වහල මත සූර්ය පැනල සවි කිරීම ගැන රජය ගත් තීරණයේ බලපෑම කාට ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

වහල මත සවි කරන සූර්ය පැනල ඔස්සේ ජාතික පද්ධතියට ලබා ගන්නා විදුලිය සඳහා ගෙවීම් කරන ලද ක්‍රම තුනෙන් දෙකක් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

සැප්තැම්බර් 11 වන දා සිට අනුමැතිය ලබාගෙන ජාතික පද්ධතිය හා සම්බන්ධ වන සූර්ය බලශක්තියෙන් විදුලි ලබා දෙන වහල මත සවි කළ සූර්ය පැනල සවි කරන පාරිභෝගිකයන්ට ඒ සඳහා ඇත්තේ, එක් ගෙවුම් ක්‍රමවේදයක් පමණි.

ඒ අනුව, Net metering, Net accounting සහ Net plus යන ක්‍රමවේද ඔස්සේ කළ ගෙවීම් කටයුතු net plus ක්‍රමවේදයට පමණක් සීමා කර තිබේ.

අහෝසි කරන ලද Net metering සහ Net accounting යනු මොනවා ද?

නෙට් මීටරිං (Net Metering) යනු පාරිභෝගිකයා වහලය මත සවි කර ඇති සූර්ය පැනල පද්ධතිය මගින් ජනනය කරන අතිරික්ත විදුලිය ජාතික විදුලි ජාලයට ලබා දී තමන් භාවිත කරන විදුලිය ඒකක මගින් හිලව් කර ගැනීමේ ක්‍රමවේදය යි.

මාසය අවසානයේදී පාරිභෝගිකයා භාවිත කළ විදුලි ඒකක ප්‍රමාණයට වඩා සූර්ය පැනල මගින් ජාලයට ලබා දුන් ඒකක ප්‍රමාණය වැඩි නම් එම අතිරික්ත ඒකක ප්‍රමාණය ඊළඟ මාසය සඳහා ඉතිරි වේ.

මෙම ක්‍රමවේදයේදී පාරිභෝගිකයාට මුදල් ගෙවීමක් සිදු නොවන අතර විදුලි ඒකක හුවමාරුව පමණක් සිදුවේ.

නෙට් අකවුන්ටිං (Net Accounting) ක්‍රමයේදී සූර්ය පැනල මගින් ජනනය කරන විදුලියෙන් තමන් පරිභෝජනය කළ පසු ඉතිරි වන අතිරික්ත විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලි ජාලයට ලබා දී මුදල් ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකි වේ.

නෙට් මීටරින් ක්‍රමයට වඩා මෙය වෙනස් වන්නේ, විදුලි ඒකක හිලව් වීමක් සිදුනොවී අතිරික්ත ඒකක සඳහා නිශ්චිත මුදලක් ලැබීම හෝ විදුලි බිලට එකතු වීම ය.

නිවසේ භාවිතයට වඩා වැඩිපුර විදුලිය නිෂ්පාදනය කර ජාලයට ලබා දීමෙන් මුදල් ඉපැයීමට හැකියාවක් ලැබීම සහ විදුලි පරිභෝජනය වැඩි මාසවලදී පවා විකුණන ලද විදුලියේ මුදල් වටිනාකම මගින් නිව‍සේ විදුලි බිල සම්පූර්ණයෙන් ම කපා හැරීමට හැකි වීම නෙට් මීටරිං ක්‍රම‍යෙන් ලැබුණු වාසි ලෙස සැලකිය හැකි ය.

අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අනුව යමින් බලශක්ති අමාත්‍යංශය සැප්තැම්බර් 11 වන දා සිට ඉහත ක්‍රමවේද දෙක ම අහෝසි කර තිබේ.

ඒ වෙනුවට තවදුරටත් නෙට් ප්ලස් ක්‍රමවේදය ඔස්සේ පමණක් සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය ජාතික පද්ධතියට ලබා දිය හැකි ය.

නෙට් ප්ලස් ක්‍රමවේදයේදී සිදුවන්නේ කුමක් ද?

නෙට් ප්ලස් (Net Plus) ක්‍රමය අනුව සූර්ය පැනල පද්ධතිය මගින් නිපදවන සම්පූර්ණ විදුලි ඒකක ප්‍රමාණය ම ජාතික විදුලි ජාලයට ඍජුව ම ලබා දී ඒ වෙනුවෙන් ස්ථාවර මාසික ආදායමක් ලබා ගත හැකි ය.

මෙහි විශේෂත්වය වන්නේ, එසේ ජනනය කරන විදුලිය නිවසේ පරිභෝජනය සඳහා ඍජුව ලබා ගත නොහැකි වන අතර ඒ වෙනුවට ජාලයෙන් විදුලිය ලබාගෙන ඒ සඳහා පවතින සාමාන්‍ය විදුලි ගාස්තු ක්‍රමවේදය යටතේ විදුලි බිල්පත ගෙවා දැමීමට සිදුවීම ය.

