ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා සාක්ෂරතා අනුපාතය සම මට්ටමට: ස්ත්‍රී සාක්ෂරතා අනුපාතය 97% දක්වා ඉහළට

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාවේ ලක්ෂ 4කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය ලබා නොමැති බව 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවේ දක්වා තිබේ.

එම වාර්තාවට අනුව, වයස අවුරුදු 25 හා ඊට වැඩි මුළු ජනගහනයෙන් 400,511 දෙනෙකු පාසල් නොගිය පිරිසට අයත් වන අතර ඉන් 136,168 දෙනෙකු පිරිමි සහ කාන්තාවෝ 264,343 දෙනෙකු වෙති.

2024 වයස අවුරුදු 25 හා ඊට වැඩි මුළු ජනගහනය 13,871,317ක් ලෙස වාර්තා වූ බව සංගණන වාර්තාවේ සඳහන් කර ඇත.

අධ්‍යාපන මට්ටම අනුව ජනගහනය කොපමණ ද?

මෙම සංගණනය සිදුකරන කාලය වන විට 1,738,942ක් ප්‍රාථමික මට්ටමේ අධ්‍යාපනයක් ලබා ඇති පිරිස වන අතර 1-5 ශ්‍රේණි සමත් පිරිස 1,738,942කි.

ද්වීතියික අධ්‍යාපන මට්ටමක් ඇති ජනගහනය 8,096,402ක් වන අතර 6-8 ශ්‍රේණි සමත් පිරිස 1,655,756ක් සහ 9-10 ශ්‍රේණි සමත් ජනගහනය 3,385,775ක් බව ජන හා නිවාස සංගණන වාර්තාවේ දැක්වේ.

වාර්තාවේ සඳහන් පරිදි, 3,054,871ක් අ.පො.ස සමාන්‍ය පෙළ හෝ ඊට සමාන අධ්‍යාපන මට්ටමක් ඇති අය වෙති. තෘතියික අධ්‍යාපන මට්ටම ලබා ඇති ජනගහනය 3,635,462කි.

අ.පො.ස උසස් පෙළ හෝ ඊට සමාන අධ්‍යාපන මට්ටමක් ඇති වයස අවුරුදු 25 හෝ ඊට වැඩි මුළු ජනගහනය 2,677,022ක් බව ද වාර්තාවේ දක්වා ඇත.

2024 ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව, සංගණනය සිදුකළ කාල සීමාව වන විට උපාධි අධ්‍යපාන මට්ටම ලබා ඇති ජනගහනය 780,958ක් වන අතර පශ්චාත් උපාධි ඩිප්ලෝමාව දක්වා අධ්‍යාපන මට්ටමක් ඇති මුළු ජනගහණය 89,598ක් වේ.

පශ්චාත් උපාධිය දක්වා අධ්‍යාපන මට්ටමක් ඇති ජනගහනය 76,127ක් බවත් ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපන මට්ටමක් ඇති පිරිස 11,757ක් බව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

2024 ජනගහන හා නිවාස සංගණනයට අනුව, වයස අවුරුදු 25 සහ ඊට වැඩි ජනගහනය අතුරින් කිසි දිනක පාසල් නොගිය පුද්ගලයින් වැඩි ම සංඛ්‍යාවක් පිළිවෙලින් නුවරඑළිය (8.3%), මඩකලපුව (6.6%) සහ බදුල්ල (6.0%) යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, 2012 වසරට සාපේක්ෂව 2024 වසරේදී සියලු ම දිස්ත්‍රික්කවල මෙම ප්‍රතිශතය පහත වැටී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය හැර සෙසු සියලු ම දිස්ත්‍රික්කවල වයස අවුරුදු 25 සහ ඊට වැඩි ජනගහනයෙන් වැඩි ම ප්‍රතිශතයක් සමන්විත වන්නේ 6-10 ශ්‍රේණි දක්වා අධ්‍යාපනය ලැබූ පුද්ගලයින්ගෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි ම ප්‍රතිශතය වාර්තා වන්නේ අපොස (උ.පෙ.) හෝ ඊට වැඩි සුදුසුකම් සහිත පුද්ගලයින්ගෙනි.

සාක්ෂරතාව ගැන හෙළිව ඇති තොරතුරු මොනවා ද?

මෙම සංගණනයේදී 2024 වසරේදී වයස අවුරුදු 10ට වැඩි පුද්ගලයින්ගේ භාෂා සාක්ෂරතාව පිළිබඳව තොරතුරු රැස් කර ඇත.

