පැසිෆික් සාගරයේ සිට මහද්වීප පසු කර පැමිණෙන සුපිරි එල් නිනෝව ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම කුමක් ද?

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

ඉන්දියානු සාගරයට එපිටින් පිහිටි පැසිෆික් සාගරය හෙවත් ශාන්තිකර සාගරයේ සිදුවන කාලගුණ වෙනස්කම්වල බලපෑම මහද්වීප ගණනක් පසුකර අප වෙත පැමිණෙන බව ඔබ දැන සිටියා ද?

වසර කිහිපයකට පෙර 'එල් නිනෝ' සහ 'ලා නිනා' යන යෙදුම් අපට තරමක් ආගන්තුක වූ නමුත් මේ වන විට ඒ සම්බන්ධයෙන් යම් අවබෝධයක් බොහෝ දෙනෙකුට තිබේ.

එල් නිනෝ තත්ත්වය සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ දමන අතර ම, එය ඇතැම් කලාපවලට නිවර්තන කුණාටු තත්ත්වයන් ඇති කරයි.

මේ වන විට ලෝකයේ කාලගුණ ඒජන්සි ගණනාවක් විසින් මේ වසරේ ඇති විය හැකි" ඉතිහාසයේ ඇතිවිය හැකි ප්‍රබල ම එල් නිනෝ තත්ත්වය," සම්බන්ධයෙන් පුරෝකථනය කරනු ලැබ තිබේ.

පසුගිය වසර අවසානයේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසුව තවමත් එයින් යථා තත්ත්වය පැමිණීමට උත්සාහ කරන අපට පැසිෆික් සාගරයේ සිදුවන කාලගුණ වෙනස්වීම් බලපාන්නේ කෙසේ ද? එය අපගේ කාලගුණයට සහ විශේෂයෙන් ම ආහාර සැපයුමට බලපෑමක් ඇති කරනවා ද?

මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.

එල් නිනෝ තත්ත්වයක් යනු කුමක් ද?

පෙර සඳහන් කළ පරිදි එල් නිනෝ තත්ත්වය යනු පැසිෆික් සාගරයේ ඇතිවන ස්වභාවික සංසිද්ධියකි.

එල් නිනෝ සමයේදී පැසිෆික් සාගරයේ මතුපිට මුහුදු ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යන අතර, එහි ප්‍රතිවිරුද්ධ සංසිද්ධිය වන ලා නිනා සංසිද්ධියේදී එම සාගරයේ මතුපිට ජලය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සිසිල් වේ.

එල් නිනෝ තත්ත්වයන් යනු සාමාන්‍යයෙන් සෑම වසර 2-7 දක්වා අතර සිදුවන්නකි.

ඒවා සාමාන්‍යයෙන් මාස 9ක සිට සිට 12 දක්වා කාලයක් පවතින නමුත් සමහර විට ඒවා ඊට වඩා දිගු කාලයක් පැවතිය හැකි ය.

සෑම එල් නිනෝ තත්ත්වයක් ම එක හා සමාන නොවන නමුත් එහි පොදු බලපෑම් කිහිපයක් විද්‍යාඥයෝ නිරීක්ෂණය කර තිබේ.

පැසිෆික් සාගරය එක් පසෙකින් ආසියානු මහද්වීපයටත්, ඕෂනියා මහද්වීපයටත් සීමා වන අතර, අනෙක් පසින් උතුරු ඇමරිකානු මහද්වීපයටත් දකුණු ඇමරිකානු මහද්වීපයටත් සීමා වේ.

මෙවැනි කාලයකදී සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි බටහිර පැසිෆික් කලාපයේ රටවල් බොහෝ විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වියළි කාලගුණයකට මුහුණ දෙයි.

ඊට සාපේක්ෂව දකුණු ඇමරිකාවේ පේරු සහ ඉක්වදෝරය ඇතුළු පැසිෆික් සාගරයේ නැගෙනහිර පැත්තේ රටවලට වඩා තෙත් කාලගුණයක් සහ ගංවතුර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

සුපිරි එල් නිනෝ තත්ත්වයක් යනු කුමක් ද?

මේ වසරේ අප්‍රේල් 9 වන දින, එක්සත් ජනපද දේශගුණික පුරෝකථන මධ්‍යස්ථානය පැවසුවේ එල් නිනෝව මැයි සහ ජූලි අතර වර්ධනය වී අවම වශයෙන් 2026 අවසානය දක්වා පවතිනු ඇති බවට 61% ක සම්භාවිතාවක් ඇති බව යි.

