ඔබේ දරුවා ඔබට බොරු කියනවා ද? එය නරක දෙයක් නොවිය හැකි බව ඔබ දැනසිටියා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, එලීනා හොයිකා සහ ජෝර්ජ් සැන්ඩමන්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
බිත්තියේ චිත්‍රයක් ඇඳ තිබෙන විට හෝ ටින් එකෙන් බිස්කට් අතුරුදන් වන විට, ඔබේ දරුවා ඒ ගැන සුරතල් බල්ලාට දොස් පැවරිය හැක. එසේ නැතහොත් අවතාරයක් සිටි බව පැවසිය හැක. ඔවුන් පාට කූරු අතේ තබාගෙන හෝ බිස්කට් කුඩු ඇඟිලිවල තවරාගෙන සිටියදී පවා එවැනි බොරු පැවසිය හැකි ය.
දරුවන් බොරු පැවසීම බොහෝ මව්පියන් අත්විඳින දෙයක් වන නමුත් බොරු කීම සහ මුලා කිරීම මානසික වර්ධනයේ වැදගත් අංගයකි.
"ඒක ඔවුන් වර්ධනය කර ගනිමින් සිටින කුසලතාවක්. ඒක තවදුරටත් දියුණු කර ගැනීම සඳහා ඔවුන් නැවත නැවතත් භාවිත කරන දෙයක්," යැයි සායනික මනෝවිද්‍යාඥ ඩො. ජේඩ් රෙඩ්ෆර්න් CBeebies Parenting Download පොඩ්කාස්ට් වැඩසටහනට පවසා ඇත.
මෙහිදී, විශේෂඥයින් පැහැදිලි කරන්නේ බොරු කීමට ඉගෙන ගැනීම සෞඛ්‍ය සම්පන්න හැසිරීමක ලක්ෂණයක් වන්නේ ඇයි ද යන්න සහ අවංකවීමට දිරිමත් කිරීම සඳහා උපකාර කර ගන්නේ කෙසේ ද යන්න යි.
කුඩා දරුවන් බොරු කීමට තරම් දියුණු නොමැති බව රෙඩ්ෆර්න් පවසයි, නමුත් ඔවුන්ට වයස අවුරුද්දට පෙර සිට ම රැවටීමට හැකියාව ඇත.
පොඩ්කාස්ට් වැඩසටහනේ සඳහන් අධ්‍යයනවලින් එකක් බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද්දක් වන අතර, එහිදී දරුවන්ගෙන් හතරෙන් එකක් පමණ මාස දහයක් වන විට කිසියම් ආකාරයක රැවටීමක් හෝ වංචනික හැසිරීමක් පිළිබඳ අවබෝධයක් පෙන්නුම් කරන බව අනාවරණය වී ඇත.
'දරුවන් කරන කපටි වැඩ දැකීම සිත්ගන්නාසුලු යි'
අධ්‍යයනය මෙහෙයවූ මහාචාර්ය එලීනා හොයිකා පවසන්නේ, තමන්ගේ ම දරුවන් ද ඇතුළුව ''පුදුමසහගත කුඩා'' දරුවන් ඉතා දක්ෂ හා කපටි වූයේ කෙසේ දැයි දැකිය හැකි වීම සිත්ගන්නාසුලු වූ බව ය.
"දරුවන් තුන් දෙනෙකුගේ මවක් විදිහට, දරුවන්ට කෙතරම් කපටිව සහ උපක්රමශීලීව හැසිරිය හැකි ද යන්න පිළිබඳව මට ස්ථිරව ම සාක්ෂි දෙන්න පුළුවන්."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"රසකැවිලි හෝ චොකලට් ආහාරයට ගැනීමට මේසය යට හෝ නාන කාමරයේ හැංගිලා ඉන්න එක තමයි එයාලගේ පොදු උපක්‍රමය."
හොයිකා පවසන්නේ, වයස අවුරුදු දෙකේ පමණ සිට දරුවන් භාවිත කරන රැවටීම් සාමාන්‍යයෙන් ඉතා සරල මට්ටමේ ඒවා වන බව ය. එවැනි හැසිරීම් අතරට දෙමාපියන් කතා කළ විට නෑසුණු බව අඟවා සිටීම හෝ යම් ක්‍රියාවක් තමන් සිදු නොකළ බව ප්‍රතික්ෂේප කිරීම වැනි දේ ඇතුළත් වේ.
