ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දරුවන් 'නුසුදුසු ලෙස ස්පර්ශය': විවේචන ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් බීබීසීයට පැවසුවේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
හොඳ ස්පර්ශය (proper touch) සහ නරක ස්පර්ශය (improper touch) යන සංකල්ප පිළිබඳව මේ වන විට සමාජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ.
ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ය.
එම ඡායාරූපවල දක්නට ලැබෙන්නේ, කුඩා ගැහැනු දරුවන්ගේ අත් අල්ලාගෙන සිටින ආකාරයකි.
සමාජ මාධ්‍යවල පළවූ අදහස්
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල කර තිබෙනු දැක ගත හැකි විය.
Stop Child Cruelty Trust ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක මේ සම්බන්ධයෙන් ෆේස්බුක්හි අදහස් දක්වා තිබිණි.
මේ අතර, සමාජ විද්‍යාඥවරියක වන ආචාර්ය අනුෂ්කා කහඳගමගේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාව දැඩිව විවේචනය කරමින් "බුලත් අතක් දෙනකොට මේ දැරිවිගේ අතින් අල්ලන විදිය මොකද්ද මේ? මේ ඉස්කෝලේ යන ගැහැනු ළමයෙක්. මේවා ජුගුප්සා ජනක වැඩ. ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන එක හොඳයි. ඒත් දරුවෝ බිල්ලට ගන්න මිනිස්සු මේ සමාජයේ ඉන්නකන්, දරුවන්ව යොදාගෙන විවිධ නුසුදුසු වීඩියෝ AI සහ වෙනත් ක්‍රමවලින් සමාජ මාධ්‍යයට මුදා හරින වැඩිහිටියෝ ඉන්නකන්, එයාලා සමාජයේ නිදහසේ සැරිසරනකන් දරුවන්ට ආරක්‍ෂිත සමාජයක් හැදෙන්නේ නැහැ. දරුවෝ සමාජ මාධ්‍ය පාවිච්චිය නැවත්තුවාට විතරක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ," යනුවෙන් සඳහන් කර තිබිණි.
පේරාදෙණිය විශ්විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි ද මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වා තිබිණි.
"විශේෂයෙන් මේ පින්තූරෙ දැක්කම, මේ ඇල්ලීම දැක්කම මට නම් ඇති වන්නේ තිගැස්මක්. කේන්තියක්," ඇය සිය සටහන මගින් පවසයි.
"තම සිරුර අතපතගානකොට ඇඹරෙන්නෙ නැතුව ඒ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන හැටි ගැන දරුවන්ට කියා දෙන වීඩියෝ අපි දකිනවා. මේ දරුවට එබඳු අධ්‍යාපනයක් කවදා හෝ ලැබී තුබුණා දැයි නොදනිමි, එසේ ලැබී තිබුණා නම් ඇය මේ අවස්ථාවේ කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිදැයි උපකල්පනය කරම්," ආචාර්යවරිය පෙන්වා දී තිබේ.
"මේ ඇල්ලීම අනවශ්‍යයි! ඒ බව නොවැටහෙන අය, මේ ක්‍රියාවට සුදුහුණු ගාන අය අනේ මට නම් තේරුම් ගන්න බෑ, සමාවෙන්න," ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
'ඒ පින්තූරවල දැක්වෙන ස්පර්ශයන් නුසුදුසු බව පේනවා' - ජාතික ළමාරක්ෂක අධිකාරිය
සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපවල දැක්වෙන පරිදි "එම පින්තූරවල දැක්වෙන ස්පර්ශයන් නුසුදුසු බව පෙනී යන" බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
එහි නීතිය බලාත්මක කිරීම් අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් බීබීසී සිංහල කළ විමසීමකදී සඳහන් කළේ, "ජාතික ළමාරක්ෂක අධිකාරිය වශයෙන් නරක ස්පර්ශයන් ප්‍රතික්ෂේප කරන" බව ය.
"සමාජයක් විදිහට සහ ළමාරක්ෂක අධිකාරිය විදිහට ඒ වගේ නුසුදුසු ස්පර්ශ අපි ප්‍රතික්ෂේප කරනවා. නුසුදුසු ස්පර්ශයක් තමයි, ඒ පින්තූරවල පෙනෙන්න තියෙන්නේ."