"ඉතා ප්‍රබල" එල් නිනෝ සංසිද්ධියක් සිදුවීමට හතරෙන් එකක අවස්ථාවක් ඇති බව ද එහි සඳහන් විය.

ඒ අනුව මේ වසරේ "අති ප්‍රබල සුපිරි එල් නිනෝවක්" පැමිණීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා මතු විය.

1997-1998 සහ 2015-2016 දී මධ්‍යම පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වූ විට දක්නට ලැබුණු ඉතා විශාල එල් නිනෝ සංසිද්ධියක් විස්තර කිරීමට සුපිරි එල් නිනෝ යන යෙදුම භාවිතා කරන බව යුරෝපීය මධ්‍යම-පරාස කාලගුණ අනාවැකි මධ්‍යස්ථානයේ ආචාර්ය ටිම් ස්ටොක්ඩේල් බීබීසී ලෝක සේවයට පැවසීය.

2017 මුල් කාලගුණ අනාවැකිවලින් උණුසුම් වන එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වන බව ප්‍රකාශ විය. කෙසේ වෙතත්, පසුව තත්වයන් වෙනස් වූ අතර ඒ වෙනුවට ලා නිනා තත්ත්වයක් ඇති විය.

එක්සත් ජනපද කාලගුණ විද්‍යාඥයන් පුරෝකථනය කර ඇත්තේ මේ වසරේ එල් නිනෝ තත්ත්වය ජූනි මාසයේ සිට නිල වශයෙන් ආරම්භ වීමට ඉඩ ඇති බව යි. මේ වන විටත් පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යමින් තිබේ.

ශ්‍රී ලංකාවට ඇති බලපෑම

පැසිෆික් සාගරයේ සිදුවන මෙම සංසිද්ධිය ඉන්දියානු සාගරයේ ජීවත් වන අපට බලපාන්නේ කෙසේදැයි සෙවීමේදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකික කාලගුණ විද්‍යාඥවරියක වන නදීකා රණවීර සහ ජපානයේ සුකුබා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යොයිචි කමාඒ විසින් සිදු කළ අධ්‍යයනයක් හමුවූ අතර, අප විසින් එම අධ්‍යයනය සිදු කළ ශ්‍රී ලංකික කාලගුණ විද්‍යාඥවරිය වන නදීකා රණවීරව සම්බන්ධ කරගන්නා ලදී.

එල් නිනෝ තත්ත්වයකින් පසු ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය කෙරෙහි එමඟින් බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම ඔවුන් සිදු කළ පර්යේෂණයේ අරමුණ වී තිබේ.

එල් නිනෝ තත්ත්වය ඇතිවන වසරට පසු වසරේ පළමු අන්තර් මෝසමේ වර්ෂාපතනයේ අඩු වීමක් සිදුවන බව එම අධ්‍යයනයෙන් සොයාගෙන ඇතැයි ඇය බීබීසී සිංහල වෙත පැවසුවා ය.

ඇය පැවසුවේ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේදී සාමාන්‍යයෙන් ආරම්භයේදී පැසිෆික් සාගරයේ නැගෙනහිර කොටසේ සාගර මතුපිට උෂ්ණත්වය සෙමෙන් වැඩි වී දෙසැම්බර් මාසයේදී පමණ එහි උපරිමයකට ළඟා වන බව ය.

"මේ විදිහට සාගර මතුපිට උෂ්ණත්වය වැඩි වෙලා දෙසැම්බර් විතර වෙද්දී උපරිම තත්ත්වයකට ඇවිල්ලා ඉන්පසු අවුරුද්දේ මුල මාස කිහිපයේදී අඩු වෙලා යනවා.

නමුත් පැසිෆික් සාගරයේ මේ තත්ත්වය නොපෙනී යන තත්ත්වයකට ගියාට පස්සෙත් ඉන්දියානු සාගරයේ දිවයිනක් වෙන අපට බලපෑමක් තියෙනවා කියන එක තමයි අපි හොයාගත්තේ," කාලගුණ විද්‍යාඥ නදීකා පැවසුවා ය.

