ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරේෂ් සලේගේ පෙත්සමට දැමූ අතරමැදි පෙත්සම් ගැන අධිකරණය දුන් නියෝගය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම්වලට නීතිපතිවරයා අද (අගෝ: 10) අභියාචනාධිකරණය හමුවේ විරෝධය පළ කළේ ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මෙම දැනුම්දීම සිදු කළා ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදුවේ.
'ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම සුදුසු නෑ'
එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන විසින් මෙලෙස කරුණු දක්වන ලදී.
"ස්වාමීනි....එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ කිසිදු පුද්ගලයෙකු ආගමික හෝ ජාතික පදනම යටතේ වෙනස්කම්වලට භාජනය නොකළ යුතු බව දක්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබෙනවා, ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න එම තනතුරුවලට පත්කරන ලෙස ඉල්ලා සිටියේ, කාදිනල් තුමා බවට. ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම සුදුසු නෑ. ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අය බව ඔවුන් විසින් ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම්වල සඳහන් කර තිබෙනවා. ඔවුන් එම දිවුරුම් පෙත්සම්වල සඳහන් කර තිබෙනවා, තමන් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයට සම්බන්ධව කටයුතු කළ බවට. මෙවැනි පුද්ගලයින් මේ විමර්ශනය සිදු කරන්නේ කොහොම ද? ජනක් ද සිල්වා කොමිසම නිර්දේශ කර තිබෙනවා, අපරාධ විමර්ශන කටයුතුවලට දේශපාලන මැදිහත් වීම් සිදුකිරීම නුසුදුසු බවට. අධිකරණයේ ස්වාධීනත්වය මෙන් ම නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට බලපෑම් සිදු නොවීය යුතු බවත් එම කොමිසම සඳහන් කර තිබුණා. එය නිවැරදි යි. අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවුණා. දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවේදී මහා නායක හිමිවරු රජයෙන් ඉල්ලා සිටියේ නෑ, තමන් කැමති විමර්ශකයන් එම විමර්ශනය සඳහා පත් කරන ලෙසට. මම කාදිනල්තුමාගේ අතරමැදි පෙත්සමට විරෝධය පළකරන්නේ නෑ," යනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ ය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල වීමට පෙර ඒ පිළිබඳව කලින් ම තොරතුරු ලැබී තිබුණා. ඒත් එය වළක්වා ගැනීමට වගඋත්තරකරුවන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නෑ.. මාවනැල්ල බුදුපිළිමවලට ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගන්නා ලෙස විමර්ශකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් ඉල්ලා තිබුණා. නමුත් ඊට අවශ්‍ය පියවර ගත්තේ නැහැ," යැයි ඔහු සඳහන් කළේ ය.
'ඕනෑ ම පුද්ගලයෙකුට අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ හැකි යි'
ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවෙකු වන පූජ්‍ය තීනියාවල පාලිත හිමි වෙනුවෙන් පෙනීසිටි නීතිඥ භූපති කහතුඩුව, අධිකරණය හමුවේ කරුණු දක්වමින් "පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතා අත් අඩංගුවට ගැනීම නීතියට පටහැනි යි. එය අභියෝගයට ලක් කරමින් ඕනෑ ම පුද්ගලයෙකුට අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ හැකි යි. ඒ අනුව යි, තම සේවාදායක හිමියන් මේ අතරමැදි පෙත්සම ඉදිරිපත් කළේ. ආරක්ෂක හමුදා සාමාජිකයින් මේ ආකාරයට අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අනුමත කරන්න බැහැ," යනුවෙන් සඳහන් කර සිටියේ ය.
තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමි වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අශෝක් බරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ඕනෑ ම පුද්ගලයෙකු නිසි අධිකරණයක් මගින් වරදකරු කරන තුරු ඔහු නිවැරදිකරුවෙකු ලෙස නීතිය ඉදිරියේ උපකල්පනය කෙරෙනවා. පුරවැසියන් සතු එම අයිතිය ආරක්ෂා කිරීම සඳහා යි මගේ සේවාදායක හිමියන් අධිකරණයට පැමිණියේ. චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය වූ වීඩියෝවක අසාද් මවුලානා නමැත්තෙකු සිදුකළ ප්‍රකාශයක් මුල්කරගෙන මේ විමර්ශනය ආරම්භ වී තිබෙනවා. අත්අඩංගුවේ පසු වන සුරේෂ් සලේ මහතාට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ," යනුවෙන් ඔහු කියා සිටියේ ය.
'අතරමැදි පෙත්සම් සලකා බැලීම සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා'
ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස කියා සිටියා ය.
" ස්වාමීනී... මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීම සම්බන්ධයෙන් මා විරුද්ධ වෙනවා. මෙම අතරමැදි පෙත්සම් මේ අවස්ථාවේදී සලකා බැලීමට හැකියාවක් නැහැ. මෙම පෙත්සම යම් හෙයකින් විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කළොත් පමණ යි, මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව ලැබෙන්නේ. මේ අතරමැදි පෙත්සම්කරුවන් අධිකරණයට පැමිණ තිබෙන ආකාරය සම්බන්ධයෙනුත් ගැටලුවක් තිබෙනවා. කාදිනල්තුමා හැර අනෙක් අතරමැදි පෙත්සම්කරුවන් සියලු දෙනා ම පැමිණ තිබෙන්නේ සුරේෂ් සලේ මහතාට සහය පළ කිරීම සඳහා. පෙත්සම්කාර සුරේෂ් සලේ ඉල්ලා සිටින සහනය ප්රදානය කරන ලෙස ඔවුන් තමන්ගේ අතරමැදි පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා. එවැනි ඉල්ලීමක් සලකා බැලීමට හැකියාවක් නැහැ. පෙත්සම්කාර සුරේෂ් සලේගේ පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙනුවෙන් මා මේ වන විටත් මූලික විරෝධතා මතු කර තිබෙනවා. යම් හෙයකින් එම මූලික විරෝධතා පිළිගෙන එම පෙත්සම අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ඇතැයි අප උපකල්පනය කළහොත් මෙම අතරමැදි පෙත්සම්වලින් ඇති ප්‍රයෝජනය කුමක් ද?" යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් සිය නීතිමය ස්ථාවරය මීළඟ දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළා ය.
ඒ අනුව, මෙම අතරමැදි පෙත්සම් ලබන 25 වන දා කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය එදින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්නේ ය.
ඒ අනුව සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම සහ ඊට අදාළව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල නැවත සලකා බැලීම සඳහා ලබන 25 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.