ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාර නඩු තීන්දුව: විත්තිකරුවන් සහ සභාපති විනිසුරු අධිකරණයේදී කළ ප්‍රකාශ මොනවා ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 12
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට වසර 260 දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් සැප්තැම්බර් 22 වන දා තීන්දු කළේ ය.
පුරා වසර 6කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
ඒ අනුව, පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 200 සිට 260 දක්වා වූ සිර දඬුවම් නියම කෙරිණි.
නියම වූ සිර දඬුවම්
මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්(අබු මිසාන්), හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා), කච්චි මොහොමඩ් ජෙස්මින් යන වරදකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 200ක සිර දඬුවම් නියම කෙරිණි.
ඊට අමතරව මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබූ ෆුර්කාන්), මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්), රසික් රාසා හුසේන් යන වරදකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 220 බැගින් වූ සිර දඬුවම් නියම කරනු ලැබිණි.
වසර 240 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වුණේ මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්) හෙවත් ගෆූර් මාමා, හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා) යන විත්තිකරුවන්ට යි.
ඊට අමතරව, අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස් යන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 260ක සිර දඬුවම් නියම කෙරිණි.
මෙසේ වරදකරුවන් කොට සිර දඬුවම් නියම වූ විත්තිකරුවන්ගේ සියලු නිශ්චල සහ චංචල දේපළ තීන්දුව ප්‍රකාශයට පත්කළ දින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ කිංග්ස්බරි, ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වල සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් නවාතැන් පොළේ සිදු කෙරුණු බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් මරණයට පත් කිරීම, තුවාල සිදුකිරීම, දේපළවලට බරපතළ හානි සිදු කිරීම ඇතුළු චෝදනාවලට මෙම විත්තිකරුවෝ වරදකරුවෝ වූහ.
අදාළ සිද්ධි සම්බන්ධයෙන් ඉහත විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ලි පාර්ශවය එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීමෙන් අනතුරුව මෙම දඬුවම් නියම කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළේ ය.
9 දෙනෙක් නිදොස් කොට නිදහස්
මේ අතර, මෙම නඩු විභාගයේදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය තීන්දු කළේ ය.
මෙසේ නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් වන්නේ මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබු මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), අමීන් අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර්දීන් හිල්මි සහ මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අයයි.
මෙම විත්තිකරුවන් 9 දෙනාට එරෙහිව ඉදිරිපත් වී ඇති සාක්ෂිවලින් ඔවුන් වරදකරුවන් කිරීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ අනුව ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව නිවේදනය කළේ ය.
මෙම නඩුවේ 17 වන විත්තිකරු වශයෙන් නම්කර සිටි යාසින් බාවා අබ්දුල් රවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර බන්ධනාගාරයේදී මිය ගොස් තිබිණි.
අධිකරණයේදී මොක ද වුණේ?
පුරා වසර 6කට ආසන්න කාලයක් විභාග වූ මෙම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 547 දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනුණු අතර ඊට අමතරව විත්තිකරුවන්ගේ ද විත්ති වාචක සටහන් කර ගනු ලැබී ය.
ඒ අනුව, ඉකුත්දා අදාළ නඩුවේ විභාගය අවසන් කෙරුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සැප්තැම්බර් මස 22 වන දා පෙරවරුවේ සිදු කරන බවට නිවේදනය කර තිබිණි.
මෙම තීන්දුව එදින පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එය විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ, දහවල් 12.30ට පමණ ය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රකාශ කළේ, නඩු තීන්දුවේ පිටපත් ලබා ගැනීමට යාමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා මෙම ප්‍රමාදය ඇතිවූ බව ය.
ඇති වූ ප්‍රමාදය සම්බන්ධයෙන් අධිකරණය සිය කනගාටුව පළකරන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.
ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා මෙසේ පැවසීය.