ඉන්දු-පැසිෆික් සාගර ධාරිත්‍රක ආචරණය

මෙලෙස පැසිෆික් සාගරයේ ඇති වන එල් නිනෝ තත්ත්වය අවසන් වීමෙන් පසුව ද ඉන්දියානු සාගරයට බලපාන්නේ ඉන්දු පැසිෆික් සාගර ධාරිත්‍රක ආචරණය [Indo-Pacific Ocean Capacitor Mode] හේතුවෙන් බව ඇය පැවසුවා ය.

"ධාරිත්‍රකයක් කියන්නේ විදුලිය රදවා තියාගෙන පසුව නිදහස් කරන එකක්. ඒ වගේ ඉන්දියානු සාගරය පැසිෆික් සාගරයේ ශක්තිය අරගෙන තියාගන්නවා, නමුත් ඒක නිදහස් කරන්නේ මාස ගණනකට පස්සේ. අපේ රටත් ඉන්දියානු සාගරයේ දිවයිනක් නිසා ඉන්දු පැසිෆික් සාගර ධාරිත්‍රක ආචරණය අපටත් බලපෑ හැකියිද කියන එක මත ඉඳලා තමයි අපි මේ අධ්‍යයනය කළේ," ඇය විස්තර කළා ය.

මේ සඳහා ඔවුන් 1975 සිට 2019 දක්වා දත්ත යොදාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ වර්ෂාපතන දත්ත, ජපානයේ 'COBE සාගර මතුපිට උෂ්ණත්වය' පිළිබඳ දත්ත සහ JRA 55 දත්ත සමුහය ඒ අතර තිබේ.

මෙහිදී පළමු අන්තර් මෝසමේ වර්ෂාපතනය සහ එල් නිනෝ දර්ශකය සමග සෘණාත්මක සම්බන්ධතාවයක් පවතින බව හදුනාගෙන ඇති අතර මෙම සම්බන්ධතාවය තහවුරු කරගැනීමට පසුගිය එල් නිනෝ සංසිද්ධීන් වල වර්ෂාපතන දත්ත විශ්ලේෂණය කර තිබේ.

1975 සිට 2019 දක්වා කාලය තුළ එල් නිනෝ තත්ත්වයන් 16 ක් හදුනාගත හැකි අතර ඒ අතර , "ශක්තිමත් එල් නිනෝ තත්ත්ව දෙකක් [Strong El Niño] 1987 සහ1991දී වාර්තා වී තිබෙන අතර සුපිරි එල් නිනෝ තත්ත්ව [Super El Niño] තත්ත්ව 3 ක් වාර්තා වී ඇත. එම සුපිරි එල් නිනෝ තත්ත්වයන් වාර්තා වී ඇත්තේ 1982, 1997, 2015 යන වසර වලදී ය.

දුර්වල සහ මධ්‍යස්ථ මට්ටමේ එල් නිනෝ තත්ත්වයන්ගෙන් විශාල බලපෑමක් මෙම කලාපයට නොමැති හෙයින් ඉහත සඳහන් කළ සුපිරි එල් නිනෝ තත්ත්ව සහ ශක්තිමත් එල් නිනෝ තත්ත්ව සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය සිදු කර තිබේ.

එහිදී, ඉහත සඳහන් කළ වසරවලදී ඇතිවූ එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉන්පසු වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන පළමු අන්තර් මෝසමේ වර්ෂාපතනය අඩු වී ඇති බව ඔවුහු නිරීක්ෂණය කර ඇත.

මෙම අවස්ථා 5 න් 4 ක ම පළමු අන්තර් මෝසමේ වර්ෂාපතනය අඩු වී ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර, 1987 වසරේ එල් නිනෝ තත්ත්වයෙන් පසුව 1988 වසරේ පළමු අන්තර් මොසමේදී පමණක් මෙම තත්ත්වය වෙනස් වී තිබේ.

"1988 අවුරුද්දේ විතරක් එහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා, ඒ අවුරුද්දේ එල් නිනෝ තත්ත්වයේ සිට ලා නිනා තත්ත්වයට මාරු වීම මේ කාලයේදී වෙලා තියෙනවා, ඒ නිසා ලා නිනා බලපෑමෙන් අපේ වර්ෂාපතනය ඒ කාලයේ ඉහළ ගිහින් තියෙනවා," කාලගුණ විද්‍යාඥ නදීකා පැවසුවා ය.

