ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එල්නිනෝව සඳහා ශ්‍රී ලංකාවේ සූදානම කුමක් ද?
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ලොව පුරා කාලගුණ විද්‍යාඥයින් මාස කිහිපයක සිට පුරෝථකනය කළ එල්නිනෝ තත්ත්වයේ වර්ධනය දැන් ආරම්භ වී තිබේ. මෙම කාලගුණ සංසිද්ධිය ඉදිරි මාසවල ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය කාලගුණයට බලපෑම් එල්ල කළ හැකියි. ඊට හේතුව වායුගෝලයේ සුළං රටාව වෙනස් වීම ය.
උණුසුම් සාගර ජලය එල්නිනෝ වර්ධනයට හේතුවේ. එල්නිනෝ සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වය වැඩි කරන අතර වඩාත් ආන්තික කාලගුණික සහ වර්ෂාපතන රටා ඇති කරයි.
ඒ අනුව ඉදිරි මාසවලදී උණුසුම් කාලගුණික තත්ත්වයන්, වර්ෂාපතනය අඩුවීම මෙන් ම ආන්තික කාලගුණ තත්ත්වයන්ගේ බලපෑමට ශ්‍රී ලංකාවට මුහුණු දීමට සිදුවනු ඇතැයි, කාලගුණ විශේෂඥයින් පුරෝකථනය කර තිබේ.
මෙම එල්නිනෝ තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ පසුගිය ජූනි 10 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඊට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පරිසර අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය වැනි රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන් ම ලෝක ආහාර වැඩසටහන, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර අයතනවල නියෝජිතයෝ ද සහභාගි වූහ.
ඔක්තෝබර්-නොවැම්බර්: වර්ෂාපතනයේ සැලකිය යුතු වැඩිවීමක්
එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න එල්නිනෝ තත්ත්වයට සූදානම් වීමේ අවශ්‍යතාව ගැන පැහැදිලි කළ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි එල්නිනෝ තත්ත්වය ගැනත් ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මීට පෙර පැවති ප්‍රබල එල්නිනෝ තත්ත්වයන්වලදී මෙරට පැවති කාලගුණ තත්ත්වයන් පිළිබඳවත් විශ්ලේෂණයක් ඉදිරිපත් කළහ.
එල්නිනෝ තත්ත්වය දිවයිනේ එක් එක් මාසවල විවිධ කාලගුණික තත්ත්වයන් නිර්මාණය කළ හැකි ආකාරය සහ පෙර දත්ත නිරීක්ෂණය කිරීමේදී ජූනි, ජූලි, අගෝස්තු මාසවල දිවයිනේ සමස්ත වර්ෂාපතනයේ යම් අඩුවක් සහ ඔක්තෝබර් සිට නොවැම්බර් කාලයේ වර්ෂාපතනයේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැහැදිලි කළේ ය.
සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේදී ගෝලීය වශයෙන් බොහෝ රටවල් වඩා වැඩි උෂ්ණත්ව අගයන් සහ අඩු වැසි ප්‍රමාණයන් අත්දැක ඇති නමුත් ලංකාවේ ඊට ප්රතිවිරුද්ධව, වැසි වැඩි සහ අඩු උෂ්ණත්වයන් නිරීක්ෂණය වී ඇත.
1972-1973, 1982-1983, 1997-1998, 2015-2016 සහ 2023-2024 වර්ෂවලදී මීට පෙර ප්‍රබල එල්නිනෝ තත්ත්වයන් බලපෑ අතර එය ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය ජල මූලාශ්‍රවලට හා ආහාර නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කළේ ය.
එල්නිනෝ කාලගුණ තත්ත්වය වසර පුරා ම, දිවයිනේ සෑම ප්‍රදේශයකට එක ලෙස බලනොපානු ඇත.
ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දුට අනුව ප්‍රබල එල්නිනෝ තත්ත්වයන්ගේ සාමාන්‍ය ලක්ෂණ අනුව විවිධ මාසවලදී දිවයිනේ කාලගුණය කෙරෙහි විවිධ අයුරින් බලපෑම් කරන බව දැකිය හැකිය.
ඒ අනුව මැයි මාසයේ වැසිවල තරමක වර්ධනය වීමක්, ජුනි, ජූලි, අගෝස්තු මාසවල වැසි අඩුවීමක්, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් නැවත වැසි වැඩි වීමක් සහ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වැසි අඩු වීමක් ලෙස පැවතී ඇති බව දත්ත විශ්ලේෂණයේදී නිරීක්ෂණය වී තිබේ.
යල කන්නය මාස එක හමාරකට පෙර ආරම්භ කිරීමට පියවර
මේ අතර, එල්-නිනෝ තත්ත්වය මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇති කරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් පසුගිය 11 වන දා පැවති සාකච්ඡාවකදී අවධානය යොමුවිය.
මේ යටතේ දැනට පවතින ජලාශවල ජල ධාරිතා, කෘෂිකර්මාන්තය, පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්රයේ ඇති විය හැකි තෙරපුම කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර ආදී කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් කර තිබේ.