"කිතුනුවන්ගේ උතුම් දිනයක් වූ ජේසුස් වහන්සේ උත්ථානය වූ පාස්කු ඉරු දින කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුවේ සියොන් දේවස්ථානය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා. ඉන් පසුව ශැංග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කරගෙන ද ප්‍රහාර එල්ල වුණා. එදින දහවල් දෙහිවල පිහිටි ට්‍රොපිකල් ඉන් නමැති නවාතැන් පොළක මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුවුණා. මේ ප්‍රහාරවලින් පුද්ගලයින් 267 දෙනෙකු මිය ගොස් තවත් 574 දෙනෙකු තුවාල ලැබුවා. මේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්දන කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායම් විමර්ශනය කර උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළා. පසුව නීතිපතිවරයා මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළා. ඉන් අනතුරුව මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම නඩුකරය ජූරි සභාවක් නොමැති පුද්ගල මහාධිකරණ විනිසුන් මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කළ ඉල්ලීමකට අනුව මෙම නඩුකරය සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කෙරුණා."
වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සභාපති විනිසුරුවරයා, "පාස්කු ඉරු දින සිදුකෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීම ඇතුළු චෝදනා මොවුන්ට එරෙහිව එල්ල කර තිබුණා. විශේෂයෙන් ම ආගමික එදිරිවාදිකම් ඇතිකොට අන්තවාදී මත ප්‍රචාරය කර බෝම්බ පුපුරුවා හැරීමට ආධාර අනුබල දීම, ආගමික එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම ඇතුළු චෝදනා යටතේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ මොවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබුණා. මෙම නඩු විභාගයේදී තුවාලකරුවන් සහ මරණකරුවන්ගේ ඥාතීන් විසින් විවෘත අධිකරණයේදී සාක්ෂි ලබා දුන්නා. ඊට අමතරව සංචාරක හෝටල්වල සේවකයින් ද සාක්ෂි ලබා දුන්නා. ඔවුන් අතර ඇසින් දුටු සාක්ෂිකරුවන් ද සිටියා. විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්දන කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද සාක්ෂි ලබා දුන්නා. ඊට අමතරව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයින්, වෛද්‍යවරුන්, වෝහාරික දත්ත විශ්ලේෂකයින්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම නඩුවේදී සාක්ෂි ලබා දුන්නා. මෙම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්ට අධිකරණයට පැමිණීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන ඇතැම් වින්දිතයින්ගේ සාක්ෂි කටුවපිටිය ප්‍රජා ශාලාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ සටහන් කර ගැනීම සිදුවුණා," යනුවෙන් සඳහන් කළේ ය.
ඉන් අනතුරුව මෙම නඩුකරයේදී ඉදිරිපත් වූ සාක්ෂි පිළිබඳව සිය විශ්ලේෂණය ඉදිරිපත් කළ විනිසුරුවරයා, "මෙම නඩුවේදී පැමිණිල්ල විසින් අන්තවාදී ආගමික දේශන සිදුකළ වැඩමුළු සහ විත්තිකරුවන් රැඳී සිටි ආරක්ෂක නිවාස පිළිබඳ සාක්ෂි විශාල සංඛ්‍යාවක් අධිකරණයට ඉදිරිපත් කළා. සිය නම එළිදරව් කිරීමට අකමැති සාක්ෂිකරුවෙකු සාක්ෂි දෙමින් නුවරඑළිය ප්‍රදේශයේ පැවති වැඩමුළුවකදී සිදුවූ කරුණු අධිකරණය හමුවේ විස්තර කළා. එම වැඩමුළුවේදී සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින් ප්‍රහාර එල්ල කරන පිරිස් හා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන පිරිස් යනුවෙන් දෙකොටසක් වෙන්කළ බව පැවසුවා. සාධික් අබ්දුල්ලා නමැත්තා සිය දේශනය ඉදිරිපත් කරමින් ජාතීන් අතර සංහිඳියාවක් නැහැ. මේක මුස්ලිම් රටක් නොවන නිසා එය මුස්ලිම් රටක් බවට පරිවර්තනය කළ යුතු යි යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බව එම සාක්ෂිකරු පැවසුවා. ඊට අමතරව ඉස්ලාම් දහමේ ඇතුළත් වන ජිහාද් නමැති සංකල්පය විත්තිකාර දේශකයින් විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඊට යුදමය මුහුණුවරක් ලබාදීමට කටයුතු කළා. ඔවුන් අන්‍ය ආගමිකයින් සහ අන්‍ය ජාතිකයින් යටපත් කළ යුතු බවටත් ඔවුන්ට එරෙහිව එදිරිවාදී කම් හා හිංසනය උත්සන්න වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කර තිබුණා," මේ තුළින් වරදකරුවන් කළ විත්තිකරුවන් ආගම් අතර එදිරිවාදිකම් ඇති වන ආකාරයෙන් කටයුතු කර තිබෙන ආකාරය මනාව පැහැදිලි වන බවත් විනිසුරුවරයා කියා සිටියේ ය..