එමෙන්ම එම වසරේ පළමු අන්තර් මෝසම් කාලයේදී මැඩන්-ජූලියන් දෝලනය [Madden-Julian Oscillation - MJO] නැමති වර්ෂාපතනය කෙරෙහි බලපාන තවත් කාලගුණ සංසිද්ධියක් වැසි වැඩිවීමට හිතකර ආකාරයෙන් පැවතීම ද පළමු අන්තර් මෝසමේ වර්ෂාපතනය වැඩි වීමට හේතු වී ඇති බව ඇය පවසයි.

"ඒ වගේ විශේෂ තත්ත්වයක් ආවේ නැති නම්, සුපර් හෝ ස්ට්‍රෝන්ග් එල් නිනෝ එකකට පස්සේ අවුරුද්දේ මාර්තු, අප්‍රේල් වර්ෂාපතනය අඩු වෙනවා කියන එක තමයි අපේ සොයා ගැනීම," කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර විස්තර කළා ය.

එල් නිනෝ තත්ත්වයකින් පසු අවුරුද්දේ නිරිතදිග මෝසමේ වර්ෂාපතනයට එයින් බලපෑමක් තිබේ ද යන්න සම්බන්ධයෙන් ද ඇය අධ්‍යයනයක් සිදු කර ඇති බවත්, නිරිතදිග මෝසමේ වර්ෂාපතනය සමග ධනාත්මක සම්බන්ධතාවයක් එල් නිනෝ දර්ශකය සමග පැවතින බව හඳුනාගත් නමුත් ඉහත ආකාරයේ නිශ්චිත වායුගෝලීය තත්වයන්ගේ රටාවක් පසුගිය එල් නිනෝ සංසිද්ධීන් සඳහා පොදුවේ හඳුනා ගැනීමට නොහැකි වූ බවද ඇය පැවසුවා ය.

'අඩු වර්ෂාවකින් නියඟයක් - වැඩි වර්ෂාවකින් වැඩි මතුපිට ආපදාවක්'

මෙම තත්ත්වය පැසිෆික් සාගරයේ ඇති වූව ද එයින් ලෝකයේ සුළං හමන ආකාරයට බලපෑම් කරන නිසා ඉන්දියානු සාගරයේ සුළං ප්‍රවාහයට ද එයින් බලපෑමක් ඇති බව කැනඩාවේ මෙමෝරියල් විශ්වවිද්‍යාලයේ ජල විද්‍යාව සහ කෘෂි භූ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන, ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පවසයි.

බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන නිරිතදිග මෝසම් සමයේදී රට තුළට පැමිණෙන සුළංවල ඇති තෙතමනයට පැසිෆික් සාගරයේ ඇති උෂ්ණත්වය බලපෑම් කරන නිසා නිරිතදිග මෝසමේදී ලැබෙන වර්ෂාව අඩු විය හැකි බව යි.

තව ද ඇතැම් අවස්ථාවල කෙටි කාලයක් තුළ අධික වර්ෂාවක් ඇති වීමට ද ඉඩ ඇති බව ඔහු පවසයි.

"මේ විදිහට ධාරිතාවයකින් වහින එකත් එක්ක එන්න එන්න මතුපිට ආපදාව වැඩි වෙනවා… ගංවතුර, නායයෑම් වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්… ඒ වගේ ම අපේ ඉදිකිරීම් කරලා තියෙන විදිහත් එක්ක ඒ විදිහට ලැබෙන වර්ෂාව පොළොවට උරාගන්නත් අමාරුයි," ඔහු පවසයි.

මෙලෙස වර්ෂාවෙන් ලැබෙන ජලය පසට උරා නොගැනීම හේතුවෙන් ඒවා ඇතැම් විට ගංවතුර තත්ත්වයක් හෝ ඇති වී අවසානයේ මුහුදට ගලා යන බව ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පවසයි.

"මෙහෙම තත්ත්වයකදී ලොකු ප්‍රමාණයක් වැහැලා වැහැපු වතුර ප්‍රමාණය ගලාගෙන ගියාට පස්සේ එනවා ලොකු වියළි කාලයක්… භූගත ජලය හිඟ නිසා එතකොට එන්න පුළුවන් නියඟයක්," ඔහු පෙන්වා දුන්නේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කුමක් ද?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට 2026 නිරිතදිග මෝසම සඳහා දීර්ඝ කාලීන අනාවැකි නිකුත් කර ඇති අතර, එහි එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.

