වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පූරු යන්න හැදූ ගෝඨාභයට අධිකරණය දුන් නියෝගය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැ: 25) ප්‍රතික්ෂේප කළේ ය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාමට අවසර ඉල්ලයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවමින් පසුගිය දා නියෝගයක් නිකුත් කර තිබිණි.
ඒ අනුව, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බව පවසමින්, දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සිය විරෝධය පළ කළේ ය.
දෙපාර්ශ්වය ම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අද මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ ය.





