වැඩිදුරටත් කරුණු දැක්වූ විනිසුරුවරයා, "මෙම නඩුවේ වරදකරුවන් කෙරුණු නවුෆර්, ගෆූර් මාමා, රිස්කාන්, සනස්දීන්, සාදික් හුසේන් ඇතුළු වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් පාස්කු ඉරිදා ස්වයං ඝාතක ප්‍රහාර එල්ල කළ සාහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක බෝම්බකරුවන් සමග කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වී තිබෙන බව සාක්ෂිවලින් පෙනී යනවා. මිල්හාන්, සනස්දීන්, පිල් දවුස් සහ හුසේන් යන වරදකරුවන් පාස්කු ප්‍රහාරයට පෙර නැගෙනහිර පළාතේ අත්හදා බැලීමේ පිපිරවීම් කීපයක් සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. විශේෂයෙන් ම යතුරු පැදියක් පුපුරුවා හැර ඔවුන් පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර අත්හදා බැලීමක් සිදුකර තිබුණා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ මිල්හාන් නමැත්තා වෙනත් පුද්ගලයකුගේ නමකින් කොළඹ ජාතික රෝහලට රැගෙන ඇවිත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා. මෙම පිපිරීම සිදුවූ ස්ථානයට යාබදව තමයි මඩ කලපුව රජයේ රෝහල පිහිටා තිබුණේ. එහෙත් එම පුද්ගලයාව ඊට ඇතුළත් නොකොට කිලෝමීටර් 300කට වැඩි දුරක් ගෙවාගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව සාක්ෂි වලින් අනාවරණය වුණා. වෛද්‍යවරුන් කළ විමසීමකදී අදාළ පුද්ගලයාව රෝහලට ඇතුළත් කළ මෙම විත්තිකරුවන් සමහරක් වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර තිබුණේ ගෑස් ටැංකියක් පිපිරීමෙන් මොහු තුවාල ලැබූ බව. මොහු රන් භාණ්ඩ කර්මාන්තයේ නිරත වූ අයෙකු බවත් ගෑස්ටැංකියක් පිපිරීමෙන් මෙම තුවාල සිදුවූ බවත් වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර තිබුණා. පසුව වෛද්‍යවරු මේ පිළිබඳව රෝහල් පොලිස් මුර පොළට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී තුවාලකරු රැගෙන ගිය විත්තිකරුවන් ප්‍රකාශ කර තිබුණේ මේ පිළිබඳ විමර්ශනයක් අවශ්‍ය නොවන බව යි. ඉන් අනතුරුව මේ තුවාලකරුට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාදී තිබූ බවත් සාක්ෂිවලින් අනාවරණය වුණා. මෙම පිපිරීමෙන් තුවාල ලැබූ මිල්හාන් නැමැති විත්තිකරු වෙනත් නමකින් රෝහලට ඇතුළත් කිරීම බරපතල වරදක්. මූර්තික් නමැත සාක්ෂිකරුගේ සාක්ෂියෙන් අනාවරණය වුණා සාදික් අබ්දුල්ලා නමැති විත්තිකරු තුර්කියට ගොස් ඒ හරහා සිරියාවට ගොස් තිබෙනවා. සිරියාවේදී ඔහු අවි පුහුණුවක් ලබා තිබෙන බවත් නඩු විභාගයේදී අනාවරණය වුණා" යනුවෙන් විනිසුරුවරයා පැවසීය.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීම
