Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මාරාන්තික දුම්රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ අලියෙකු, අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙත්සම්කරුවෙකු බවට පත් වී තිබේ.

2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ.

නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.

සාමාන්‍යයෙන් සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ සංවිධාන සහ ආයතන අධිකරණය හමුවට යන නමුත් මෙහි විශේෂත්වය වන්නේ වින්දිත අලියෙකු පෙත්සම්කරුවෙකු බවට පත්ව තිබීම ය.

මෙම පෙත්සමේ උක්ත අලියා දෙවන පෙත්සම්කරු වන අතර, එම අලියා ළඟ ම මිත්‍රයෙකු වශයෙන් සලකා පරිසර සංවිධානයක් විසින් පළමු පෙත්සම්කරු ලෙස අභියාචනාධිකරණයේ මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.

අලින් 6 දෙනෙකුට දිවි අහිමි වූ අනතුර

2025 පෙබරවාරි 19 වන රාත්‍රී 11.30ට පමණ, මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර පිහිටි කි.මී. 140 කණුව ආසන්නයේදී මීනගයා දුම්රියේ වන අලි 7 දෙනෙකු ගැටී තිබූ අතර, එම අනතුරින් අලි පැටවුන් සහ වැඩිහිටි අලි දෙනුන් ඇතුළු අලි 06 දෙනෙක් මිය ගියහ.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා අවධානය යොමු වූ අතර, පාර්ලිමේන්තුවේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් සහ, නැවත වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට බලධාරීහු එහිදී ප්‍රකාශ කළ හ.

රජය විසින් 'වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත' යටතේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ස්වභාවික වාසස්ථානවල ජීවත් වන අලි ඇතුන් සහ අනෙකුත් වනජීවී විශේෂවල ආරක්ෂාව සඳහා ප්‍රකාශයට පත් කර ඇති ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට හෝ සකස් කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත්, අලි ඇතුන්ට හානි සිදුවන අයුරින් ඉදිරියේදී සිදුවිය හැකි දුම්රිය අනතුරු වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් සකස් කරන ලෙසත් නියෝග කරමින් රිට් ආඥා නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සම 2026 ජනවාරි 20 දින විභාගයට ගැනුණු අතර, එහි තීන්දුව ලබා දෙනු ලැබුවේ, අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය ඩී.එෆ්.එච්. ගුණවර්ධන විසින් 2026 සැප්තැම්බර් 10 වන දින ය.

Elephant X

දෙවන පෙත්සම්කරු වන "Elephant X"ගේ පදිංචිය ලෙස සඳහන්ව තිබෙන්නේ, ගල් ඔය සහ මින්නේරිය ප්‍රදේශ යි.

මෙම සත්වයා 2025 වසරේදී මීනගයා දුම්රියේ ගැටුණු අලි රංචුවේ සාමාජිකයෙකු බව නඩු තීන්දුවේ සඳහන් වේ.

දෙවන පෙත්සම්කරුට අධිකරණ පරිශ්‍රයට පැමිණ නඩුවට පෙනී සිටීමට හැකියාවක් නොමැති නිසා එම සත්වයා වෙනුවෙන් සත්වයාගේ ළඟ ම මිතුරා ලෙස පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය නමැති පරිසර සංවිධානය එම නෛතික ක්‍රියාවලිය සඳහා පෙනී සිටියේ ය.

එම සංවිධානය වෙනුවෙන් බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ සුජීව ජාසිංහ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.

"අයිතිවාසිකම් කිව්වා ම මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි සත්තුන්ගේත් අයිතිවාසිකම් තියෙනවා. හියුමන් රයිට්ස් ගැන කතා කරද්දී ලෝකයේ නන්-හියුමන් රයිට්ස් කියලා දේකුත් තියෙනවා නේ. ඒ අයට ඇවිල්ලා පැමිණිලි දාන්න බෑනේ. ඒ නිසා ඒ අයට වෙන අවනඩුව ගැන අපි කලින් මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි ළඟ ම මිතුරා වශයෙන් මේ නඩුව ගොනු කරන්නේ."

එමෙන් ම මීට වසර කිහිපයකට අලි ජාවාරම් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබා දුන් නඩු තීන්දුවකින්, අලින්ට අධිකරණයට පැමිණ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි නිසා ඔවුන් වෙනුවෙන් සංවිධානවලට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඇති අවස්ථාව පිළිගත් බව ඔහු පැවසුවේ ය.

අලියෙකු පෙත්සම්කරුවෙකු බවට පත්වුණේ කොහොම ද?

මෙලෙස අලියෙකු පෙත්සම්කරුවෙකු බවට පත් කිරීම සම්බන්ධයෙන්, එම පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ, ආචාර්ය අසංග ගුණවංසගෙන් බීබීසී සිංහල විමසීමක් සිදු කළේ ය.

2025 වසරේ සිදුවූ දුම්රිය අනතුරෙන් වන අලින් මිය යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය යන පරිසර සංවිධානයෙන් ඇරයුමක් ලැබුණු බව එහිදී ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ය.

මෙම පෙත්සම ගොනු කිරීමට පෙර, වෙනත් රටවල මෙවැනි සිදුවීම් සිදුවූ අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී අනුගමනය කර ඇති පියවර සම්බන්ධයෙන් ද සොයා බැලීමක් කළ බව නීතිඥවරයා කියා සිටියේ ය.