කෙසේ වෙතත්, ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ වින්දිතයින් හෝ වින්දිතයෙකු තමන්ට එම ස්පර්ශයෙන් "අපහසුතාවක් හෝ ලැජ්ජාවක් හෝ බියක්" ඇති වූ බවට ප්‍රකාශයක් කළ යුතු බව නීතිඥවරිය පැවසීය.
"නීතිය ක්‍රියාත්මක කරනකොට අනිවාර්යයෙන් ම වින්දිතයාගේ ප්‍රකාශයක් අත්‍යවශ්‍ය යි. ඒ වින්දිතයා ඇවිල්ල කියන්න ඕනෙ මේ ස්පර්ශයෙන් මාව අපහසුතාවට පත්වුණා, මාව ලැජ්ජාවට පත්වුණා, මාව බියට පත්වුණා කියන එක වින්දිතයා කියන්න ඕනෙ. එතකොට තමයි ඒක නරක ස්පර්ශයක් කියලා අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. අවුරුදු 16ට අඩු ළමයෙකුට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් නරක ස්පර්ශයකට ලක් කරනවා නම් ඒක වරදක්. අවුරුදු 16ට වැඩි වුණත් එයාගේ අකැමැත්තෙන් කරන ස්පර්ශයන් ලිංගික හිරිහැර විදිහට සලකනවා. හැබැයි වින්දිතයා ඉදිරිපත් වුණේ නැත්නම් අපට නඩු පවරන්න හැකියාවක් නෑ මේ නීතිමය රාමුව ඇතුළත."
ඉහත කී නීතිමය රාමුව තුළ, අදාළ ඡායාරූපවල සිටින වින්දිතයින් සම්බන්ධ කරගෙන, ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් තිබේ ද? යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කරන බව ද ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීම් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසීය.
චෝදනා ගැන අමාත්‍යවරයා පවසන්නේ කුමක් ද?
මෙම විවෙචන සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ගෙන් බීබීසී සිංහල විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ, අලුතින් ඉදි කළ නිවාස විවෘත කිරීමේ උත්සවවලදී දරුවන් තමන්ට බුලත් ලබා දී වැඳීමට උත්සහ කළ අවස්ථාවේදී, එය වැළැක්වීමේදී මෙලෙස එම දරුවන් ස්පර්ශ කළ බව ය.
"ඔය දරුවා, බුලත් අත දෙනවා, බුලත් අත දීලා, දරුවාගේ බුලත් අත මම ගන්නවා, අරගෙන දරුවා මට ඊළඟට වඳින්න හදනකොට, මම වඳින්න එපා පුතේ කියලා, අත් දෙකෙන් උස්සනවා," විවේචනයට ලක් වන එක් ඡායාරූපයක් පිළිබඳව විස්තර කරමින් අමාත්‍යවරයා පැවසීය.
"මගේ එහා පැත්තේ හිටපු දෙන්නට ඒ දරුවා වැන්දා. මම කිව්වා, වඳින්න එපා පුතේ, දේශපාලනඥයින්ට වඳින්න ඕන නැහැ ඕගොල්ලෝ කියලා, අම්මා තාත්තට වඳින්න කියලා, මම අත් දෙකෙන් අල්ලලා අයින් කළා. මම ඔච්චරයි කියපු දේ," ඔහු තවදුරටත් විස්තර කළේ ය.
"ඉස්කෝලේ යන දරුවන්ගෙන් මම අහන්නේ, 'දැන් ඔයාට ලස්සන ගෙයක් තියෙනවා නේ ද? ඉස්කෝලේ යනකොට යාළුවන්ට කියන්න පුළුවන්'. ඔය වගේ ඉතින් අපි ගියා ම ඒ දරුවන්ගේ සතුටට අපි කතාබහ කරනවා.
"ඇත්තට ම මානුෂීය ප්‍රශ්නයක් නේ, මැටි ගෙයක ඉඳලා පාසල් යන පුංචි දරුවෙක්, එයා මොන තරම් පීඩාවකට පත් වෙනවා ද, එතකොට ඔය ළමාරක්ෂාව ගැන ලියන අය ඒ දරුවෝ විඳින දුක කවදාවත් ම දැකලා නැහැ," ඔහු පැවසීය.
අමත්‍යවරයා සඳහන් කළේ, "ඒ පේන දේ වෙන දේශපාලන දෘෂ්ඨිකෝණයකින් බලලා තමයි ගොඩක් අය ලියලා තියෙන්නේ. මට නම් දැනෙන්නේ. ඒ අයට තියෙන මොකක් හෝ ඉරිසියාවක් තමයි වැඩියෙන්," යනුවෙනි.