"වරදකරුවන් කෙරෙන විත්තිකරුවන් ස්වයං ඝාතක බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන්, හස්තූන්, ඉන්සාෆ් මුබාරක් යන පුද්ගලයින් සමග රහසිගතව කටයුතු කර තිබෙන බව සාක්ෂිවලින් අනාවරණය වුණා. මෙම විත්තිකරුවන් පුපුරන ද්‍රව්‍ය සැඟවීමට ක්‍රියාකර තිබෙනවා. පානදුර, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට, සයින්දමර්දු යනාදී ප්‍රදේශවල ආරක්ෂක නිවස්න පවත්වාගෙන ගොස් තිබුණා. ඒවායේ තිබී විශාල ප්‍රමාණයෙන් පුපුරණ ද්‍රව්‍ය නයිට්‍රික් අම්ල, යූරියා වැනි ද්‍රව්‍ය ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබුවා. මෙසේ ලබාගෙන තිබූ ආරක්ෂක නිවස්නවලින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර ම ඒවා ලබාගෙන තිබූ විත්තිකරුවන් ඒවායේ අයිතිකරුවන්ට නොදන්වා ම ඉන් ඉවත්ව පලා ගොස් තිබුණා. මිල්හාන්, සනස්දීන්, පිල්දවුස් සනස්දීන් යන විත්තිකරුවන් විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය රැස්කිරීම, ඒවා පිළිබඳ අත්හදා බැලීම් සිදුකිරීම යනාදී කටයුතුවල නිරත වී තිබෙන බවටත් සාක්ෂිවලින් අනාවරණය වුණා," යනුවෙන් පැවසීය.
වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ සභාපති විනිසුරුවරයා, "මෙම විමර්ශනයවලදී විමර්ශන නිලධාරීන් විසින් සයින්දමරුදු ප්‍රදේශයේදී සැනෙලි ධාවකයක් (Pen drive) සොයාගෙන තිබුණා. එම සැනෙලි ධාවකය තුළ සහරාන් හෂීම්ගේ ඡායාරූප සහ සහරාන් හෂිම් විසින් පාස්කු ප්‍රහාරයට පෙර ගල්කිස්ස "ස්පෑන් ටවර්" ගොඩනැගිල්ලේ කිසියම් ස්ථානයක සිය අනුගාමිකයින් අමතා සිදුකළ අවසන් දේශනයට අදාළ වීඩියෝ දර්ශනත් ඇතුළත්ව තිබුණා. විශේෂඥ සාක්ෂිවලින් අනාවරණය වෙලා තිබෙනවා, ඔහු එම දේශනය සිදුකර තිබෙන්නේ පාස්කු ඉරු දිනට පෙර දින එනම් 2019 වසරේ අප්‍රේල් මස 20 වෙනි දා දහවල් 1.30ත් 3.00ත් අතර බවට. එම වීඩියෝ පටයේ පෙනී සිටින පුද්ගලයින් ගිනි අවි තබාගෙන සිටිනවා. ඊට අමතරව පිහිත් තබාගෙන සිටිනවා. ඔවුන් ඉස්ලාමීය චාරිත්‍රානුකූල ඇඳුමින් තමයි සැරසී සිටියේ. අදාළ වීඩියෝ පටය නිරීක්ෂණය කිරීමේදී මනාව පැහැදිලි වෙනවා සහරාන් හෂීම් සිය දේශනය ඉදිරිපත් කරන්නේ අයි.