ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතු සහ ප්‍රධාන පුහුණුකරුගේ ඉදිරි සැලසුම්

    • Author, කුමුදු ජයවර්ධන
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් දරුණු පසුබෑමකට ලක්ව තිබේ.

2026 වසරේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ ක්‍රිකට් තරග 21කින් (එක්දින, ටෙස්ට් සහ T20) ජයග්‍රහණය කර ඇත්තේ, තරග 6කින් පමණි.

විශේෂයෙන්, පසුගිය දා එංගලන්තය සමග පැවති පන්දු වාර 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාසය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය.

හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තරගය අතරතුර විස්තර විචාරයට එක්වෙමින් පවසා තිබුණේ‍්, එංගලන්තයට එරෙහිව ලැබූ පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තේරීම, ස්ථාවරත්වය සහ ශාරීරික යෝග්‍යතාව ආදී කරුණු බලපෑ බව ය.

මේ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර විචාරක රසල් ආනල්ඩ් 'Chilling With Russel' යූටියුබ් නාලිකාව ඔස්සේ පළ කළ වීඩියෝවක සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතාව තරග පරාජයන්ට ඍජුව බලපෑ බව ය.

විශේෂයෙන් උඩපන්දු කිහිපයක් ගිලිහී යාම හේතුවෙන් එංගලන්ත පිතිකරුවන් දවා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් අහිමි වූ බව රසල් ආනල්ඩ් පෙන්වා දුන්නේ ය.

'පැරදුණ එක නෙවෙයි පැරදුණ ආකාරය තමයි ප්‍රශ්නය'

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

එහිදී, ඔහු පෙන්වා දුන්නේ, එංගලන්තයේදී එංගලන්තය වැනි ප්‍රබල තත්ත්වයක පසුවන කණ්ඩායමක් පරාජය කිරීම අසීරු කටයුත්තක් බව ය.

කෙසේ වෙතත්, තරග පරාජයට පත්වූ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ඔහු පැවසීය.

"එංගලන්තය පරාජය කිරීම ලේසි නෑ. ඉන්දියාවත් පරාජය වුණා එංගලන්තයේදී. අපට තියෙන ප්‍රශ්නෙ තමයි මේ කණ්ඩායම් දෙක අතරෙ තියෙන පරතරය. අනිත් එක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වෙන විදිහ. උදාහරණයක් විදිහට T20 තුන ම පළවෙනියට බැට් කරලත් පරාදයි. බෝල් කරලත් පරාදයි. පරදින්නෙ ඉතාමත් සවුත්තු විදිහට. එකක 250ක් ගහනව, ඊළඟට අපි ගහන්නෙ 140යි, 120 ගාණයි. ඒක බොහොම පහසුවෙන් ඒගොල්ලන් ජයග්‍රහණය කරනවා. අපට තියෙන ප්‍රශ්නෙ පැරදීම නෙවෙයි. මට තියෙන ප්‍රශ්නෙ අපි T20 එක සහ එක්දින එක පැරදුණ ආකාරය ගැන. එක්දින එක බැලුවොත් අපි මාර වින් එකක් දෙවෙනි එකේ. නමුත් ඊළඟ දෙක අපි පැරදිච්ච විදිහ බලන්න. ඉතින් ඔතන තමයි ගැටලුව තියෙන්නේ."

'T20 ක්‍රීඩකයින් සොයන්න වෙන ම ක්‍රමවේදයක් අවශ්‍ය යි'

මේ අතර, T20 ක්‍රිකට් ආකෘතිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව රොෂාන් අබේසිංහගේ අදහස ය.

"T20 ක්‍රිකට් කියන එක අපි වෙන ම ගන්න ඕන ගේම් එකක්. ඒක අපිට එක්දින තරගත් එක්ක පටලවගන්න බැහැ. ඒ දෙක දෙකක්. මම අහනව සරල ප්‍රශ්නයක්. T20 ක්‍රීඩකයන් බිහි වෙන්න අපි ගහන තරගාවලි ප්‍රමාණවත් ද? හරි සරලයි. අපි T20 ක්‍රීඩකයන්ව හඳුනාගන්න කරන්නා වූ උපක්‍රම ප්‍රමාණවත් ද? ඒක අපි විමසා බැලුවොත් අපට උත්තරේ තියෙනවා. ඉන්දියාව ගන්න උදාහරණයක් වශයෙන්. ඉන්දියාවෙ IPL ආකෘතිය ලෝකෙ හැම ආකෘතියට ම කිට්ටුයි. දේශීය සහ විදේශීය ක්‍රීඩකයො ගහන විදිහ. හැබැයි ඉන්දියාවෙ එක වෙනසක් තියෙනව මම දකින. ඔය IPL එක වගේ ම ඉන්දියාවෙ ප්‍රාන්ත මට්ටමෙන් ඒකට කිට්ටු ටූනමන්ට් එකක් ගහනව. එතකොට ඒ ප්‍රාන්තවල හොඳ ම ක්‍රීඩකයො සෙල්ලම් කරනව. එතනින් හොඳට කරන අයව IPL එකට ගන්නවා. එතනින් ඊට පස්සෙ ඉන්දියානු කණ්ඩායමට."

"LPL එකේ අලුත් ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. LPL ගත්තා ම එක ටීම් එකකට පිටරට ක්‍රීඩකයො තුන් දෙනෙක් හතර දෙනෙක් ගහනව. ඊළඟට ගහන්නෙ අපේ හොඳ ම අත්දැකීම් තියෙන අය. ලංකාව නියෝජනය කරපු අය තව තුන් හතර දෙනෙක් ගහනව. එතකොට හතරයි තුනයි 7යි. ඊළඟට ලංකාව වෙනුවෙන් මැච් එකක් දෙකක් ගහල එළියෙ ඉන්න අය ගහනව. එතන කිසි ම නවක ක්‍රීඩකයෙකුව බලන්න බැහැ. අපට තියෙන්න ඕනෙ මොඩ්ල් එකක් නවක ක්‍රීඩකයො පෙනෙන."