කෙසේ වෙතත්, "ළමාරක්ෂක සහ ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න සංවිධාන මේකේ පෙන්වලා දෙන එක නීත්‍යනුකූල පැත්තෙන් මට පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නීතියක් නේ, ඒක ඒගොල්ලෝ පෙන්වන එක. ඒකට මම අභියෝග කරනවා නෙවෙයි, මගේ ඇත්ත හෘදය තියෙන්නේ ඔය කියන ක්‍රියාවලියක් නෙමෙයි දරුවන්ට ඇත්තට ආදරය කරපු එකක් ඔය තියෙන්නේ " ඔහු තවදුරටත් පැවසීය.
"මම මොන ම දරුවෙකුගෙන්වත් එහෙම වැඳුම් ගන්න කෙනෙක් නෙවෙයි. එහෙම ඕනේ නැහැ නේ. මොකට ද දේශපාලනඥයින්ට දරුවෝ වඳින්නේ. ඒක තමයි මම එපා කියන්නේ. ඔය හැම ෆොටෝ දෙක තුනේ ම, ඒ දරුවන්ගේ අතින් අල්ලගෙන මම කියන්නේ වඳින්න එපා කියලා," අමත්‍යවරයා සඳහන් කළේ ය.
"ඔය ජාතියේ ෆොටෝ කොච්චර නම් තිබ්බ ද මහින්දලාගේ පැත්තේ. ඔය ලියන මහත්තුරු ලිව්වේ නැහැනේ මහින්දට එහෙම. නාමල්ලාගේ කොච්චර ෆොටෝ තියෙනවා ද ඕවා. අකුරැස්සේ 400ක් දරුවෝ දූෂණය කරපු පොහොට්ටුවේ සභාපතිට ඔය ලියන මහත්තුරුන්ගේ කාලේ මොකක් ද වුණේ... හම්බන්තොට ළමා අපචාර කරපු අයට මොකද වුණේ, ඒ දවස්වල පත්තරයක් අරන් බලන්නකෝ, කොච්චර නම් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අහවල් ළමයා දූෂණය කරලා... ඒ දවස්වල පත්තර ටිකක් අරන් බලන්නකෝ කොච්චර ද කියලා. එදා කටක් ඇරපු නැති ඒ මහත්තුරුන්ගේ කට්ටිය දැන් ඔය ලියන්නේ දරුවෙකුට වඳින්න එපා කියලා අතින් අල්ලලා කියපුවා ම, ඒක ලියනවා නම් ඔය විදියට එදා දූෂණයට ලක් වෙච්ච ඒවා ගැන මොනවා ද ඒ මහත්තුරු ලිව්වේ? ඒ මහත්තුරුගේ කට්ටිය නේ. ඔය ෆේස්බුක්වල ලියන කට්ටිය හොයලා බැලුවොත් ඔය දේශපාලන පක්ෂවල කට්ටිය නේ," ඔහු වැඩිදුරටත් පැවසීය.
හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය
ස්පර්ශය ළමා මනෝවිද්‍යාව අනුව 'හොඳ' සහ 'නරක' යනුවෙන් ස්පර්ශය වර්ගීකරණය කෙරේ.
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සෑම දෙමාපියෙකුගේ ම සහ වැඩිහිටියෙකුගේ ම ප්‍රධාන වගකීමකි. දරුවන්ට තමන්ගේ ශරීරය පිළිබඳව මෙන් ම බාහිරින් සිදුවන අනතුරු හඳුනා ගැනීමට සරලව කියා දීම මගින් ඔවුන්ව අපචාරවලින් සහ අනවශ්‍ය කරදරවලින් ආරක්ෂා කර ගත හැක.
හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය හඳුනා ගැනීමට දරුවන් ඒ පිළිබඳව දැනුවත් කළ යුතු බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
"අපේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සෑම දෙමාපියෙකුගේ ම සහ වැඩිහිටියෙකුගේ ම ප්‍රධාන වගකීමකි. දරුවන්ට තමන්ගේ ශරීරය පිළිබඳව මෙන් ම බාහිරින් සිදුවන අනතුරු හඳුනා ගැනීමට සරලව කියා දීම මගින් ඔවුන්ව අපචාරවලින් සහ අනවශ්‍ය කරදරවලින් ආරක්ෂා කර ගත හැකි," බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙයි.
