'සැබෑ බුදු දහම' සොයා යන Walk for Peace පා ගමනට නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර හිමි යනු කවුද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ලොව පුරා ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍ර වූ බෞද්ධ හිමිවරුන් අතරින් වර්තමානයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින හිමිවරුන් ඇත්තේ, ස්වල්ප දෙනෙකි.

ඉන්දියාවේ වැඩ වසන, ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා හිමියන් ඒ අතරින් එක් අයෙකු වන අතර, මෑතකදී ලොව පුරා ම පාහේ ජනාදරයට පාත්‍ර වූ බෞද්ධ හිමිනමක ලෙස ඇමෙරිකාවේ වැඩ වෙසෙන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් හැඳින්විය හැකි ය.

ථෙරවාද බෞද්ධ හිමිනමක් වන උන්වහන්සේගේ උපන් බිම වියට්නාමය යි.

අනුරාධපුර ජයශ්‍රී මහ බෝධියේ අංකුරයක් සහ ධාතූන් වහන්සේ ඇමෙරිකාවට වැඩම කරවීමේ අරමුණින් උන්වහන්සේ අද (අප්‍රේල් 21 වන දා) අලුයම ශ්‍රී ලංකාවට වැඩම කළහ.

මෙම චාරිකාවේදී පඤ්ඤාකර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හෙට (අප්‍රේල් 22 වන දා) සිට අප්‍රේල් 28 වන දා දක්වා දඹුල්ලේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක් පසු කරමින් පාද යාත්‍රාවේ නිරත වීමට සැලසුම් කර තිබේ.

සැතපුම් 2000ක දුරක් ගෙවූ ඇමෙරිකාවේ සාම පා ගමන

2025 වසරේ ඇමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. අගනුවර දක්වා දින 108කදී සැතපුම් 2000 අධික දුරක් පා ගමනින් වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමි පිළිබඳව ලෝකය පුරා ම පාහේ කතා බහට ලක්විය.

එම පා ගමනට 'ආලෝකා' නමැති සුනඛයා ද එක්වීම ඊට තවත් හේතුවක් විය.

මෙම පාගමන 2025 ඔක්තෝබර් 26 වන දින ටෙක්සාස් නුවර ෆෝර්ට් වර්ත්හි හුඕන්ග් ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් ආරම්භ විය.

බෞද්ධයින් පමණක් නොව ආගම් භේදයකින් තොරව එම පාගමනට ජනතා සහයෝගය හිමිවූයේ එය ලෝකයේ සාමය උදෙසා පවත්වන ලද පා ගමනක් වූ හෙයිනි.

එක්සත් ජනපදයේ දේශපාලන බෙදීම් උග්‍ර වෙමින් පැවති අවස්ථාවක, මෙම පාගමන පැවැත්වුණේ ඉතා දුෂ්කර කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ ය.

44 හැවිරිදි පඤ්ඤාකර හිමියෝ ඊට නායකත්වය දුන්හ.

ලොවපුරා ජනප්‍රියත්වයට පත් පඤ්ඤාකර හිමියන් කවුද?

1981 වසරේ වියට්නාමයේ දක් ලක්හි උපත ලද පඤ්ඤාකර හිමිගේ ගිහි නම ලැම් වැන් න්ගුයෙන් වන අතර ඔහු පවුලේ බාලයා විය.

ඔහුට සහෝදරයන් දස දෙනෙක් සහ එක් සහෝදරියක් සිටිති.

දරුවන් ඇති දැඩි කිරීම සඳහා ඔහුගේ දෙමව්පියන් ආර්ථික වශයෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබේ.

පවුලේ පැවති ආර්ථික බර සහ සියලු දෙනාගේ ම කාර්ය බහුලත්වය නිසා විහාරස්ථානයක් වෙත යෑමට තමාට අවස්ථාවක් නොතිබූ බව පඤ්ඤාකර හිමි පැවසූහ.

ලැම් වැන් න්ගුයෙන් 1997 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16කි.

වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙකු වූ ලැම් වැන් න්ගුයෙන් පැවිදි දිවියට එක්වූයේ, වාණිජ ක්ෂේත්‍රයේ වසර 3ක රැකියාවකින් අනතුරුව ය.

තමන් රැකියාවක් කළ යුතු ද? යන්න පිළිබඳව පසුව උන්වහන්සේ තමන්ගෙන් ම විමසා තිබිණි.