කෙසේ වෙතත්, මෙම වෙනස පිළිබඳව සූර්ය පැනල සවි කරන කුඩා පරිමාණ සමාගම් සහ සූර්ය පැනල පද්ධති සවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් අතර නොසතුටක් සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය විය.

එවැනි පසුබිමක මෙම වෙනස්කම සම්බන්ධව බීබීසී සිංහල සේවය කරුණු සොයා බැලීමක් කළේ ය.

පැවති ක්‍රමවේද දෙකක් අහෝසි කළේ ඇයි?

පැවති ක්‍රමවේදයක් තුනෙන් දෙකක් අහෝසි කිරීමට සිදුවූයේ අමාත්‍ය මණ්ඩලය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් මත බව බලශක්ති අමාත්‍යංශයේ වැඩබලන ලේකම් රසල් අපොන්සු බීබීසී සිංහල කළ විමසීමකදී කියා සිටියේ ය.

එම තීරණය අනුව විදුලිය සඳහා අය කරන ගාස්තු, ඒ සඳහා වැය වූ වියදම පරාවර්තනය විය යුතු ගාස්තුවක් විය යුතු බවත් අඩු ම වියදමක් වැය වන ලෙස කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් නිකුත් කරන ලද ගැසට් පතේ සඳහන් බව ද ඔහු පැවසීය.

"සෝලා සිස්ටම් එකට අරගෙන ගෙවද්දී ඒකේ අඩු ම වියදම එන්නේ ඔය ක්‍රම තුනෙන් තුන්වෙනි ක්‍රමයට. ඒ කියන්නේ නෙට් ප්ලස් ක්‍රමයට."

ඒ අනුව, අදාළ ප්‍රතිපත්තිය අනුව යමින් නෙට් ප්ලස් ක්‍රමවේදය පමණක් ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

තව ද, දැනට ගිවිසුම්ගත වී සිටින්නන්ට ක්‍රමවේදයේ වෙනස සිදුවන්නේ ගිවිසුම අලුත් කරන අවස්ථාවේදී පමණක් බව ද ඔහු පැවසීය.

'ටැරිෆ් එක අඩු කරන්න තමයි ඕක කළේ'

Net metering සහ Net accounting ක්‍රමවේද ඔස්සේ සූර්ය පැනල භාවිත කරන්නන් රාත්‍රී කාලයේ විදුලිය ලබා ගැනීමේදී සමස්ත පාරිභෝගිකයන්ට ආසාධාරණයක් සිදුවූ බව වැඩබලන අමාත්‍යංශ ලේකම් රසල් අපොන්සු පැවසීය.

"දවල් කිලෝවොට් 10ක් හදලා ගෙදරත් 5ක් පාවිච්චි කරලා 5ක් සිස්ටම් එකට දෙනවා කියලා හිතුවොත් ඒකට ගෙවන ගාණ රුපියල් 20ක් වුණොත් රෑට යුනිට් එකකට යන ගාණ රුපියල් 60ක් කියලා හිතමුකෝ. එතකොට මම 5ක් 20ට විකුණලා රෑට ඒ 5 ඕන වෙනකොට වැඩි ගාණට හදපු එකෙන් ගත්තා ම කවුද ගෙවලා තියෙන්නේ ඒකට. රටේ සමස්ත විදුලි පරිභෝජනය කරන අය ගෙවලා තියෙනවා ටැරිෆ් එක. ඒ ටැරිෆ් එක අඩු කරන්න තමයි ඕක කළේ."

'සූර්ය බල ඒකකයක් නිසා පද්ධතියට ඉතිරි වෙන පිරිවැය රුපියල් 100කට අධිකයි'

කෙසේ වෙතත්, පිරිවැය අඩු කාල සීමාවේදී විදුලිය ලබා දී වැඩි පිරිවැයක් යන රාත්‍රී කාලයේදී සූර්ය පැනල භාවිත කරන්නන් විදුලිය ලබා ගැනීම අසාධාරණ යැයි රජය පැවසීම ඉතා ම වැරදිසහගත බව සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, සූර්ය පැනල මගින් මේ වන විටත් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2000ක පමණ විදුලියක් ලබා දෙන බවත්, එය එසේ ලබා නොදුණහොත් එම කාලයේදී විදුලිය ලබා ගැනීමට සිදුවන්නේ වැඩි මුදලකට බවත් පෙන්වා දුන්නේ ය.

"අපි දිවා කාලයේ පද්ධතියට ලබා දෙන එක සූර්ය බල ඒකකයක් නිසා පද්ධතියට ඉතිරි වෙන පිරිවැය රුපියල් 100කට අධික යි. දවල්ට එහෙම සූර්ය බල ඒකක 5ක් ලබා දෙන නිෂ්පාදක පාරිභෝගිකයා රාත්‍රියේදී පද්ධතියෙන් ඉල්ලන්නේ ඒකෙන් හතරෙන් එකක් විතර යි. ඒක කිසිසේත් ම අධික මිලක් ගෙවලා නෙමෙයි පද්ධතියෙන් දෙන්නේ ඒ සැබෑ මිලට ම යි."