එස්. සංවිධානයේ ධජය ඉදිරිපිට සිට ගෙනයි. සහරාන්ගේ පිටුපසින් එම ධජය මනාව දකින්නට ලැබෙනවා. ඔහු සිය දේශනයෙන් ප්‍රකාශ කර තිබෙනවා, නවසීලන්තයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් තමන් ද ප්‍රහාරයක් දියත් කළ යුතු බව. ඔහු එහි කුරුස යුද්ධය ගැන කතා කරනවා. අවසාන යුද්ධය ගැන කතා කරනවා. අන්‍යාගමික සහජීවනය විනාශ වන ආකාරයේ අදහස් තමයි, ඔහු පළ කර තිබෙන්නේ. එම දේශනය අවසානයේදී එවක අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායක "අල් බග්දාදී" ප්‍රතිඥාවකුත් ලබා දෙනවා. එම ප්‍රතිඥාව "බයියත් හෝ බයාත්" ලෙස හඳුන්වනවා. එම කණ්ඩායම ආගමික සහජීවනය වෙනුවෙන් කටයුතු කරන අය නෙවෙයි. එසේ කරනවා නම් T56 වර්ගයේ ගිනි අවි, පිහි ආදිය ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ කුමටක ද? සහරාන් තමන්ගේ දේශනයේදී ප්‍රකාශ කරනවා අපි බෝම්බ අරගෙන එනවා. සිනා සිසී බෝම්බ අරගෙන එනවා යනුවෙන්. මේ තුළින් පැහැදිලි වෙන්නේ කුමක් ද?" යනුවෙන් විනිසුරුවරයා සඳහන් කළේ ය.
විත්ති වාචක පිළිබඳ නිරීක්ෂණ
ඉන් අනතුරුව විත්තිකරුවන් ඉදිරිපත් කළ විත්ති වාචක පිළිබඳව ද විනිසුරුවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත් කළේ ය.
"විත්තිකාර නව්ෆර් මවුලවි විසින් සිදුකළ විත්ති වාචකය කෙරෙහි අධිකරණයේ අවධානය යොමු වුණා. ඔහුගේ විත්තිවාචකය කිසිදු ආකාරයක පැමිණිල්ලේ සාක්ෂිවලට සැකයක් ඇති කිරීමට සමත් වෙලා නෑ. එය කලින් ම හිතාමතා සැලසුම්සහගතව ඉදිරිපත් කළ විත්ති වාචකයක් බව පෙනී යනවා. ඊට අමතරව රිල්වාන් ඇතුළු වරදකරුවන් කෙරුණු සෙසු විත්තිකරුවන්ගේ විත්ති වාචකත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. වරදකරු කෙරුණු සනස්දීන් නමැති විත්තිකරු අධිකරණයේදී විත්ති වාචකයක් ඉදිරිපත් කළා. ඔහුගේ නිවස පානදුර, පරත්ත පාරේ පිහිටා තිබුණා. එම විත්තිකරු සඳහන් කළා තමන් විශාල වශයෙන් බූන්දි සහ මස්කට් වෙළෙඳාම සිදු කරන බවට. නමුත් මෙම සනස්දීන් නමැති විත්තිකරුගේ නිවස ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කළ අවස්ථාවේදී හමුවුණේ බූන්දි හෝ මස්කට් නෙවෙයි. පුපුරණ ද්‍රව්‍ය, යකඩ බෝල විශාල සංඛ්‍යාවක් හමුවෙලා තිබුණා. ඊට අමතරව මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් භාවිත කරන "දෙකතලන්" නමැති මලු විශේෂයකුත් එහිදී සොයාගෙන තිබුණා. ඒ අනුව සනස්දීන් නමැති විත්තිකරු ඉදිරිපත් කළ විත්ති වාචකය අධිකරණය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළා," යනුවෙන් පැවසීය.