''ඒක හොර රහසේ ම තහනම් කළ ක්‍රියාවල නිරත වීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්,'' ඇය පවසයි. ''උදාහරණයක් විදිහට, කිසිවෙකු බලා නොසිටින බව පෙනෙන විට නොබලන ලෙස පැවසූ බෑගයක් තුළට එබී බැලීම හෝ යම් දෙයක් පිරිසිදු කරන ලෙස පැවසූ විට වැසිකිළියට යාමට අවශ්‍ය බව කියා එය මග හැරීමට උත්සහ කිරීම වගේ දේවල් වෙන්න පුළුවන්."
වයස අවුරුදු තුන වන විට, ඔවුන් තම රැවටීම්වලදී වඩාත් දක්ෂ හා නිර්මාණශීලී විය හැකි අතර, භාෂාව සහ අනෙක් අයගේ මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් පෙන්නුම් කරයි.
එම වයසට පැමිණි විට දරුවන් තොරතුරු සඟවා ගැනීමට ද පටන් ගන්නා බව ඇය පවසයි. නිදසුනක් වශයෙන්, සහෝදරයා තමන්ට පහර දුන් බව පවසන නමුත් පළමුව තමන් සහෝදරයාට පහර දුන් බව නොපවසයි.
ආචාර්ය ජේඩ් රෙඩ්ෆර්න්ගේ අදහස අනුව, මෙවැනි රැවටීමේ හැසිරීම් දරුවන් තුළ "මනෝසිද්ධාන්තය" (theory of mind) නම් හැකියාව වර්ධනය වෙමින් පවතින බව පෙන්නුම් කරන සංඥාවකි.
අවුරුදු දෙකක් වයසැති ඒඩා, නාන කාමරයේ සැඟවී ඇය සොරකම් කර තිබූ චොක්ලට් කමින් ඇගේ මව රැවටීමට ලක් කරයි.
"දරුවන් වැඩෙන විට, ඔවුන් වෙන ම මනසක් සහ අරමුණු ඇති ස්වාධීන පුද්ගලයෙකු බව ඔවුන් තේරුම් ගැනීම සහ ඒ හැඟීම් වර්ධනය කර ගත යුතු යි," ඇය පැහැදිලි කරයි.
"මේක තමයි (ඔවුන්) සංවේදනය තුළ කුසලතා වර්ධනය කරන ආකාරය, නැත්නම් තමන්ගේ ම දේට වඩා වෙනස් විය හැකි වෙනත් පුද්ගලයෙකුගේ සිතුවිලි සහ හැඟීම් ගැන සිතීමට හැකි වීම මෙමගින් සිද්ධ වෙනවා."
දරුවෙකු බොරුවක් පැවසීමට බලපාන තවත් හේතුවක් වන්නේ තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති උත්සාහය යි. දෙමාපියන් කලකිරවීමට හෝ ඔවුන්ගේ අපේක්ෂා බිඳ දැමීමට දරුවන් අකමැති වන බැවින්, ඇතැම් අවස්ථාවල ඔවුන් අසත්‍ය ප්‍රකාශ කළ හැකි ය.
"මිනිස්සු සියලු දෙනා ම මෙහෙයවන්නේ බැඳීම්වලින්," රෙඩ්ෆර්න් පවසයි. "දරුවන් ඔවුන් රැකබලා ගන්නා දෙමාපියන් මත යැපෙන බැවින්, ඔවුන් සමග ඇති එම සබඳතාව පවත්වා ගැනීමට උත්සහ කරනවා."
මුල් ළමා වියේදී, ඔවුන් ඔවුන්ව රැකබලා ගන්නන් වෙත සමීප කරවන දේ සහ ඔවුන් වෙන් කරන දේ ඉගෙන ගන්නා බව ඇය පවසයි. මෙය මනසේ තබාගෙන, දරුවෙකුට සත්‍යය පැවසීමට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමෙන් ඔබට ඔවුන්ව අවංක වීමට දිරිමත් කළ හැකි බව රෙඩ්ෆර්න් සිතයි.