හොඳ ස්පර්ශය යනු කුමක් ද? යන්න පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කර ඇත්තේ, මෙසේ ය.
- දරුවාට ආදරය, ආරක්ෂාව සහ සතුට දැනෙන ස්පර්ශයන් හොඳ ස්පර්ශයන් වේ.
- පවුලේ අය වැළඳ ගැනීම: දෙමාපියන් හෝ පවුලේ ළඟම අය ආදරයෙන් දරුවා වැළඳ ගැනීම.
- දිරිගැන්වීමට වැළඳ ගැනීම: ජයග්‍රහණයකදී හෝ හොඳ වැඩක් කළ විට ප්‍රශංසා කරමින් අතට අත දීම හෝ වැළඳ ගැනීම.
- වෛද්‍ය පරීක්ෂණ: දෙමාපියන් ඉදිරියේදී වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය දරුවාගේ සෞඛ්‍යය පරීක්ෂා කිරීම.
- දුකකින් සිටින අවස්ථාවක අස්වැසීම: දරුවා දුකෙන් හෝ බියෙන් සිටින විට ආච්චි, සීයා හෝ දෙමාපියන් විසින් අස්වසනු ලැබීමට කරන යහපත් ස්පර්ශයන්.
නරක ස්පර්ශය යනු කුමක් ද?
දරුවාට අපහසුතාවක්, බයක්, ලැජ්ජාවක් හෝ අපහසුතාවක් ඇති කරවන ඕනෑ ම ස්පර්ශයක් නරක ස්පර්ශයකි.
- රහස් ස්ථාන ස්පර්ශය: දරුවාගේ ඇඳුම්වලින් ආවරණය වී ඇති රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීම.
- අනුමැතියකින් තොරව ශරීරය ස්පර්ශ කිරීම: දරුවා අකමැති වෙද්දී බලහත්කාරයෙන් අල්ලා ගැනීම හෝ ඇල්ලීම.
- හේතුවක් නැතිව තදින් වැළඳ ගැනීම: අනවශ්‍ය ලෙස තදින් අල්ලා ගැනීම හෝ වැළඳ ගැනීම.
- අසභ්‍ය පින්තූර හෝ වීඩියෝ පෙන්වීම: දරුවන්ට නොගැලපෙන, නුසුදුසු ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පෙන්වීම.
නරක ස්පර්ශය සම්බන්ධයෙන් දරුවන්ට කියා දිය යුත්තේ කුමක් ද?
නරක ස්පර්ශය සම්බන්ධයෙන් දරුවන්ට කියා දිය යුතු වැදගත් ම කරුණු 3ක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.
- "එපා / බැහැ" යැයි පැවසීම: කවුරුන් හෝ නරක ස්පර්ශයක් කළහොත් බිය නොවී ඍජුව ම ඊට එරෙහි වෙමින් "එපා" යැයි පැවසීමට දරුවාට ශක්තිය දෙන්න.
- ඉවත් වීම: එවැනි අවස්ථාවකදී වහා ම එම ස්ථානයෙන් ආරක්ෂිත තැනකට දිව යාමට පුරුදු කරන්න.
- විශ්වාසවන්ත අයෙකුට පැවසීම: සිදුවූ දේ කිසිවිටෙකත් රහසක් ලෙස තබා නොගෙන අම්මාට, තාත්තාට හෝ ගුරුවරයෙකුට පවසන ලෙස කියා දෙන්න.
දඬුවම් මොනවා ද?
නරක ස්පර්ශයක් සම්බන්ධයෙන් අධිකරණයකදී වරදකරු වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තිය ප්‍රකාරව දඬුවම් නියම කළ හැකි ය.
නීතිඥ සජීවනී අබේකෝන් පැවසුවේ, ඒ අනුව එවැනි වරදක් සඳහා වසර 5ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව ය.
ඔබට සහයක් අවශ්‍ය ද?
ඔබත් ලිංගික හිංසනයක වින්දිතයෙක් ද? නැතිනම් බාල වයස්කරුවෙකු ලිංගික හිංසනයට ලක් වන බවක් ඔබට නිරීක්ෂණය වී තිබේ ද?
පහත අංක අමතා සහය ලබා ගන්න.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
ශ්‍රී ලංකා ළමා උපකාරක සේවය - 1929
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය - 011-2444444
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ හදිසි ඇමතුම් අංකය - 109
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය
ළමා උපකාරක සේවය - 1938