'ස්වාමීනී මට මතකයක් නෑ': ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ අතුරුදන් වීම් ගැන ගෝඨාභය අධිකරණයට කී කරුණු

ගෝඨාභය රාජපක්ෂ
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ බව කියන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවා මුළුමනින්ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (සැප්: 29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවීම සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ ය.

2011 වසරේ දෙසැම්බර් මස 10 වන දා සමාජ ක්‍රියාකාරිකයින් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාලව "සූම්" ඔස්සේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියේ ය.

අතුරුදන්වන්ගේ ඥාතීන් විසින් මෙම පැමිණිල්ල යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන අතර එහි සාක්ෂිකරුවෙකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබේ.

තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බවත් යාපනය හැර අන් ඕනෑම අධිකරණයක සාක්ෂි දීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහුගෙන් මෙලෙස සාක්ෂි සටහන් කර ගැණිනි.

'කීත් නොයාර් පැහැරගෙන යාම' ගැන කරුණු වාර්තා වුණා ද?

පැමිණිල්ලේ නීතිඥවරයා මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාර ගෝඨාභය රාජපක්ෂ තමා 2006 වසරේ සිට වසර 10ක් පමණ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බවත් ඉන් පසුව 2019 වසරේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ බවත් පැවසීය.

ඔබ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිදු වූ පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර තිබුණේ දැයි පැමිණිල්ලේ නීතිඥවරයා ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ "සෑම අතුරුදන්කිරීමක් ගැනම වාර්තා වෙන්නේ නැහැ. ප්‍රසිද්ධ සිද්ධීන් වාර්තා වෙනවා. ඒවා ගැන ඇහුවොත් මට කියන්න පුළුවන්," යනුවෙන් පිළිතුරු ලබා දුන්නේ ය.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඔබට කරුණු වාර්තා වුණේ දැයි නීතිඥවරයා ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ "එවැනි සිද්ධියක් වාර්තා වුණා. නමුත් ඒ ගැන මට දැන් විස්තර මතක නෑ. මොක ද මේවා අවුරුදු 15කට පමණ පෙර සිද්ධ වෙච්ච සිද්ධි. ඒවා ගැන කරුණු සොයලා බලලා සූදානම් වෙලා මම අද ආවේ නෑ," යනුවෙන් පැවසීය.

කීත් නොයාර් පැහැර ගැනීමෙන් පසුව ලලිත් අලහකෝන් නැමැත්තෙකු ඔබට දුරකතනයෙන් කතා කළා මතක ද? යනුවෙන් විමසීය.

'ස්වාමීනී මට එහෙම මතකයක් නෑ'

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ "ස්වාමීනී මට එහෙම මතකයක් නෑ. කවුරු කතා කළා ද කියලා. මේවා පරණ සිද්ධි නිසා හරි හැටි මතකයක් නෑ," යනුවෙන් සඳහන් කළේ ය.

මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් යුද හමුදාවේ ට්‍රිපොලි කඳවුරේ සාමාජිකයින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් වශයෙන් ඉදිරිපත් කළ බව ඔබ දන්නවාදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ය.

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ "නෑ මම දන්නේ නෑ" යනුවෙන් පැවසීය.

කීත් නොයාර් මරා දැමීමකින් තොරව නිදහස් කෙරුණේ ඔබ මැදිහත් වීම නිසා නේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු "නෑ... ස්වාමීනි, මම ඒක සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා," යනුවෙන් පැවසීය.

යළි ප්‍රශ්නයක් මතු කළ නීතිඥවරයා "ඔබ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ අවධියේ පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා නේද?" යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළේ ය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු" ස්වාමීනි... ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒවා අසත්‍ය චෝදනා. ඒවා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා," යනුවෙන් පිළිතුරු ලබා දුන්නේ ය.

එයින් අනතුරුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම නොවැම්බර් මස 27 දක්වා කල් තැබීමට ද අධිකරණය තීන්දු කළේ ය.

එදින අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙසත් අධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියෝග කර සිටියේ ය.