මිත්‍රත්වය යනු අව්‍යාජ දෙයක් බවත්, වාණිජ ලෝකයේ ප්‍රතිලාභ පසුපස යාම තුළ මිත්‍රත්වය ව්‍යාජ දෙයක් බවට පත් වන බවත් උන්වහන්සේට වැටහී ඇත.

ලැම් වැන් න්ගුයෙන් පැවිදි දිවියට පිවිසියේ, පූජ්‍ය රතනගුණ නමැති ගුරු හිමි යටතේ ය.

2007 වසරේදී, ඔහු ටෙක්සාස් ෆෝර්ට් වර්ත්හි හොන්ග් ඩෝඕ විහාරස්ථානයේදී පූජ්‍ය රතනගුණ හිමි යටතේ සාමණේර භික්ෂුවක ලෙස පැවිදි වූ අතර 2010 දී වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී පූර්ණ පැවිදිභාවය ලැබී ය.

44 හැවිරිදි උන් වහන්සේ දැන් වැඩ සිටින්නේ ටෙක්සාස්හි හුන් ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ය.

"වියට්නාමයේදී මම දන්නෙවත් නැහැ අපි බෞද්ධ කියලා, වියට්නාමයේ බොහෝ පවුල් කියනවා අපි බෞද්ධ කියලා, නමුත් අපි ඇත්තට ම බෞද්ධ නෙමෙයි. අපි බුදුදහම දන්නේ නැහැ."

"අපි දන්නේ නැහැ, බුදුරාජාණන් වහන්සේගේ ඉගැන්වීම මොකක් ද කියලා. කොහොම ද භාවනා කරන්නේ කියලා අපි දන්නේ නැහැ."

"අපි කියනවා අපි බෞද්ධ කියලා නමුත් අවංකව අපි එහෙම නැහැ,". පඤ්ඤාකර හිමියෝ එක් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ."

"වියට්නාමයේ බොහෝ පවුල් වගේ ම අපි වන්දනා කළේ මියගිය ඥාතීන්ව. එච්චරයි අපි දන්නේ"

"මගේ බෞද්ධ ජීවිතය ආරම්භ වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේදී."

"මම පාසලට ගියා ම මගේ යාළුවෝ කියපු විදිහට බෞද්ධ තරුණ සංගමයට සම්බන්ධ වුණා. ඒක විනෝදයි. අපි සමර් කෑම්ප් කළා. මම එකේ නායකයෙක් වුණා," පඤ්ඤාකර හිමි පැවසූහ.

වියට්නාමයේ හැම තැන ම වගේ මහායාන සම්ප්‍රදාය, මම ථෙරවාදයට නැඹුරු වුණා.

කුඩා කලදී පිඬුසිඟා වඩින ලද ථෙරවාදී හිමිනමකට දානය පූජා කිරීම නිසා තමන්ට දිගු කලයක් එම ක්‍රියාව මතකයේ තිබූ බව උන්වහන්සේ පැවසූහ.

"මට තාම මතකයි මං කුඩා කලදී මගේ දෙමව්පියොයි සහෝදරයොයි වැඩට ගියා. මම තනිව ගෙදර හිටියේ. අපි ජීවත් වුණේ මහාමාර්ගය ආසන්නයේ යි. රතු පහැති සිවුරක් පැළඳ සිටි ථෙරවාදී හිමිනමක් පිඩුසිඟා වඩිමින් මගේ නිවස ඉදිරිපිට නතර වුණා. මම දන්නේ නැහැ ඒ කවුද මොනව ද කරන්නේ කියලා. පස්සේ මට හිතුණා මොනව හරි දෙන්න ඕනේ කියලා. පස්සේ ගේ ඇතුළට ගිහිල්ලා. හාල් ටිකක් ගෙනල්ලා ඒ හාල් ටික පාත්තරේට දාලා මම ගේ ඇතුළට දිව්වා, හාල් ගෙනාව කප් එක තියන්න. මම ආයෙත් ඇවිල්ලා බලනකොට ඒ හිමියන් හිටියේ නැහැ."

පසුව කළ විමසා බැලීමේදී තම නිවස ආසන්නව ථෙරවාදී විහාරස්ථානයක් නොතිබූ බව ද පඤ්ඤාකර හිමි පැවසූහ.

එහෙත්, ථෙරවාද හිමිනමටකට දානය පූජා කිරීමේ සිද්ධිය තම සිත තුළ පැලපදියම්ව තිබූ බව පඤ්ඤාකර හිමි සිහිපත් කළහ.