දීර්ඝ කරුණු විශ්ලේෂණයකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු අදාළ චෝදනාවලට වරදකරුවන් කරන බවත් සෙසු විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවත් නියෝග කළේ ය.
විත්තිකරුවන්ගේ ප්‍රකාශ
අනතුරුව දඬුවම් නියම කිරීමට පෙර දඬුවම් ලිහිල් කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට තිබේදැයි අධිකරණය එක් එක් විත්තිකරුගෙන් විමසා සිටියේ ය.
එහිදී නීතිඥවරුන් පෙනී නොසිටි පළමු වන විත්තිකරු වශයෙන් නම් කරනු ලැබූ නවුෆර් මවුලවි දමිළ භාෂාවෙන් විත්ති කූඩුවේ සිට කරුණු දැක්වීය.
"ස්වාමීනි, මම කිසි ම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඉස්ලාම් ආගමික නියමයන්ට අනුව ඉහළ බලධාරීන්ගෙන් සහන පැතීම සුදුසු ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසා මා කිසිවක් ඉල්ලන්නේ නැහැ. අධිකරණයට සුදුසු දෙයක් කරන්න," යනුවෙන් ප්‍රකාශ කළේ ය.
ඉන් අනතුරුව වරදකරු කෙරුණු මොහොමඩ් ඊබ්‍රහම් සාදික් අබ්දුල්ලා නමැති විත්තිකරු විත්ති කූඩුවේ සිට සිය කරුණු ඉදිරිපත් කරමින්, "ස්වාමීනී.. මම සතුටු වෙනවා. අප සමග සිටි විත්තිකරුවන් නව දෙනෙකු නිදහස් වී යාම ගැන තවත් සතුටු වෙනවා. මම වසර හත හමාරක් පමණ බන්ධනාගාරගතව සිටිනවා. බන්ධනාගාරගත කළා ම මා ජීවත් වන්නේ රජයේ වියදමින්. ඒ බන්ධනාගාර ජීවිතය මා ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නවා. ඒකෙන් වාසිය සැලසෙන්නේ මට විතර යි. නමුත් මාව එළියට යවලා තිබ්බොත් මගේ නිවැසියන්ටත්, රටටත් පවුලටත් ප්‍රයෝජනයක් ඇති වෙයි. මා වරදක් කරලා නැහැ. නමුත් මා අනාගතය ගැන විශ්වාස කරනවා. අනාගතයේදී දෙවියන් වහන්සේ මේ වරද කළ අයට දඬුවම් කරාවි. එම වෙලාවේ මා වරදක් කරලා නැත්නම් මාව නිදහස් කරාවි. අධිකරණය මේ දඬුවම ලබා දුන්නත් මම ඊට එකඟ වන්නේ නැහැ," යනුවෙන් ප්‍රකාශ කළේ ය.
තවත් විත්තිකරුවකු වන මොහොමඩ් ඊබ්‍රහම් අබ්දුල් හක් නමැති විත්තිකරු විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින්, "ස්වාමීනී, මම වසර හත හමාරක් පමණ බන්ධනාගාරගතව සිටිනවා. මම මේ තීන්දුවට එකඟ වන්නේ නෑ. ටික දෙනෙකුට හරි දඬුවම් පැමිණවිය යුතු තත්ත්වයකට විනිසුරුවරු පත්ව තිබෙනවා. මේක දේශපාලන පසුබිමක් සහිත සංකීර්ණ නඩුවක්. මුළු රට ම බලාගෙන ඉන්නවා. පිටරටවලුත් බලාගෙන ඉන්නවා. ඒ නිසා ටික දෙනෙකුට හරි දඬුවම් කළ යුතු තත්ත්වයකට විනිසුරුවරු පත්ව තිබෙනවා. මම මේ තීන්දුවට එකඟ වන්නේ නෑ," යනුවෙන් ප්‍රකාශ කළේ ය.
