ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලකුණු 430ක් හඹාගොස් ශ්රී ලංකාව ලැබූ ලොව මවිත කළ ජය: මෙම තරගය ඓතිහාසිකව වැදගත් වන්නේ ඇයි?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
නව තරග වාර්තා රැසක් සමගින් ශ්රී ලංකාව අද (ඔක්: 22) එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරග ජයක් වාර්තා කළේ ය.
මෙම ජයග්රහණයත් සමග එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ දෙවන ඉහළ ම ලකුණු හඹා යාමේ වාර්තාවට හිමිකම් කීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පැවති මෙම තරගය, එක්දින ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් එක්ව රැස් කළ දෙවන ඉහළ ම ලකුණු සංඛ්යාව වන ලකුණු 859ක් වාර්තා වීම හේතුවෙන් ද විශේෂත්වයකි.
පකිස්ථානයේ රාවල්පිණ්ඩිහිදී පැවති මෙම තරගයේදී එක්දින ක්රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ලෝක වාර්තා සහ ශ්රී ලංකා/එංගලන්ත ක්රිකට් ඉතිහාසයේ නව තරග වාර්තා රැසක් ම බිහි විය.
මෙම තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම පකිස්ථානය හමුවේ ලකුණු 37කින් පරාජය විය. එංගලන්තය ද පකිස්ථානය හමුවේ ලකුණු 87ක පරාජයක් ලැබී ය.
අද තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දු වාර 50 අවසානයේ කඩුලු 4කට ලකුණු 429ක් රැස් කළ අතර, ප්රතිවාදී ශ්රී ලංකාව පන්දුවාර 49යි පන්දු 5කදී ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් තරගය කඩුලු දෙකකින් ජයග්රහණය කළේ, ලොවපුරා ක්රිකට් ලෝලීන් මවිතයට පත්කරමිනි.
දෙපිලෙන් ම අතිශය ප්රහාරාත්මක පිතිකරණයක් දැක ගත හැකි වූ මෙම තරගයේදී බිහි වූ ප්රධානතම තරග වාර්තා මෙසේ ය.
ලෝක ක්රිකට් ඉතිහාසය අලුත් කළ වාර්තා
එක්දින ඉතිහාසයේ 2 වන ඉහළ ම ලකුණු හඹා යාම: එංගලන්තය ලබා දුන් ලකුණු 430ක දැවැන්ත ඉලක්කය සාර්ථකව හඹා යමින් ශ්රී ලංකාව වාර්තා කළ මෙම ජයග්රහණය, ජාත්යන්තර එක්දින ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් සාර්ථකව හඹාගිය දෙවන ඉහළ ම ලකුණු සංඛ්යාව ලෙස ඉතිහාසයට එක්විය. එම වාර්තාවේ පළමු ස්ථානය හිමි කර ගෙන සිටින්නේ දකුණු අප්රිකාව යි.
අද ලැබූ ජයග්රහණය ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය සඳහා හඹාගිය දැවැන්ත ම සහ ඉහළ ම ලකුණු සංඛ්යාව වේ.
වේගවත් ම එක්දින ද්විත්ව ශතකය: එංගලන්ත නායක හැරී බෲක් පන්දු 114කදී සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කරමින් එක්දින ක්රිකට් ඉතිහාසයේ වේගවත් ම ද්විත්ව ශතකයේ ලෝක වාර්තාව තමන් සතු කර ගත්තේ ය. ඔහු බිඳ දැමුවේ පසුගිය මාසයේ ඉන්දියාවේ ෂුබ්මන් ගිල් පන්දු 117කදී තබා තිබූ වාර්තාව ය.
පකිස්ථාන භූමියේ වාර්තා වූ ඉහළ ම එක්දින ලකුණු සංඛ්යාව: එංගලන්තය කඩුලු 4කට ලබා ගත් ලකුණු 429 පකිස්ථාන ක්රීඩාංගණයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළ ම එක්දින ලකුණු සංඛ්යාව යි.
ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසය අලුත් කළ වාර්තා
ශ්රී ලංකාවේ ඉහළ ම එක්දින ලකුණු හඹා යාම: ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ජයග්රහණය සඳහා හඹා ගිය දැවැන්ත ම සහ ඉහළ ම ලකුණු සංඛ්යාව මෙය වේ (ලකුණු 430/8).