මෙවර එල්-නිනෝ තත්ත්වය වඩාත් සමීප විය හැක්කේ 2016 – 2017 වර්ෂවල ඇති වූ තත්ත්වයට බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු විශේෂයෙන් ම ජල කළමනාකරණ සැලසුම ඒ අනුව සකසා ඇති බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. මේ යටතේ 2026 වසරේ යල කන්නය මාස එක හමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද නිලධාරීන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත.
ඇති විය හැකි තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති අතර විදුලි නිෂ්පාදනය මෙන් ම ඉදිරි යල කන්නය ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එල් නිනෝවකින් සිදුවන්නේ කුමක් ද?
එල් නිනෝ යනු, පැසිෆික් සාගර කලාපය පුරා වර්ධනය වන එල් නිනෝ-දක්ෂිණ දෝලනය (ENSO) ලෙස හඳුන්වන වායුගෝලීය-සාගර සංසිද්ධියේ එක් අවධියකි.
නිවර්තන පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි වන විට, සුපුරුදු වායුගෝලීය සුළං රටා කෙරෙහි බලපෑම් කරන විට සහ එය වෙනස් කරන විට මෙම තත්ත්වය ඇතිවේ.
එල් නිනෝ සිදුවීම් ආසන්න වශයෙන් සෑම වසර 2 සිට 7 දක්වා කාලය තුළ සිදුවිය හැක.
පැසිෆික් සාගර කලාපයේ එල්නීනියෝ තත්ත්වය නිර්මාණය වී ඇති අතර 2026 අග තෙක් තවදුරටත් වර්ධනය වෙමින් 2027 මුල් කාර්තුව තෙක් පැවතිය හැකි බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා එජන්සි අනාවැකි පළ කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද කාලගුණ දත්ත අනුව නොවැම්බර්-දෙසැම්බර් කාලයේදී මෙම තත්ත්වය ඉතා ප්‍රබල එල්නීනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් ඇත.
එල්නිනෝ තත්ත්වය සමග වායුගෝලයේ සුළං රටාව වෙනස් වන අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාවේ වර්ෂාපතනය අඩුවීමක් පුරෝකථනය කර තිබේ.
එමෙන් ම උතුරු ඇමෙරිකාව සහ දකුණූ ඇමෙරිකාවේ වර්ෂාපතනය වැඩිවීමක් අපේක්ෂා කරයි.
මෙමගින් ගෝලීය උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන්ට බලපෑම් කිරීමට නියමිත අතර ඉදිරි මාස කිහිපය තුළ ආන්තික කාලගුණික අවදානම වැඩිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ කාලගුණයට කරන බලපෑම කුමක් ද?
මේ වනවිට දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීයව පවතියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව,වයඹ පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්වල විටින් විටි තද වැසි හා දිවයින හරහා තද සුළං තත්ත්වයක් පවතියි.
නිරිත දිග මෝසමෙන් මෙරට වාර්ෂික වර්ෂාපනයෙන් 30%ක් ලැබෙන අතර, ඊසාන දිග මෝසමෙන් 26%ක වර්ෂාපතනයක් ලැබෙන අතර පළමු අන්තර් මොසමෙන් 24%ක වර්ෂාපතනයක් සහ දෙවැනි අන්තර් මෝසමෙන් 30% වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙයි.
එල්නිනෝ තත්ත්වය නිසා, නිරිත දිග මෝසමෙන් වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපනය ඉදිරියේදී අඩුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවේදී විශේෂඥයෝ සඳහන් කළහ.
ජලපෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව අඩුවීමෙන් වැඩි ම බලපෑමක් එල්ල වන්නේ, මධ්‍යම කඳුකරය ආශ්රිත ජලවිදුලි බලගාරවලට ය.
කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැහැදිලි කළේ, එල්නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම නිසා නිරිත දිග මෝසමේ වර්ෂාව අඩුවීමක්, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල අපේක්ෂා කරන බවයි.
ජූලි, අගෝස්තු මාසවල උණුසුම වැඩිවීමේ හැකියාවක් ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි මාස 3-4 සඳහා ජල කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
ඒ අනුව කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ් පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.
ශ්‍රී ලංකාව මෙම එල්නිනෝ කාලගුණ තත්ත්වයට මුහුණ දෙන්නේ, ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ තරම් විනාශයක් සිදුකළ දිට්වා සුළි කුණාටුවෙන් වසරක් ගතවීමටත් පෙර ය.
දිට්වා සුළි කුණාටුවෙන් සහ නිරිත දිග මෝසමෙන් ලැබෙන වර්ෂාව නිසා, මේවන විට දිවයිනේ ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව 65% ක් පමණ වන බව සාකච්ඡාවේදී අනාවරණය විය.
ජල සම්පාදන බලධාරීන් කියා සිටියේ මේවන විට ජලය සැපයීමට බාධාවක් නොවන බවයි.