ඉන් අනතුරුව වරදකරුකළ තවත් විත්තිකරුවෙකු වන මොහොමඩ් අස්වර් මොහොමඩ් රිස්කාන් විත්තිකූඩුවේ සිට සිය විත්තිභාචකය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
"ස්වාමීනී... මම හරි සතුටින් ඉන්නේ. නමුත් ඔබතුමාලට එහෙම සතුටු වෙන්න බැහැ. ඔබතුමාලා විශාල පීඩනයකින් ඉන්න බව පේනවා. මම වරදක් කරල නෑ. මම මේ ප්‍රහාරයට සම්බන්ධ නැහැ. නමුත් අපිව මේකට යොමු වෙලා තියෙනවා. මේවට සම්බන්ධ කට්ටිය නිදැල්ලේ ඉන්නවා. නිදැල්ලේ හිටියට එයාලත් ලොකු කම්පනයකින් ඇත්තේ. ඒ නිසා නිදැල්ලේ ඉන්න අයටත් දඬුවම් දිය යුතු යි. අපි සමග සිටින නව දෙනෙකු නිදහස්ව ගියා. අප සියලු දෙනා ම මෙතෙක් කල් හිටියේ සහෝදරයින් වගේ. ඔවුන් නිදහස් වීම ගැන සතුටු වෙනවා. අපි මේ වෙලාවේ ඉන්නේ සතුටින්. ඒක තමයි අපි ලබපු ජයග්‍රහණය."
ඉන් අනතුරුව විත්තිකරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිල් මද්දුමගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි... මගේ සේවාදායකයින් වරදකරුවන් කර තිබෙන්නේ කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීමේ චෝදනාවලට යි. නමුත් ඔවුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ බවට සාක්ෂි නඩු විභාගයේදී ඉදිරිපත් වුණේ නෑ. මගේ සේවාදායකයින් යුක්තිය ඉටු කිරීමට බාධා කළේ නෑ. ඔවුන් නඩු විභාගයට සහභාගි වුණා. ශ්‍රී ලංකාවේ දඬුවම් දීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නෑ. යම් පුද්ගලයෙකු සිරගත කරනවාට වඩා වටිනවා එම පුද්ගලයා පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීම," ඒ අනුව තම සේවාදායකයින්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් නීතිඥ කනිල් මද්දුමගේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර, අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරල් සහ ජනාධිපති නීතීඥ හරිප්‍රියා ජයසුන්දර දේශනය ඉදිරිපත් කරමින් මෙසේ පැවසූහ.
"මේ නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි අප තුළ විශාල කම්පනයක් ඇති කළා. අමානුෂික ඝාතන මෙන් ම වධ හිංසා පිළිබඳ තොරතුරු මේ සාක්ෂිවලින් අනාවරණය වුණා. මෙම විත්තිකරුවන්ගේ ක්‍රියාකාරකම්වලින් සිදුවී තිබෙන්නේ, ක්‍රෝධය හා වෛරය ව්‍යාප්ත කිරීම. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ, අන්‍යාගමිකයින් ඝාතනය කිරීම. මේවා වෙන්න ඉඩ හරින්න පුළුවන් ද? අනිත් අය මෙම විත්තිකරුවන් අදහන ආගම අනුගමනය නොකිරීම වරදක් ද? අන්‍යාගමිකයින් ඝාතනය කිරීම තමයි මේ විත්තිකරුවන්ගේ අරමුණ. මේ සිද්ධියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 267 දෙනෙකු මිය ගියා. තවත් 574 තුවාල ලැබුවා. මේ අපරාධ සිදුවුණේ කිතුනුවන්ගේ ආගමික ශාස්තෲවරයාණන් වූ ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වූ දිනයේ. ඉතා සුළු පිරිසකගේ අන්තවාදී මානුෂික ක්‍රියාකාරකම් හේතුවෙන් එම පූජනීය දවසේ මුළු රටේ ම විලාපයක් ඇති වුණා. අවසානයේදී ඔවුන් ජය ගත්තා. වරදකරුවන් කෙරුණු