ශ්රී ලංකාවට එරෙහිව වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්යාව: එංගලන්තය රැස්කළ ලකුණු 429 ශ්රී ලංකා කණ්ඩායමකට එරෙහිව ප්රතිවාදී කණ්ඩායමක් ලබාගත් ඉහළ ම ලකුණු සංඛ්යාව ලෙස ද සටහන් විය.
මෙම තරගයේදී ඉනිම් දෙකේ ලකුණු එකතුව ලකුණු 859ක් වූ අතර, එය එක්දින තරගයකදී වාර්තා වූ ඉහළ ම දෙවන ලකුණු සංඛ්යාව විය.
එංගලන්ත ක්රිකට් ඉතිහාසයේ වාර්තා
හැරී බෲක්ගේ ඓතිහාසික වාර්තා
එක්දින ඉතිහාසයේ වේගවත් ම ද්විත්ව ශතකයේ ලෝක වාර්තාව: හැරී බෲක් පන්දු 114කින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කරමින් ලෝක ක්රිකට් ඉතිහාසයේ වේගවත් ම එක්දින ද්විත්ව ශතකයේ ලෝක වාර්තාව තමන් සතු කර ගත්තේ ය.
එංගලන්ත ක්රිකට් ඉතිහාසයේ ප්රථම එක්දින ද්විත්ව ශතකය: ජාත්යන්තර එක්දින ක්රිකට් ඉතිහාසයේ එංගලන්තය වෙනුවෙන් ද්විත්ව ශතකයක් (200) රැස්කළ ප්රථම සහ එක ම පිතිකරුවා බවට හැරී බෲක් පත්විය.
එංගලන්ත පිතිකරුවකුගේ ඉහළ ම එක්දින ලකුණු සංඛ්යාව: ඔහු පන්දු 116කදී නොදැවී රැස්කළ ලකුණු 202* එංගලන්ත ක්රීඩකයෙකු එක්දින තරගයකදී රැස්කළ ඉහළ ම තනි පුද්ගල ලකුණු සංඛ්යාව වේ. ඔහු බිඳ දැමුවේ බෙන් ස්ටෝක්ස් (ලකුණු 182) සතුව තිබූ වාර්තාව ය.
එක් ඉනිමකදී හතරේ පහරවල් සහ හයේ පහරවල්වලින් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්යාව: එම වාර්තාව තමන් සතු කර ගැනීමට හැරී බෲක් සමත්වූ අතර හතරේ පහර සහ හයේ පහරවල්වලින් ඔහු රැස් කළ ලකුණු සංඛ්යාව 144කි.
සෑම් කරන්ගේ අමිහිරි වාර්තාව
එංගලන්තය වෙනුවෙන් වැඩි ම ලකුණු ලබා දුන් පන්දු යැවීම: වේග පන්දු යවන ක්රීඩක සෑම් කරන් තමන් යැවූ පන්දුවාර 9කදී ලකුණු 103ක් ලබා දෙමින් එක්දින ඉනිමකදී එංගලන්ත පන්දු යවන්නෙකු ලබා දුන් වැඩි ම ලකුණු සංඛ්යාව වාර්තා කළේ ය.
ලකුණු පුවරුව
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ටොම් බැන්ටන් සහ බෙන් ඩකට් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 13යි පන්දු දෙකකදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ.
පන්දු 51කට මුහුණ දෙමින් ලකුණු 50ක් රැස් කරගෙන සිටි ටොම් බැන්ටන්ගේ කඩුල්ල දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය.
එංගලන්ත ඉනිමේ 16 වන පන්දු වාරයේදී බෙන් ඩකට් ලකුණු 29කට දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වූ අතර, ඒ වන විට එංගලන්ත ලකුණු පුවරුවේ සටහන් වූයේ කඩුලු දෙකක් දැවී ලකුණු 85ක් ලෙස යි.
ජෝ රූට් සමග එක් වූ නායක හැරී බෲක් එංගලන්ත ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක සබඳතාවක් ගොඩනැගූහ.
එංගලන්ත ඉනිමේ 38 වන පන්දු වාරයේදී ලකුණු 69ක් රැස් කරගෙන සිටි ජෝ රූට්ගේ කඩුල්ල දවා ගැනීමට අසිත ප්රනාන්දු සමත් විය.
ජෝ රූට් දැවී යාමෙන් පසු පිටියට පිවිසි විල් ජැක්ස් සමග එක් වූ හැරී බෲක් ප්රවේගකාරී පිතිකරණයක නිරත වෙමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්යාවක් කරා රැගෙන ගියේ ය.
