර කිහිපයක් අතුරුදන්ව ඇතැයි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අනාවරණය කළේ ය.
ජාතික කලාභවන සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මැයි 21 වන දා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඒ බව පැවසීය.
මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් බව අදාළ ලේඛනවල සඳහන්ව තිබුණ ද, දැනට එහි ඇත්තේ සිතුවම් 239ක් පමණක් බව ද අමාත්‍යවරයා පැවසීය.
චිත්‍ර හා මූර්ති සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ මොනවා ද?
සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, 2012 වසරේ ප්‍රතිසංස්කරණය සඳහා කලාභවන වසා දැමීමෙන් අනතුරුව, එවකට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් 2015 වසරේදී ජාතික කලාභවනේ චිත්‍ර හා මූර්ති ගැන සමීක්ෂණ කිරීමේදී මෙම චිත්‍ර අතුරුදන්වීම පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබූ බව යි.
"එවකට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලා භවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව, තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි. කලා භාවන සතුව භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ දෙක අතර ඇති වෙනස 42යි."
කලාභවන සන්තකයේ තිබූ සිතුවම් අස්ථානගත වීම සම්බන්ධව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ද විමර්ශනයක් සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
චිත්‍ර අස්ථානගත වී ඇත්තේ කෙසේ ද?
හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයා සඳහන් කළ පරිදි ජාතික කලා භවන සන්තකයේ තිබී අතුරුදන් වී ඇති චිත්‍ර සම්බන්ධව බීබීසී සිංහල සේවය සොයා බැලීමක් කළේ ය.
ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දැමීමෙන් පසුව අදාළ චිත්‍ර සංරක්ෂණ කටයුතු සඳහා පිටතට ගෙන ගොස් නැවත ගෙන ඒමේදී එසේ චිත්‍ර අස්ථානගත වී ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
"වේයන්ගොඩ තියෙනවා සංරක්ෂණ මධ්‍යස්ථානයක් අමාත්‍යංශයට අයත්. ඒ ස්ථානයට තමයි ගෙනිහින් තියෙන්නේ. සංරක්ෂණයෙන් නැවත ගේනකොට අඩුවක් සහිතව තමයි ආපහු ගෙනල්ලා තියෙන්නේ."
මීට වසර කිහිපයකට ඉහතදී එවක පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ වී ඇති බවත්, සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව විසින් පසුගිය වසරේදී මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බවත් එම ප්‍රකාශකයා බීබීසී සිංහල සේවයට පැවසීය.
'පරීක්ෂණයේදී යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්'
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායකගෙන් මේ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අතර, එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ චිත්‍ර සොයා ගනු ලැබූව ද ඒවා නිවැරදිව හඳුනා ගැනීමේ ගැටලුවක් පවතින බව ය.
"අපේ සටහන්වල තියෙන්නේ නැති වෙච්ච චිත්‍ර අතර මුහුදු වෙරළක්, ගඟක් ඔහොම කියලා. නමුත් මොකක් ද කියන එකේ හරියට තොරතුරු සඳහන් වෙලා නැහැ. ඒ නිසා පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යද්දිත් යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා."
අස්ථානගත වී ඇති සිතුවම් අතර පෞරාණික වටිනාමක් සහිත ඒවා ද ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා ගනිමින් සිටින බව ද පැවසීය.
චිත්‍ර අතුරුදන් වූ ආකාරය පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ පිළිබඳව පැවසිය හැක්කේ පරීක්ෂණවලින් අනතුරුව බවත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.
ප්‍රතිසංස්කරණ කටයුතු
කොළඹ ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු සඳහා වසා දැමුවේ, 2012 වසරේදී ය. ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීම සහ සංරක්ෂණය කිරීමේ අරමුණින් එම ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිණි.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මොරටුව විශ්වවිද්‍යාලයේ උපදෙස් මත සිදුකරන බව වාර්තා වේ.
ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සඳහා වසර 13ක් තිස්සේ වසා දමා තිබෙන ජාතික කලාභවන මේ වසර අවසන් වීමට පෙර සියලු කටයුතු අවසන් කර යළි මහජනයා වෙත විවෘත කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා හිනිදුම සුනිල් සෙනවි පාර්ලිමේන්තුවේදී පැවසීය.
වත්මන් රජයෙන් අමතර ප්‍රතිපාදන
ජාතික කලාභවන නවීකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අමතර අයවැය ප්‍රතිපාදන සලසා ගැනීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඉදිරිපත්කළ යෝජනාවට 2025 සැප්තැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
ජාතික කලා භවන වැඩි දියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුව විසින් සිදු කරනු ලැබේ. එම ව්‍යාපෘතියේ සියලු කටයුතු 2024 වර්ෂය තුළදී අවසන් කිරීමට සැලසුම් කර තිබුණ ද එම වසරේ එය සම්පූර්ණයෙන් ම අවසන් කිරීමට නොහැකි විය.
2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව යටතේ රුපියල් මිලියන 120 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළ ද එය ප්‍රමාණවත් නොවන බවත්, තවත් රුපියල් මිලියන 32ක මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය බවත් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ජාතික කලාභවන නවීකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අමතර අයවැය ප්‍රතිපාදන සලසා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබිණි.
ජාතික කලාභවන පිහිටුවීම
ලංකා කලා සංගමයට 1911 වසරේදී තමන්ට ම හිමි කලාභවනක් පිහිටුවා ගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබූ අතර, ඒ අනුව එහි ප්‍රතිඵලක් ලෙස ජාතික කලාභවන ඉදිකරන ලදී.
කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ජාතික කලාභවන ඉදිකිරීමට වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ චිත්‍ර ශිල්පියා විසින් භූමිය පරිත්‍යාග කර ඇති අතර වාසල මුදලි ඒ.සී.ජී.එස්. අමරසේකරට කලාභවන නිර්මාණය සඳහා අවශ්‍ය සැලැසුම් සකස් කිරීම පැවරී තිබිණි.
ව්‍යාපෘතියේ ප්‍රථම අදියර 1919 දී ආරම්භ කරන ලදුව 1932 දී නිම කෙරුණු ප්‍රධාන ශාලාව වර්තමානයේදී අමරසේකර ශාලාව ලෙස හඳුන්වනු ලබයි.
1952 දී නැගෙනහිර හා බටහිර ශාලා දෙක ඉදි කරන ලද්දේ, ප්‍රථම කොළඹ ක්‍රමය ප්‍රදර්ශනය පැවැත්වීම පිණිස බව සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ දැක්වේ.
ලංකා කලා සංගමයේ අනුග්‍රහයෙන් පවත්වා ගෙන ආ ජාතික කලාභවන, සංගමයට ඇති වූ අපහසුතා නිසා 1971 වසරේදී සිරිමාවෝ මැතිණිය සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව රජයට පවරන ලදී.
එතැන් පටන් කලා සංගමයේ අනුශාසකත්වයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ මෙම කලාගාරය පවත්වාගෙන යනු ලබයි.