ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර 12කට පෙර 'ඉස්ලාම් දහමට නින්දාවක්' කළ බවට ඥානසාර හිමිට අධිචෝදනා
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 2
මීට වසර 12කට පමණ පෙර කරනු ලැබූ ප්‍රකාශයකින් ඉස්ලාම් දහමට නින්දාවක් කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය හමුවේ අද (අප්‍රේල් 30) අධිචෝදනා භාර දුන්නේ ය.
මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසියකට අනුව විත්තිකාර ඥානසාර හිමියෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
රු. ලක්ෂ 05ක ඇප මත මුදා හැරේ
විත්තිකාර ස්වාමීන් වහන්සේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල, විත්තිකරු රුපියල් ලක්ෂ 05ක පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස නියම කළේ ය.
එමෙන් ම, මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව කැඳවීමට පියවර ගන්න ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කළේ ය.
ඊට අමතරව මෙම සිද්ධියෙන් අගතියට පත්වූවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේ ය.
ඉන් අනතුරුව නඩුව ජූනි මස 01 වන දා කැඳවන ලෙසත් නියම කෙරිණි.
2014 වසරේ අප්‍රේල් මස 12 වන දා විල්පත්තු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් විත්තිකාර ස්වාමීන් විසින් කරන ලද ප්‍රකාශයකින් ඉස්ලාම් ආගමට නින්දාවක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්‍රහය 219 (ආ) යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.