උන්වහන්සේ කියා සිටියේ, පසුව තමා ඇමෙරිකාවට පැමිණ තම ගුරු හිමියන් හමූවූ අවස්ථාවේදී උන්වහන්සේ ඇඳ සිටියේ ද තමාට මීට පෙර හමුවූ හිමිනම හැඳ සිටි සිවුරට සමාන එකක් බවට තම මතකයට නැඟුණු බව පඤ්ඤාකර හිමි සඳහන් කළහ.

ධර්මය ප්‍රගුණ කිරීම සඳහා තමන් ඔන්ලයින් ඔස්සේ විවිධ දෑ ශ්‍රවණය කළ බවත් විවිධ හිමිවරුන්ගේ දේශනවලට සවන් දුන් බව ද පඤ්ඤාකර හිමි සඳහන් කළ අතර, එම ඇතැම් දෑ සැබවින් ම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් දැයි උන්වහන්සේ ප්‍රශ්න කරයි. ඇතැම් ඒවා මුළා කරවනසුලු බව උන්වහන්සේ පවසයි.

පසුව ත්‍රිපිටකය පිළිබඳව හැඳෑරූ උන්වහන්සේ දැන් නූතන පරම්පරාව සඳහා බුදුරාජණන් වහන්සේ දේශනා කළ සැබෑ ධර්ම කරුණු සුරක්ෂිතව රැක ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙන අතර ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිති.

ටෙක්සාස් සිට වොෂින්ටන් ඩීසී දක්වා පවත්වන ලද තම පා ගමන අවසන් වුව ද, තමන්ට හමුවූ ජනතාවගේ සතිමත්බව දියුණු කිරීම අඛණඩව සිදුකිරීම තම අපේක්ෂාව බව උන්වහන්සේ වරක පවසා තිබිණි.

පඤ්ඤාකර හිමිගේ ශ්‍රී ලංකා සංචාරය

WALK FOR PEACE - ශ්‍රී ලංකා සංචාරය අද (අප්‍රේල් 21 වැනිදා) අනුරාධපුරයෙන් ගමන් ආරම්භ වෙයි. අනුරාධපුරයේ සිට අද පස්වරුවේ දඹුල්ල දක්වා මෙම හිමිවරුන් පැමිණිමට නියමිතව තිබේ.

අනතුරුව හෙට (අප්‍රේල් 22 වැනිදා) සිට පාගමන දඹුල්ලෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

- පළමු දිනය | අප්‍රේල් 21: අනුරාධපුරය → දඹුල්ල දක්වා

- දෙවැනි දිනය | අප්‍රේල් 22: (47 km): දඹුල්ල → මාතලේ දක්වා

- තුන්වන දිනය | අප්‍රේල් 23: (28 km): මාතලේ → මහනුවර

- හතරවන දිනය| අප්‍රේල් 24 (25 km): මහනුවර → බෙලිගම්මන

- පස්වන දිනය | අප්‍රේල් 25 (25 km): බෙලිගම්මන → තෝලංගමුව

- හයවන දිනය | අප්‍රේල් 26 (33 km): තෝලංගමුව → යක්කල

- හත්වන දිනය | අප්‍රේල් 27 (21 km): යක්කල → කැලණිය

- අටවන දිනය | අප්‍රේල් 28 (15 km): කැලණිය → කොළඹ

- නව වන සහ දහවන දින | අප්‍රේල් 29-30: කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය

- එකලොස්වන දිනය | මැයි1: ඇමෙරිකාව බලා යළි පිටත්ව යෑම

තික් මින් තියු හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය

මීට පෙර තවත් වියට්නාම හිමිනමක් වන තික් මින් තියු හිමියෝ ද පාද යාත්‍රාවක නිරත වෙමින් ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ නගර කිහිපයක පාද චාරිකාවේ නිරත වූහ.

එහෙත්, වියට්නාමයේ ජනප්‍රිය මෙන් ම ආන්දෝලනාත්මක හිමි නමක වන තික් මින් තියු හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට මල්වතු පාර්ශවය ඇතුළුව මෙරට ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විරෝධය එල්ල විය.

තික් මින් තියු හිමියන් ආන්දෝලනයට ලක්වූයේ, වියට්නාම රජය පිළිගන්නා එක ම සංඝ සභාවෙන් උන්වහන්සේ ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙනි.

වියට්නාම සංඝ සභාව විසින් තික් මින් තියු හිමි 'ව්‍යාජ' භික්ෂුවක ලෙස ලේබල් කරනු ලැබ ඇත.

මේ හේතුවෙන් තික් මින් තියු හිමියන්ගේ පාදයාත්‍රාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.