"ඔවුන් වැරැද්දක් කළ විට අපට සත්‍යය පැවසීමට තරම් ආරක්ෂිත හැඟීමක් දරුවන්ට දැනෙන්න උපකාර කරන්න පුළුවන් ක්‍රම ගැන (අප) සිතා බැලිය යුතු යි... ඔවුන් කැමති නැහැ අපිව කලකිරීමට පත් කරන්න."
BBCහි The Traitors වැඩසටහනේ එක්සත් රාජධානියේ නවතම තරගාවලියේ ජයග්‍රාහිකාව වන රේචල් ඩෆි පවසන්නේ, තම දරුවන් තමන් සමග සත්‍ය වශයෙන් කතා කිරීමට පහසු වටපිටාවක් නිර්මාණය කිරීමට තමන් උත්සහ දරන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දරුවන්ගෙන් ඇත්ත දැනගන්න අප කළ යුත්තේ කුමක් ද?
දරුවන් තිදෙනෙකුගේ මවක් තම වැඩිමහල් පුත්‍රයා තම සහෝදරයාගේ බයිසිකලය ඉල්ලා ගෙන ගොස් එය මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ අවස්ථාවක් සිහිපත් කරයි. මුලදී, ඔහු සිදුවූ දේ පිළිබඳ අසත්‍ය පැවසීමට උත්සහ කර තිබිණි.
"මම ඔහුට කිව්වා, 'ඔයා මට ඇත්ත කිව්වොත් ලොකු කරදරයක වැටෙන්නේ නැහැ' කියලා. මම පොඩ්ඩක් පැත්තකට වෙලා ඔහුට පොඩි අවස්ථාවක් දුන්නා."
"එතකොට එයා කිව්වා, 'ඔව්, ඒ කළේ මම තමයි' කියලා. ඊට පස්සේ එයා දැනගෙන හිටියා එතැන ආරක්ෂිත යි කියලා. අපි සාකච්ඡා කළා - ශබ්ද නගා කතා කිරීමක් නෑ, ගෙරවීමක් නෑ, කෑ ගැසීමක් නෑ."
එවැනි තත්වයක් සමග කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ මෙය හොඳ උදාහරණයක් බවත්, ඔවුන්ට අවශ්‍ය නොවන ත්‍යාගයක් ඔවුන්ට ලැබෙන විට හෝ අනෙකුත් පුද්ගලයින් පිළිබඳ භෞතිකව විස්තර කරන විට අවස්ථාවලදී බොරුවක් හෝ සියුම් වෙනස්කමක් යොදා ගැනීමට සිදුවිය හැකි අවස්ථා තිබෙන බවත් රෙඩ්ෆර්න් පවසයි.
"මගේ දරුවන් මෑතකදී මට හරි ම සතුටින් කිව්වා මම ගොඩක් රැලි වැටිලා කියලා," ඇය පවසයි. "මම ඒක විවෘත කුතුහලයකින් භාර ගන්න උත්සහ කරනවා."
තමන් "රැළි වැටුණු" බව දරුවන් සිතන්නේ ඇයි ද යන්න පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීම ඇය ඒ සඳහා භාවිත කරන එක් ක්‍රමයක් බව රේචල් ඩෆි පවසයි.
"මගේ අදහස නම්, දරුවන් වයසින් වැඩෙද්දී ඔවුන් සමග විවෘතව, කුතුහලයෙන් යුතුව සංවාද කිරීමට හැකිවීම ඉතා වැදගත් බව යි. යමෙකුට නැවත නැවතත් සංවේදීත්වය පෙන්වා දී ආදර්ශයෙන් ද ඉගැන්වූ විට, එමඟින් අනෙක් පුද්ගලයාගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව හෙවත් සහානුභූතිය වර්ධනය වීමට විශාල ලෙස දායක වෙනවා," යැයි ඇය පැවසුවාය.






























![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)