මේ විත්තිකරුවන් මෙම අපරාධයට ඔවුන්ගේ දායකත්වය ලබා දීලා තිබෙනවා. ගෆූර් මාමා නමැති විත්තිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත විමර්ශන නිලධාරීන් විසින් රිවෝල්වරයක් සොයා ගත්තා. එම රිවෝල්වරය වව්නතීවු ප්‍රදේශයේදී ඝාතනය වූ පොලිස් නිලධාරීන්ගේ බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වුණා. ඇතැම් විත්තිකරුවන් තුර්කියට ගිහින් පසුව සිරියාවේදී අවි පුහුණුව ලබා තිබෙනවා. මේ තරම් විශාල අපරාධයක් කරලත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අද අධිකරණයේදී කනගාටුව පළ කළා ද? ඔවුන්ගේ විත්ති වාචකවලින් පේනවා ඔවුන් තුළ කිසි ම පශ්චාත්තාපයක් නොමැති බව. අන්තිම ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔවුන් අත්හදා බැලීමේ පිපිරවීම් කීපයක් නැගෙනහිර පළාතේ සිදු කර තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුමන්ත්‍රණය නමැති චෝදනාවට අවුරුදු 5 සිට අවුරුදු 20 දක්වා සිරදඬුවම් ලබාදිය හැකි යි. ආධාර අනුබල දීමේ චෝදනාවටත් එලෙස ම යි. මෙම පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව අත්හිටවූ සිර දඬුවම් හෝ කොන්දේසි සහිත සිර දඬුවම් ලබාදීමට හැකියාවක් නෑ. ඒ වගේ ම වරදකරුවන් කරන විත්තිකරුවන්ගේ නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමටත් හැකියාව තිබෙනවා. මේ අවස්ථාවේදී මා ඔබතුමන්ලාගේ අධිකරණයේ අවධානයට යොමු කරන්න කැමති යි මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව කෙරෙහි. එහිදී මහාධිකරණය විසින් කොටි නායකයාට වසර දෙසීයක සිර දඬුවම් නියම කළා. එම සිර දඬුවම නියම කළේ, එක දඬුවමක් ගෙවී යාමෙන් පසුව අනෙක් දඬුවම ක්‍රියාත්මක වන ආකාරයට යි. ඒ වගේ ම එම නඩු තීන්දුවේදී මහාධිකරණය ඉතා වැදගත් ප්‍රකාශයක් සිදුකළා. ඒ තමයි මෙවැනි වරදවල් සිදුකරන භයානක පුද්ගලයින් හැකි තාක් සමාජයෙන් දුරස් කොට තැබිය යුතු බව. එම නඩු තීන්දුව මෙම නඩුව කෙරෙහි අදාළ කර ගන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. මොක ද මේ විත්තිකරුවන් සිදුකර තිබෙන්නේ, භයානක අන්තවාදී ක්‍රියාවක්. මෙම ප්‍රහාරය නිසා ගොඩනැගිලිවලට රුපියල් බිලියන ගණනාවක හානියක් සිදුවුණා. නමුත් ඒවා නවීකරණය කර යථාතත්ත්වයට පත් කිරීමට අපට හැකි වුණා. නමුත් මේ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත ආපසු ලබා ගන්න අපට හැකි වුණේ නෑ. සංචාරක හෝටල්වලට එල්ල කළ ප්‍රහාරවලින් සැලකිය යුතු පිරිසක් මරණයට පත්වුණා. ඒ තුළින් අපගේ සංචාරක කර්මාන්තයටත් විශාල අගතියක් සිදුවුණා. එහි කම්පනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් දැනෙන්නට පටන් ගත්තා." මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන අදාළ විත්තිකරුවන්ට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා ලෙසත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
ඉදිරිපත් වූ සියලු කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.