2026 ජුනි- අගෝස්තු කාලය තුළ එල් නිනෝ තත්ත්වයක් උද්ගත වීමට ආසන්න වශයෙන් 62%ක සම්භාවිතාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන් ම මෙම තත්ත්වය දකුණු ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ වර්ෂාපතන විචල්‍යතාවයට දැඩි ලෙස බලපාන නිසා එම තත්ත්වයේ වර්ධනය සමීපව නිරීක්ෂණය කරන බව ද එහි සඳහන් ය.

බීබීසී සිංහල විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සම්බන්ධ කරගන්නා ලදී.

"සමහර ආයතන කියනවා සුපර් එල් නිනෝ එකක් එනවා කියලා, සමහර ආයතන කියනවා එහෙම එන එකක් නෑ කියලා, ඒ වගේ වෙනස්කම් තියෙනවා අනාවැකි වල… ඒක ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපේ මෝසම් වර්ෂාවට තමයි බලපාන්නේ," ඔහු පැවසුවේ ය.

ඔහු ද පෙන්වා දුන්නේ නිරිතදිග මෝසමට එමඟින් බලපෑම් කළ හැකි බව යි.

එහිදී අප විමසා සිටියේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී නියඟයක් ඇති වීමේ අවදානමක් පවතින්නේ ද යන්න ය.

"මේකෙන් වෙන්නේ අපේක්ෂිත වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම," ඔහු පැවසුවේ ය.

'අපේ කාලගුණේ තාම හරියට කියලා නෑ'

කෙසේවෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර නොමැති බව යි.

"අපේ කාලගුණේ තාම හරියට කියලා නෑ," ඔහු පැවසුවේ ය.

ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සුදානම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගනීමට ඔහුව නැවත සම්බන්ධ කරගන්නා ලෙස පැවසූ නමුත් අප විසින් කිහිප වරක් නැවත ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

ජලාශවල ජල මට්ටම් පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙන් ම, මෙම තත්ත්වය ඉදිරියේදී ජල විදුලි උත්පාදනයට සිදු කරන බලපෑම කළමනාකරණය කරගැනීමට ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් විමසීමට බීබීසී සිංහල විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කිත්සිරි වැලිගෙපොළ සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහය ද නිෂ්ඵල විය.

යල කන්නයේ වගාවට ඇති එල් නිනෝ බලපෑම

ශ්‍රී ලංකාවේ වගා කටයුතු සඳහා වර්ෂාපතනය අඩු වීම බලපෑ හැකි බැවින් එය කළමනාකරණය කිරීමට කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ආචාර්ය චමිල පෙරේරාගෙන් විමසීමක් සිදු කරන ලදී.

යල කන්නයේ වගා කටයුතු සඳහා අතිශයින් ම වැදගත් නිරිතදිග මෝසම ජූලි මාසයේ මැද සිට අඩු වනු ඇති බවට අපේක්ෂා කරන්නේ යැයි ආචාර්යවරයා එහිදී පැවසුවේ ය.

"ඒ නිසා වෙනදට වඩා වී වර්ග තොරගනිද්දී සැලකිලිමත් වෙන්න කියලා අපි ගොවීන්ව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේ ම පුළුවන් තැන්වල වී වගා කරලා අනෙක් තැන්වල අතිරේක බෝග, ඒ කියන්නේ එළවළු වර්ග වගා කරන්න කියලා දැනුවත් කරලා තියෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ තෙත් කලාපයට වඩා මෙම තත්ත්වය වියළි කලාපයට බලපෑමක් ඇති කළ හැකි බව යි.

"තෙත් කලාපයට ලොකු බලපෑමක් නෑ, ඒගොල්ලෝ කොහොමටත් නිරිතදිග වර්ෂාවෙන් දැන් සෑහෙන්න වර්ෂාපතනයක් ලැබෙනවා. වියළි කලාපය ගත්ත ම නිරිතදිග මෝසම් වර්ෂාපතනය ලැබෙන්නේ නැති කලාපයක්. අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාව වගේ වියළි කලාපයට තමයි අපි අවදානය යොමු කළ යුත්තේ."

තව ද, දැනට නිරිතදිග මෝසමේ වර්ෂාවෙන් ලැබෙන වර්ෂාපතනය මහවැලි ජලාශවල ගබඩා කිරීම සිදු වන බව ආචාර්යවරයා කියා සිටියේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි එකතු කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කෘෂි පුරෝකථන සකස් කරන බවත්, පසුව ඒවා සම්බන්ධයෙන් ගොවින් දැනුවත් කරන බවත් ආචාර්යවරයා පැවසුවේ ය.