එහෙත් ජලාශවලට අමතරව, නව භූගත ජල මූලාශ්‍ර වලින් ජලය ලබා ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, ජලය බෙදා හැරීම සඳහා ඇති ජල බවුසර් පහසුකම් පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානයට ලක්විය.
මෙම සාකච්ඡාව ආරම්භයේදී ම අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී ධර්මතිලක කියා සිටියේ "එල් නිනෝ එක ආවෝත් ජල මූලාශ්‍ර සිඳී යාම දැඩිව ම බලපාන ප්රශ්නය බවට පත්වෙයි කියලා මගේ විශ්වාසය. මේ කියන දේ සිද්ධ වුණොත් අපිට ජලය ලබා ගන්න මූලාශ්‍ර නැතිව යාවි, ඒක නිසා ජල මූලාශ්‍ර මොනවද කියලා අපිට හිතන්න වේවි. මම හිතන්නේ සාගර ජලය පිරිසිදු කරලා බෙදන තත්ත්වයක් වගේ තත්ත්වයක් අපිට හිතන්න වෙයි. ඒ සඳහා පෙර සූදානම් වීමට සැලසුම් කරන්න වෙයි මේ කතාව සත්‍යක් වේ නම්." යැයි ඔහු කියා සිටියේය.
"දිට්වා එක හරියට හඳුන ගන්න බැරිවුණා අපිට. ඒකට හරියට මුහුණ දෙන්නත් බැරිවුණා කියන එක තමා මගේ පෞද්ගලික විශ්වාසය. තාමත් මිනිස්සු නැවත පදිංචි කිරීමේ උත්සහයක ඉන්නවා. නමුත් තාමත් ජනතාව ඒ පීඩාවෙන් මුදා ගන්න අපි කාටත් බැරි වුණා මේ කියන නිලධාරී යාන්ත්‍රණය තුළ. අපි සියලු පාර්ශවකරුවන්, ප්‍රතිපාදන සහ උපදෙස් ලබා දීලා තියෙනවා. නමුත් මම සෑහීමකට පත්වන්නේ නැහැ එහි ප්‍රගතිය පිළිබඳව පෞද්ගලිකව... මේකෙදි ජල මූලාශ්‍ර සිඳී යන්න පුළුවන්. මට දැනෙන හැටියට ජලය සපයන්න වෙනවා; තියෙන බවුසර් මදි," ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඉදිරි සාකච්ඡා සඳහා ජල සම්පත් මණඩලය වැනි ආයතන මේ සඳහා සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අනාවරණය කෙරිණි.
ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් ද?
එල්නිනෝ තත්ත්වය වසරක් හෝ මාස 18ක් වැනි කාලයක් පුරා පැවතිය හැකිය. දැනට ජලාශවල පවතින ජල මට්ටම හා මෝසම් වර්ෂාව හේතුවෙන් මේ වසරේ වී වගාවට බාධාවක් නොවනු ඇතැයි, සාකච්ඡාවේදී අනාවරණය විය.
එහෙත්, ලබන ඔක්තෝබර්-නොවැම්බර් මාසවල තද වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් වැසි තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි දේශීය බිත්තර වී භාවිත කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.
එමෙන් ම, ජනවාරි, පෙබරවාරි මාස මෙන් ම ලබන වසරේ පළමු අන්තර් මොසම් වර්ෂාව නොලැබුණහොත් එම කන්නයේ වී වගාව සඳහා ජලය ලබා ගැනීමට මතුවිය හැකි තත්ත්වයන් ගැන ද මෙහිදී අවධානය යොමුවිය.
එල්නිනෝ කාලගුණ තත්ත්වය නිසා ධීවර කර්මාන්තයට ද බලපෑම් එල්ල විය හැකි අතර සුළං රටාව වෙනස් වීමත් සමග මසුන් සිටින ස්ථාන වෙනස් විය හැකිය.
එබැවින් තමන් නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙස නාරා ආයතනය ධීවර ප්‍රජාවට දැනුම් දී සිටියේ ය.
ඉන්දීය සාධකය
එල්නිනෝ කාලගුණ තත්ත්වය නිසා ඉන්දියාවට වියළි කාලගුණ තත්ත්වයක් ඇති වනු ඇති බවට මේ වන විට පුරෝකථනය කර තිබේ.
ශ්‍රී ලංකාව බොහෝ ආහාර ද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ, ඉන්දියාවෙනි. යම් ලෙසකින් නියඟයකින් ඉන්දියාවට බලපැම් එල්ල වුවහොත්, ඔවුන් ආහාර ද්‍රව්‍ය අපනයන කිරීම සීමා කිරීමට ඉඩ ඇති බව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ තවත් කරුණකි.
සෞඛ්‍යමය ගැටලු
උණුසුම ඉහළ යාමත් සමග විවිධ සෞඛ්‍ය ගැටලු ද ඇති විය හැකිය. එය වස්ගත ප්‍රජාවට මෙන්ම එළිමහනේ වැඩ කරන ජනාතවට බලපෑම් එල්ල කළ හැකිය.
ඒ අනුව, සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් උණුසුම් කාලගුණ තත්ත්වය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වනු ඇත.