ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරේෂ් සලේගේ නඩුවට මැදිහත්වීමට ඉල්ලූ පෙත්සම් 13කට අභියාචනාධිකරණය දුන් නියෝගය
තමන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ගොනු කර තිබූ අතරමැදි පෙත්සම් 13ක් ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (ඔක්: 22) නියෝග කළේ ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ප්රකාශයට පත් කරන ලදී.
පූජ්ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්යාපාරයේ කැඳවුම්කරු වෛද්ය ගුණදාස අමරසේකර ඇතුළු පාර්ශ්ව 13ක්, සුරේෂ් සලේගේ පෙත්සමට සහාය පළ කරමින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
එසේ ම, කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ද වෙන ම අතරමැදි පෙත්සමක් ගොනු කර තිබූ අතර, උන්වහන්සේ අධිකරණයෙන් ඉල්ලා තිබුණේ, සුරේෂ් සලේගේ පෙත්සම ප්රතික්ෂේප කරන ලෙස යි.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සිය නියෝගය ප්රකාශයට පත් කරමින් සඳහන් කළේ, "මෙහි මුල් පෙත්සම තුළ අන්තර්ගත වන්නේ අපරාධ විමර්ශන ක්රියාදාමයකට අදාළ නඩු කටයුත්තකි. එම විමර්ශන ක්රියාදාමය නීතියෙන් නියම කර ඇති ආකාරයට අඛණ්ඩව සිදුවිය යුතු ය. ඊට බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීම හේතුවෙන් විමර්ශන කටයුතු අඩාළ විය හැකි ය. එබැවින්, මෙම අවස්ථාවේදී අදාළ නඩු කටයුත්තට මැදිහත් වීමට බාහිර පාර්ශ්වයන්ට අවසර ලබා දීම නුසුදුසු බව අධිකරණයේ මතය වන," බව ය.
ඒ අනුව, අදාළ අතරමැදි පෙත්සම් සියල්ල ප්රතික්ෂේප කරන බව විනිසුරු මඬුල්ල නියෝග කළේ ය.
මේ අතර, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය නොවැම්බර් 27 වන දා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය මීට පෙර දැනුම් දී තිබිණි.