එහිදී, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ලිවීමේ සහ කියැවීමේ හැකියාව පිළිබඳ තොරතුරු ලබාගෙන තිබේ.

රැස් කරගත් තොරතුරු අනුව, ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 97.4%ක් වන අතර සාක්ෂරතා අනුපාතය පුරුෂ 97.9% සහ ස්ත්‍රී 97.0%ක් ලෙස වාර්තාවේ දක්වා ඇත.

"භාෂා සාක්ෂරතා අනුපාතය සැලකීමේදී අවම වශයෙන් සලකනු ලබන එක් භාෂාවක් හෝ ලිවීමේ හා කියැවීමේ හැකියාව ඇත්නම් භාෂා සාක්ෂරතාව ඇති ලෙස සලකා මෙම අනුපාතය ගණනය කෙරේ.

1881 සිට මේ දක්වා සංගණන වර්ෂවලදී ලබා ගත් භාෂා සාක්ෂරතාවන් සලකන විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ භාෂා සාක්ෂරතාව වැඩි වෙමින් පැවති අතර 2024දී එය සියයට 97.4ක් ලෙස වාර්තා වේ.

මේ දක්වා පැවති ආකාරයට ම පුරුෂ සාක්ෂරතා අනුපාතය ස්ත්‍රී සාක්ෂරතා අනුපාතයට වඩා වැඩි අගයක් ගත්ත ද 2024 වර්ෂයේදී ස්ත්‍රීන්ගේ සාක්ෂරතා අනුපාතය පුරුෂයින්ගේ සාක්ෂරතා අනුපාතයට ආසන්න වෙමින් පවතී," යනුවෙන් ජන හා නිවාස පිළිබඳ 2024 අවසන් සංගණන වාර්තාවේ දැක්වේ.

සාක්ෂරතාව සැලකීමේදී නාගරික අංශයේ 98.4%ක්, ග්‍රාමීය අංශයේ 97.6%ක් සහ වතු අංශයේ සාක්ෂරතාව 91.2%ක් බව වාර්තාවේ සඳහන් කර ඇත.

පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාව

මෙවර සංගණනයේදී ප්‍රථම වතාවට ඩිජිටල් සාක්ෂරතාව පිළිබඳව තොරතුරු රැස් කළ බව ජන හා නිවාස සංගණනය පිළිබඳ 2024 වාර්තාවේ දක්වා තිබේ.

"අවුරුදු 5 හා ඊට වැඩි පුද්ගලයෙකුට පරිගණකයක් (Laptop, Desktop, Minicomputer) හෝ සුහුරු ජංගම දුරකතනයක් (Smart Phone) භාවිතයෙන් යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව," ඇත්නම් එම පුද්ගලයාට ඩිජිටල් සාක්ෂරතාව ඇතැයි සැලකේ.

ඒ අනුව, වයස අවුරුදු 5 හා ඊට වැඩි පුද්ගයින්ගේ පරිගණ සාක්ෂරතා අනුපාතය 34.7%ක් සහ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 67.6%ක් වන බව වාර්තාවේ දක්වා ඇත.

නාගරික අංශයේ පරිගණක සාක්ෂරතාව 47.0%ක් වන අතර එම අංශයේ ඩිජිටල් සාක්ෂරතාව 76.8%ක් වේ.

ග්‍රාමීය පරිගණක සාක්ෂරතාව 33.0%ක් ලෙසත් ඩිජිටල් සාක්ෂරතාව 66.4ක් බවත් වාර්තාවේ දක්වා තිබේ.

ජන හා නිවාස සංගණනය පිළිබඳ 2024 අවසන් වාර්තාවේ සඳහන් පරිදි වතු ග්‍රාමීය අංශයේ පරිගණක සාක්ෂරතාව 14.9%ක් වන අතර එම අංශයේ ඩිජිටල් සාක්ෂරතාව 50.2%ක් බව හඳුනාගෙන ඇත.

"ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි ම දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය වන අතර ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක අනුපිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවේ. පරිගණක සාක්ෂරතාව අඩුම දිස්ත්‍රික්කය වනුයේ, මන්නාරම දිස්ත්‍රික්කය වේ.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාව 50%ට වැඩි මට්ටමක පැවතීම විශේෂත්වයකි. ඩිජිටල් සාක්ෂරතාව අඩු ම දිස්ත්‍රික්කය නුවරඑළිය වේ," යැයි ජන හා නිවාස සංගණන වාර්තාවේ සඳහන් ‍වේ.