රජය අඩු මිලට විදුලිය ලබා දෙන්නේ කාට ද?

එමෙන් ම, ඒ සඳහා අවවරප්‍රසාදිත පවුල්වල විදුලි පාරි‍භෝගිකයන්ට වැය බරක් දරන්න සිදුවන බව ප්‍රකාශ කිරීම අසත්‍යයක් බව ද සූර්ය බල ඉදිකිරිම් සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය.

"මේ රජය අඩු මුදලට විදුලිය ලබා දෙන්නේ සංචරක හෝටල් හිමියන්ට, මහා පරිමාණ වී මෝල් හිමියන්ට සහ වෙනත් කර්මාන්ත හිමියන්ට. රුපියල් 14ත් 18ත් අතර මිලකට. රජයට එහෙම දෙන්න අවශ්‍ය නම් කිසි ම ප්‍රශ්නයක් නැහැ එහෙම දෙන්න පුළුවන්. හැබැයි කවුද විදුලි බල බෙදා හරින්නාට ඒකෙන් සිදුවන පාඩුව පියවන්නේ."

අවවරප්‍රසාදිත පවුල්වලට හෝ තවදුරටත් සූර්ය බල පද්ධතිය පුළුල් කිරීමට නොහැකි වී ඇත්තේ, සූර්ය පැනල මත පනවා ඇති අධික බදු සහ පද්ධතිය කළමනාකරණය කර ගැනීමට ඉංජිනේරුවරුන්ගේ පවතින නොහැකියාව මත බව සූර්ය බල ඉදිකිරිම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ චෝදනා කළේ ය.

නෙට් ප්ලස් ක්‍රමයේ වාසිය අඩුවෙන් පරිභෝජනය කරන්නන්ට ද?

රජය විසින් නෙට් ප්ලස් ක්‍රමවේදය ඔස්සේ සූර්ය බලශක්තිය මිලට ගැනීමට ගත් තීන්දුව හරහා විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට වාසියක් ලබා ගත හැකි බවත්, එය ලබා ගැනීමට නම් සූර්ය පැනල මිලට ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය විය යුතු බවත් බලශක්ති විශේෂඥ, ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

"පළවෙනි දෙක අහෝසි කරලා දුප්පත් අයට වැඩි අවස්ථාවක් ලැබෙන එක ඉතුරු කිරීමෙන් අධෛර්ය වෙන්නෙ හයිඑන්ඩ් එකේ කන්සියුමර්ස්ලා විතර යි. අනිත් අයට ඒක බලපාන්නේ නැහැ, ඒ නිසා බරපතළ ප්‍රශ්නයක් නැහැ අතිබහුතර පාරිභෝගිකයන්ට මම දැනට දන්න තොරතුරු අනුව."

"අඩුවෙන් පරිභෝජනය කරන අයට රූෆ්ටොප් සෝලා දාලා ගන්න ඒකට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වෙලා නැත්නම් වෙන්නේ ඒකත් කෙරෙන්නේ නෑ, අරකත් කෙරෙන්නේ නෑ, අන්තිමට රූෆ්ටොප් සෝලා කඩන් වැටෙන එක," යැයි ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

'රූෆ්ටොප් අධෛර්ය කරලා කොම්පැණිවලට පාර කපනවා'

දැනට රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ අනුව සිදුවන්නේ, මහා පරිමාණ සූර්ය බලාගාර සමාගම්වලට අවස්ථාව සැලසී පරිභෝගිකයා අසරණ කිරීම බවට ඔහු චෝදනා කළේ ය.

"විදුලි බල මණ්ඩලය කියනවා අපිට ගන්න පුළුවන් මෙච්චර යි කියලා. ඒ කාගෙන් ද ගන්නේ කියන එකේදී රූෆ්ටොප් අය අධෛර්යවත් කරලා කොම්පැනිවලට පාර කපන එක තමයි පසුගිය අවුරුදු දෙක තුළ කරපු හැම ක්‍රියාකාරකමක ම තියෙන්නේ. ඒක නිසා සමස්තයක් විදියට රූෆ්ටෝප් සෝලාවලට බලපෑමක් වුණා."

රජය විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන්හට සූර්ය පැනල පද්ධති සවි කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය නොකිරීම තුළ නෙට් ප්ලස් ක්‍රමවේදය ඔස්සේ සූර්ය පැනල උද්‍යාන සකස් කරන මහා පරිමාණ සමාගම්වලට තවදුරටත් අවස්ථාව හිමි කර දී ඇති බව බලශක්ති විශේෂඥ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ ය.