සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවූ දේ

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්. 25) ප්‍රතික්ෂේප කළේ ය.

පෙත්සමේ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම්කරු ම එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීම හේතුවෙන්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලිගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ ය.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් සුදර්ශන ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේ ය.

"ස්වාමීනි, මා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරනවා. මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට කිසිදු නීත්‍යනුකූල බලයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබා දී ඇති නඩු තීන්දු අනුව, වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට හැකියාවක් නැහැ."

ඔහු තවදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එහි මූලික කරුණු සලකා බැලීමෙන් පසු එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය කල් තබා ඇති බවත් ය.

"එවැනි තත්ත්වයක් තුළ මෙම පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ කෙසේ ද? ඊට අමතරව, පෙත්සම්කරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින නීතිමය තත්ත්වයක් ද අභියෝගයට ලක් කර තිබෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි තත්ත්වයක්. එවැනි කරුණක් සලකා බැලිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණ යි," යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

විනිසුරු මඩුල්ලේ ප්‍රශ්න කිරීම්

මෙහිදී පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, "මේ තුළින් ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේ ද?" යනුවෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා කියා සිටියේ, "ස්වාමීනි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතියට පටහැනි ආකාරයට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිනවා. එම ක්‍රියාව තුළින් පුරවැසියෙකු ලෙස මගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා," යනුවෙනි.

එහිදී පෙත්සම්කරුට කරුණු පැහැදිලි කළ විනිසුරු අචල වෙංගප්පුලි මෙසේ විමසීය.

"වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඔබ පෙත්සමක් ඉදිරිපත් කරන්නේ කෙසේ ද? සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔබ ප්‍රකාශ කළත්, සුරේෂ් සලේ ම මේ අධිකරණය හමුවට පැමිණ නැහැ. ඔහු අභියාචනාධිකරණයට ගොස් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අභියාචනාධිකරණයේ එවැනි පෙත්සමක් විභාග වන අවස්ථාවක, මේ අධිකරණය ඔබගේ පෙත්සමට මැදිහත් වන්නේ කෙසේ ද? මේ අවස්ථාවේ ඔබව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතිනවා ද?"

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු, "නැහැ ස්වාමීනි. මේ අවස්ථාවේ එවැනි අවදානමක් නැහැ. මහජන ශුභසාධන නඩුකරයක් ලෙස යි මම මේ පෙත්සම ගොනු කර තිබෙන්නේ," යනුවෙන් සඳහන් කළේ ය.

ඒ අනුව ප්‍රතිචාර දැක්වූ විනිසුරු අචල වෙංගප්පුලි, "අපගේ නීතිය අනුව මහජන ශුභසාධන නඩුකර පිළිගැනීමට හැකියාව ඇත්තේ ඉතා සීමිත අවස්ථාවලදී පමණ යි. එම සංකල්පය සෑම සිද්ධියකට ම ආදේශ කළ නොහැකි යි. ඔබව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ඔබට අධිකරණයේ පිහිට පැතිය හැකි යි. නමුත් වෙනත් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට නඩු පවරන්න බැහැ," යනුවෙන් පැවසීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මතු කළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දුන් පෙත්සම්කරු, "යුද්ධය පැවති සමයේ සිදුවූ බිම් බෝම්බ පිපිරීමකින් මම ආබාධිත තත්ත්වයට පත්වුණා. මට විශ්‍රාම වැටුපක් ලැබෙනවා," යනුවෙන් සඳහන් කළේ ය.

ඉන් අනතුරුව පෙත්සම්කරු අමතමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙසේ කියා සිටියේ ය.

"ඔබ යුද සමයේ රට වෙනුවෙන් දායකත්වයක් ලබා දී තිබෙනවා. ඔබ රටට ඔබේ යුතුකම් ඉටු කර තිබෙනවා. අපි එය අගය කරනවා. අධිකරණයට එන්න එපා කියලා අපි ඔබට කියන්නේ නැහැ. නමුත් නීතිමය තත්ත්වය නිවැරදිව වටහා ගැනීම වැදගත්. ඔබ නීතිඥවරයෙකු නොවන නිසා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔබට නීතිමය අයිතියක් නැහැ. මේ ආකාරයෙන් කටයුතු කළහොත් ඔබට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි යි."

මෙම කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලෙස ය.

ඒ අනුව, අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරු මඩුල්ල, පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කරන ලෙස නියෝග කළේ ය.