"එහිදී අපි බැලුවා වෙනත් රටවල්වලත් මේ වගේ තත්ත්ව තිබෙනකොට, අපි කොහොම ද මේ වල් අලින්ගේ, එහෙමත් නැතිනම් වන ජීවීන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් වෙනුවෙන් මනුස්සයෙක් හෝ සංවිධානයක් පෙනී සිටීමට අමතරව, නීත්‍යනුකූල පුද්ගලභාවයක් තියෙන සත්තුන් පිළිගන්න පුළුවන් ද කියලා," ඔහු පැවසුවේ ය.

"එහෙම බලනකොට රටවල් ගණනාවක ම මේ සම්බන්ධයෙන් නඩු තීන්දු දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ඉන්දියාවේදී 2014 වසරේදී තීන්දුවක් දුන්නා මුළු වනජීවින් ම නෛතික පුද්ගලභාවයක් තියෙන සත්වයන් වශයෙන් ආරක්ෂා කර ගත යුතු යි කියලා, ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පිළිගැනීමක් කළ යුතු යි කියලා."

ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවංස එවැනි උදාහරණ කිහිපයක් ම විස්තර කළේ ය.

"දකුණු අමෙරිකානු රටවල්වල, විශේෂයෙන් ම ආර්ජන්ටිනාවේ 'සැන්ඩ්‍රා' කියලා ඔරන්උටන් කෙනෙක් සම්බන්ධයෙන් නඩුවක් පැවරුවා ම, ඔරන්උටන්ව අධිකරණය නම් කළා පෙත්සම්කරුවෙක් හැටියට. ඒ වෙලාවේදී අධිකරණයයෙන් පිළිගත්තා ඔවුන්ට වෙන ම පෙනී සිටින්න කවුරුත් නැතිනම් කවුරුහරි පුද්ගලයෙක්ව ඒ වන ජීවීයෙක්ව නඩුවකට පාර්ශවකරුවෙක් හැටියට නම් කළොත් ඔවුන් උසාවියක් ඉදිරියේ පෙනී සිටීමට අයිතියක් ඇති පුද්ගලයෙක් හැටියට පිළිගන්න ඕනේ කියලා. ඉක්වදෝරයේත් එවැනි නඩු තීන්දු වගයක් තිබුණා."

එම නඩු තීන්දු උදාහරණයට ගෙන, ඔහු සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම ඉහත අනතුරෙන් තුවාල ලැබූ අලියා පෙත්සම්කරුවෙකු ලෙස නම් කළ බව නීතිඥවරයා විස්තර කළේ ය.

"ඉතින් අපි ඒවා උදාහරණයට අරගෙන තමයි මේක තීරණය කළේ. අපි මේ නඩුව පවරනකොට එක පෙත්සම්කරුවෙක් විදිහට නම් කළා පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය, ඊට අමතරව අපි හිතුවා තුවාල වූ වන අලියාට නමක් දීලා එලිෆාස් මැක්සිමස් මැක්සිමස් කියලා නම් කරලා ඔහුව මේ නඩුවේ පෙත්සම්කරුවෙක් කරලා බලමු කියලා ශ්‍රී ලංකාවේ අධිකරණය කොහොම ද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියලා."

"ඉතින් අපි බොහොම ආඩම්බරෙන් කියන්න ඕනේ, ගරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන අභියාචනාධිකරණ විනිසුරුතුමන් ඉදිරියේ තමයි මේ නඩුව ආවේ. ඔහු පිළිඅරගෙන තියෙනවා මේ නඩු තීන්දුව දුන්න අවස්ථාවේදී, වල් අලි වැනි වනජීවීන්ට නීත්‍යනුකූල අයිතියක් තියෙන පුද්ගලයන් විදිහට පිළිගත යුතු යි කියලා," ඔහු පැවසුවේ ය.

මෙලෙස වනජීවියෙකුට අධිකරණයේ නෛතික පිළිගැනීමක් ද දෙමින් ලබා දුන් මෙම තීන්දුව අනාගතයේදී තමා වෙනුවෙන් හඬක් නැගීමට අවස්ථාවක් නොමැති සතුන්ට, ශාඛ, ගංගා වැනි ස්වභාවධර්මයේ කොටස්වල ආරක්ෂාව වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාවක් ලබා දෙන බව ඔහු විස්තර කළේ ය.

තීන්දුවේ සඳහන් වූයේ කුමක් ද?

පෙත්සම සම්බන්ධ නඩු තීන්දුවේ සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් ද ජනාධිපති නීතිඥ, ආචාර්ය අසංග ගුණවංස පැහැදිලි කළේ ය.

"වනජීවී සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත තීන්දුවක් ලබා දීලා තියෙනවා. යටිතල පහසුකම් සහ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන මරණ සම්බන්ධයෙන්. "ජාතික රක්ෂිතය" සඳහා ජාතික සැලැස්මක් සහ කළමනාකරණ සැලැස්මක් හදලා ඒක කොහොම ද ක්‍රියාත්මක කරන්නේ කියලා අධිකරණයට දැනුම් දෙන්න කියලා," ඔහු පැවසුවේ ය.

"ඒ වගේ ම තමයි, ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙතත් නියෝගයක් ලබා දීලා තියෙනවා, ඒ රියැදුරන්ට සහ නියාමකවරුන්ට දෙන පුහුණුව සම්බන්ධයෙන්, රේල් පාරවල් හදනවා නම් අලි ගමන් කරන මාර්ගවල, කෝච්චි ධාවනය කරනවා නම් ඒවායේ වේගය සම්බන්ධයෙන් සැලැස්මක් හදලා ඒවා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා."