දිවයින පුරා මහ වැසි, කඳුකරයට නායයෑම් අනතුරු ඇඟවීම්: වැස්ස අඩුවෙන්නේ කවදා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (ඔක්. 22) සිට ඔක්: 27 දක්වා වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ.

අධික වැසි සමඟ ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයන්, පස්කඳු කඩා වැටීම් සහ ගමනාගමනයට ඇති විය හැකි බාධා පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ රියදුරන්ට ආපදා කළමනාකරණ බලධාරීන් දැනුම් දී තිබේ.

'වැව් 18ක් දැනට වාන් දානවා'

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතු කොටගෙන දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතී. තවද දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝණ අඩි 16,500 ක් තරම් ශීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතී. මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තව දුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංඟා නිම්නයේ පහළ ප්‍රදේශ වලට හා ඒ ආශ්‍රිත පහත්බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

• වාරියපොල

• නිකවැරටිය

• මහව

• කොබෙයිගනේ

• බිංගිරිය

• පල්ලම

• හලාවත

• ආරච්චිකට්ටුව

• රස්නායකපුර

එමෙන්ම රාජාංගණය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අධිකව පවතින බැවින් එය පාලනය කිරීම සඳහා ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, වාන් දොරටු හතරක් අඩි තුන බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇත. ඒ අනුව තත්පරයට ඝන අඩි විශාල ප්‍රමාණයක ජලය රාජාංගණය ජලාශයෙන් කලාඔයට මුදා හැරෙමින් පවතී.

විශේෂයෙන්ම රාජාංගණය සහ දැදුරුඔය ජලාශයන්ට පහළින් කලාඔය ආශ්‍රිතව පදිංචි ජනතාව, ගංගාවේ ජල මට්ටමේ වෙනස්වීම් සහ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

මේ අතර, කැලණි ගඟේ ඉහළ ප්‍රදේශයට සහ මධ්‍යම ප්‍රදේශයට මිලිමීටර් 150ක පමණ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ජල සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර පැවසීය.

එමෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල බොහෝ ප්‍රදේශවලට ද, වයඹ පළාතේ උතුරු ප්‍රදේශයට සහ නැගෙනහිර පළාතේ සැලකිය යුතු ස්ථාන කිහිපයකට ද මිලිමීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

"සමස්තයක් ලෙස සැලකූ විට වැව් 18කට ආසන්න සංඛ්‍යාවක් වාන් දමමින් පවතිනවා. මධ්‍යම සහ විශාල ජලාශ අතරින් විශේෂයෙන් රාජාංගණය සහ දැදුරුඔය ජලාශ සැලකිය යුතු ප්‍රමාණයක ජලය ගංගාවලට මුදා හරිමින් සිටිනවා.

ඒ නිසා විශේෂයෙන්ම දැදුරුඔය සහ රාජාංගණය ජලාශවලට පහළ ප්‍රදේශවල, ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාව සහ ජලය භාවිත කරන පිරිස් ඉතා සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම තෙත් කලාපයේ ගංගාවල ජල මට්ටම් ද සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතිනවා.

කෙසේ වෙතත්, මේ වන විට පවතින වර්ෂාපතන තත්ත්වයන් අනුව ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොපෙනුණත්, අද දිනයේ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවට පුරෝකථනය කර තිබෙනවා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබෙනු ඇති බවත් එම පුරෝකථනයේ සඳහන් වෙනවා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට කෙටි කාලයක් තුළ ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් ගංගාවල ජල මට්ටම් හදිසියේ ඉහළ යා හැකියි.

මේ නිසා ගංගා ආශ්‍රිතව සහ පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා," යනුවෙන් ඔහු පැවසීය.

පුද්ගලයින් 3,0000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේ මේ වන විට පුද්ගලයින් 3,0000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල ජීවත් වන බව හඳුනාගෙන ඇති බවයි.

"ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කළත් නැතත්, ඔබ ජීවත් වන ස්ථානය යම් ආකාරයකින් අනතුරුදායක තත්ත්වයක පවතින බවට සැකයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු අතර, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතුයි.

විශේෂයෙන්ම අධි අවදානම් කලාපවල ජීවත් වන පිරිස් දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව මධ්‍යම අවදානම් සහිත කලාප ද හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශවල ජනතාව ද වඩාත් සැලකිලිමත් විය යුතුයි," යනුවෙන් ඔහු පැවසීය.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඇම්බර් මට්ටමේ (Level 2) අනතුරු ඇඟවීම්

මහනුවර දිස්ත්‍රික්කය

  • උඩපළාත
  • මැදදුම්බර
  • කුණ්ඩසාලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • අඹගමුව
  • රත්නපුර දිස්ත්‍රික්කය
  • රත්නපුර
  • ඇළපාත
  • කුරුවිට

කහ මට්ටමේ (Level 1) අනතුරු ඇඟවීම්

බදුල්ල දිස්ත්‍රික්කය

  • පස්සර
  • ඌව පරණගම
  • හාලිඇල
  • හපුතලේ
  • හල්දුම්මුල්ල
  • මහනුවර දිස්ත්‍රික්කය
  • දොළුව
  • දෙල්තොට
  • යටිනුවර
  • උඩදුම්බර
  • උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය

  • මාවනැල්ල
  • බුලත්කොහුපිටිය
  • අරණායක
  • දෙරණියාගල
  • යටියන්තොට

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • මාවතගම
  • ඉබ්බාගමුව

මොනරාගල දිස්ත්‍රික්කය

  • මැදගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • හඟුරන්කෙත
  • කොත්මාලේ නැගෙනහිර
  • කොත්මාලේ බටහිර
  • නිල්දණ්ඩහින්න
  • වලපනේ
  • මතුරට

රත්නපුර දිස්ත්‍රික්කය

  • කොළොන්න
  • අයගම
  • ඉඹුල්පේ
  • කලවාන
  • නිවිතිගල
  • බලංගොඩ
  • ඇහැලියගොඩ
  • වැලිගෙපොළ