පොලිස් නිල ඇඳුම වෙනස් වෙන්නේ කොහොම ද?: 'යුනිෆෝම් එකක් වෙනස් කළා කියලා පොලිසිය වෙනස් වෙන්නෙ ම නැහැ නේ'

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීම සඳහා සැලසුම් කර ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය.
විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන සහ නවීන තාක්ෂණික අංගයන්ගෙන් මෙම නිල ඇඳුම සකස් කරන බව ඔහු පැවසීය.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹෙයි
මේ සඳහා නව නිල ඇඳුම් සාම්පල කිහිපයක් සකස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
නව නිල ඇඳුම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.
"මේ වන විට ඒකට අදාළ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අපේ සප්ලයි ඩිවිෂන්, ඒ කියන්නේ සැපයුම් අංශයෙන් ක්‍රියාත්මක වෙනවා. එච්චරයි මට දැනට තියෙන විස්තර. නමුත් සම්පූර්ණ නව නිල ඇඳුමක් සඳහා ප්‍රවේශයක් ගන්නවා. බොහෝ විට ඒකේ ප්‍රසම්පාදන කටයුතු සහ ඒ සැපයුම් කටයුතු සැපයුම් ඩිවිෂන් එකෙන් වුණාට පස්සේ මට විස්තරයක් කියන්න පුළුවන්."
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නව නිල ඇඳුම් සාම්පල සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර අනුමැතිය ලබාගැනීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බව යි.
"සාම්පල් කීපයක් හදලා තියෙනවා. ඒවට අනුමැතිය සම්බන්ධයෙන් අපේ අංශයෙන් පොලිස්පතිතුමා සමග සාකච්ඡා කරලා, ඒ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි තීරණය වෙන්නේ," යනුවෙන් ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නව නිල ඇඳුම සම්බන්ධයෙන් මේ වන විට නිශ්චිත තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ නොහැකි බවයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදුවෙමින් පවතින බැවින් අවසන් තීරණයක් ගත් පසුව ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදිය හැකි බව ද ඔහු පැවසීය.
"මම දැක්කා සමාජ මාධ්‍යවල යනවා නිල් පාට කැනඩා ඇඳුම අනාදී වශයෙන්. මේ මොහොතේ ඒ පිළිබඳ හරියට පැහැදිලි පණිවිඩයක් සමාජයට තාම දෙන්න බැහැ, මොක ද ඒකට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙන නිසා," මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
නිල ඇඳුමේ වෙනස් වෙන්නේ මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නව නිල ඇඳුමේ වර්ණය කුමක් වේවි දැයි අප විමසූ විට "ශ්‍රී ලංකා පොලිසියේ පැහැය නිල්," යනුවෙන් සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සමාජ මාධ්‍යයේ සංසරණය වන කැනේඩියානු නිල ඇඳුම පිළිබඳ අදහස් තමන් ද දැක ඇති නමුත් නව නිල ඇඳුමේ අවසන් සැලසුම පිළිබඳව තවමත් පැහැදිලි කිරීමක් කළ නොහැකි බව පැවසීය.
මේ අතර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල සේවයට පැවසුවේ, නව නිල ඇඳුම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව යි.
විවිධ වර්ණවලින් සාම්පල සකස් කර ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවසන් නිල ඇඳුම තෝරාගැනීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
"තව ම ඒකට සාම්පල් හදන්න කියලා තියෙන්නේ. මොකක්වත් තීරණයක් නැහැ. අදහසක්නේ තියෙන්නේ," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
නව නිල ඇඳුම 2027 වසරේදී හඳුන්වාදීමට සැලසුම් කර තිබේදැයි BBC සිංහල කළ විමසීමේදී, අමාත්‍යවරයා පැවසුවේ 2027 වසරේදී එය ක්‍රියාත්මක කිරීම සැලසුම බව යි.
නව නිල ඇඳුම හඳුන්වාදීමේ සැලසුම ඇඳුමේ පෙනුම වෙනස් කිරීමට පමණක් සීමා නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.
නව නිල ඇඳුම සමඟ ශරීරයේ පැළඳිය හැකි කැමරා (Body Cameras) ඇතුළු නව තාක්ෂණික උපකරණ ද හඳුන්වාදීමේ අදහසක් පවතින බව ඔහු සඳහන් කළේය.
"අපිට ඕන මේ යුනිෆෝම් එක කිව්වා ම ෆුල් කිට් එකක්, බොඩි කැම් එකකුත් එක්ක." යනුවෙන් ඔහු පැවසීය.
'යුනිෆෝම් එකක් වෙනස් කළා කියලා පොලිසි වෙනස් වෙන්නෙ ම නැහැ නේ'
නිල ඇඳුම වෙනස් කිරීමෙන් පමණක් පොලිස් සේවයේ වෙනසක් ඇති නොවන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.
"යුනිෆෝම් එකක් වෙනස් කළා කියලා පොලිසිය වෙනස් වෙන්නෙ ම නැහැනේ. අදහසත් එක්කමනේ වෙනස් වෙන්නේ. මිනිස්සුත් එක්කමනේ වෙනස් වෙන්න ඕන."
නව නිල ඇඳුමේ සැලසුම් සකස් කිරීම සහ සාම්පල නිර්මාණය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කර ඇත්තේ 1865 සැප්තැම්බර් 3 වැනිදා ය. වර්තමානයේ භාවිත වන කාකි නිල ඇඳුමේ වර්ණයට වසර 160ක පමණ ඉතිහාසයක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් කොට කලිසම් භාවිත කළ බවත්, පසුව එය වෙනස් වී දිග කලිසම භාවිතයට පැමිණි බවත් ඔහු සඳහන් කළේ ය.
වර්තමානයේ පොලිසියට විවිධ අවස්ථා සඳහා නිල ඇඳුම් වර්ග හතරක් පවතින බව ද ඔහු පැවසීය. ඒ අතර සාමාන්‍ය නිල ඇඳුම, විශේෂ අවස්ථා සඳහා භාවිත කරන නිල ඇඳුම, සුදු පැහැති නිල ඇඳුම සහ උත්සව අවස්ථා සඳහා භාවිත කරන නිල ඇඳුම ඇතුළත් වේ.


