හැරී බෘක් පන්දු 116කදී හතරේ පහර 21ක් සහ හයේ පහර 10ක් සමගින් ලකුණු 202ක් රැස් කළ අතර, ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ජනිත් ලියනගේ සමත් විය.
විල් ජැක්ස් පන්දු 30කදී නොදැවී ලකුණු 66ක් රැස් කළා. ඒ අනුව, එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු හතරක් දැවී ලකුණු 429ක් ලබා ගැනීමට සමත් විය.
කලකට පසු පිටිය හැඩ කළ අවිශ්ක
ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක පළමු පන්දු වාර පහ ඇතුළත බිඳ වැටිණි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 18කට දැවී ගිය අතර, එකදු පන්දුවකට හෝ මුහුණ නොදුන් නායක කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට හසු විය.
දිගින් දිගට ම අසාර්ථක පිතිකරණ රටාවක් පෙන්නුම් කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්රනාන්දු මෙම තරගයේදී යළිත් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම විශේෂත්වයක් විය.
අවිශ්ක ප්රනාන්දු සහ පවන් රත්නායක එක්ව ශ්රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 166ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ.
හතරේ පහර 11ක් සහ හයේ පහර දෙකක් සමගින් සිය ඉනිම වර්ණවත් කළ අවිශ්ක ප්රනාන්දු පන්දු 83කදී ලකුණු 97ක් රැස් කරගෙන සිටියදී ජැමී ඔවර්ටන්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ය.
ඒ වන විට ශ්රී ලංකා ලකුණු පුවරුවේ සටහන් වූයේ පන්දුවාර 27යි පන්දු එකක් අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 190ක් ලෙස ය.
පවන් සහ දසුන්ගේ ලකුණු හඹා යාම
අවිශ්ක ප්රනාන්දුගේ දැවී යාමෙන් පසු ශ්රී ලංකා ඉනිම ඉදිරියට ගෙන යාමේ වගකීම භාර ගත් පවන් රත්නායක එංගලන්ත පන්දු යවන්නන්ට සාර්ථක වීමට ඉඩ නොදෙමින් වේගවත් මෙන් ම සංයමයෙන් යුත් පිතිකරණයක නිරත විය.
ශ්රී ලංකා ඉනිමේ සිව් වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක සබඳතාවක් ගොඩනැගීමට දසුන් ශානක සහ පවන් රත්නායක සමත් වූහ.
පවන් රත්නායක පන්දු 106කදී හතරේ පහර 15ක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 130ක් රැස් කරගෙන සිටියදී සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ය.
පවන් රත්නායක එක්දින තරග දිවියේ රැස් කළ දෙවන ශතකය මෙය වූ අතර, ඔහු එම ශතක දෙක ම එංගලන්තයට එරෙහිව රැස් කර තිබීම ද විශේෂත්වයකි.
පවන් රත්නායකගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ජනිත් ලියනගේ සමග එක් වූ දසුන් ශානක එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් පිතිකරණයක නිරත වූහ.
ඔහු පන්දු 50කදී හතරේ පහර හයක් සහ හයේ පහර අටක් සමගින් ලකුණු 97ක් රැස් කිරීමට සමත් විය. ඔහු ද ශතකය අබියස අවාසනාවන්ත ලෙස උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ය.
දසුන් ශානක ශ්රී ලංකා ඉනිමේ පස් වන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ, පන්දු වාර 44ක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 363ක් ලෙස ය.
රාවල්පිණ්ඩි පිටිය දෙවනත් කළ ජනිත්
දසුන් ශානක දැවී යාමෙන් පසු එංගලන්තයට එරෙහි තරගය ජය ගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට පන්දු 36කදී ලකුණු 67ක් අවශ්ය විය.
ශ්රී ලංකා ඉනිමේ අවසන් අදියරේදී ජයග්රහණය කරා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාර ගත්තේ ජනිත් ලියනගේ ය.
ශ්රී ලංකා ඉනිමේ අවසන් පන්දු වාරයේදී දුනිත් වෙල්ලාලගේ සහ එෂාන් මාලිංගගේ කඩුලු දෙක දවා ගනිමින් යළි තරගයට අවතීර්ණ වීමට එංගලන්තය උත්සාහ කළේ ය.
කෙසේ වෙතත්, අවසන් පන්දුවට පෙර පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට ජනිත් ලියනගේ සමත් විය.
ජනිත් ලියනගේ පන්දු 27කදී වේගවත් ලකුණු 61ක් රැස් කරමින් ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයට තීරණාත්මක දායකත්වයක් ලබා දුන්නේ ය.