ශ්‍රේණිගත කිරීම්

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ආකෘති තුනෙන් ම ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමකට ලක්ව සිටී.

ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට පසුවන්නනේ, 7 වන ස්ථානයේ ය.

එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ද ශ්‍රී ලංකා කණ්ඩායම 7 වන ස්ථානයේ පසු වන අතර, ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලිය ජය ගත් එංගලන්තය 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

T20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ තත්ත්වය තවදුරටත් පසුබෑමකට ලක්ව තිබේ.

එනම්, ශ්‍රී ලංකාව පසුවන්නේ, 9 වන ස්ථානයේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන්ගේ සැලසුම් මොනවා ද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් මාධ්‍යවේදීන් ඉදිරියේ පැහැදිලි කිරීමක් කළේ ය.

එහිදී, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරය සහ ඔවුන්ගේ කාර්ය සාධනය පිළිබඳව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් දැක්වූයේ මෙවන් අදහසකි.

"ඇත්ත ම කිව්වොත් අපි කනගාටු වෙනවා. අපි ක්‍රීඩා කළ තරග 6 පුරාවට ම වඩා හොඳ තරගකාරී ක්‍රිකට් රටාවක් පෙන්නුම් කිරීමට සහ අප ගැන වඩා හොඳ ප්‍රතිරූපයක් තැබීමට බලාපොරොත්තුවෙන් හිටියා. අවසන් එක්දින තරගයේදී අපට කළ හැකි දේ අපි පෙන්නුම් කළ අතර, ප්‍රබල එංගලන්ත පිතිකරණ බලඇණිය ලකුණු 260කට ආසන්න ප්‍රමාණයකට සීමා කරමින් පළමු එක්දින තරගයේදී අපි ඉතා හොඳින් පන්දු යැවූ බව මම හිතනවා. නමුත් එක් තරගයක් හැරුණු විට මුළු තරග මාලාව පුරා ම පිතිකරණයෙන් සාර්ථක වීමට අපට හැකි වුණේ නැහැ. තරගයකදී තරගකාරී වීමට නොහැකි වූ විට සමහර පරාජයන් සැබවින් ම රිදවනවා. අපගේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපි වැඩිදියුණු කර ගත යුත්තේ එය යි. නමුත් ඕනෑ ම ජාත්‍යන්තර කණ්ඩායමකට එරෙහිව සැබවින් ම තරගකාරී විය හැකි කණ්ඩායමක් ගොඩනැගීමට අපට හැකි බව අපි දන්නවා."

"කණ්ඩායම් පිතිකරණය සම්බන්ධයෙන්, මෙම සංචාරයට පෙර තේරීම් කමිටුව සමග ඔබ කොතරම් දුරට සන්නිවේදනය කළා ද? සහ ඔබ තවමත් එම ක්‍රියාවලිය වටහා ගනිමින් සිටිනවා ද? නැතහොත් ඊට සම්බන්ධ වී සිටිනවා ද?" යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට ප්‍රධාන පුහුණුකරු දුන් පිළිතුර මෙසේ ය.

"ඔව්, සැලකිය යුතු සන්නිවේදනයක් තිබුණා. විස්සයි20 කණ්ඩායමේ සිටි අපගේ ඉහළ පෙළ පිතිකරුවන් අට දෙනා ම LPL තරගාවලියේ වැඩි ම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් 10 දෙනා අතර සිටි අයයි, එබැවින් අපි තෝරාගත් පිරිස ගැන අපි සතුටු වුණා; ඔවුන් සැමගේ ම ලකුණු රැස් කිරීමේ වේගය (strike rate) 150ට වැඩි යි. එබැවින් එම ක්‍රීඩකයින් ගැන අපි සතුටු වුණා. ඉදිරියට යද්දී කණ්ඩායමට එකතු කර ගත හැකි, හොඳින් පන්දුවට පහර දීමේ හැකියාව ඇති තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පැමිණෙමින් සිටිනවා. නමුත් මට වැදගත් දේ නම්, අපගේ ප්‍රධාන දේශීය විස්සයි20 තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තෝරා ගැනීම නරක දෙයක් නොවන අතර අපට ඉදිරියට යාමට තිබෙන්නේ ඒ මත යි. ලහිරු උදාර හෝ කමිල් මිෂාර වැනි අය LPLහිදී ඉතා හොඳින් දක්ෂතා දැක්වූ අතර හොඳ තරග අත්දැකීමක් ලබා ගත්තා."

ඉදිරියේදී ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුත්තේ කුමක් කෙරෙහි ද?

"ලෝක කුසලානයට තව වසරක් පමණක් තිබෙන බැවින් එක්දින ආකෘතිය ඉතා වැදගත් වෙනවා, එබැවින් අපි මේ වන විට එක්දින කණ්ඩායම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර සිටිනවා. අපට ඉදිරියට එක්දින ක්‍රිකට් තරග රැසක් වගේ ම මාර්තු මැද භාගය දක්වා ටෙස්ට් තරග 6ක් ඉතිරිව තිබෙනවා. එබැවින් මෙම ආකෘති දෙක මේ මොහොතේ මූලික ප්‍රමුඛතාවක්.

"මගේ අධීක්ෂණය යටතේ අප තවමත් සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගෙන නොමැති වුව ද, ටෙස්ට් පැත්තෙන් මා දකින දේ ගැන මම සතුටු වෙනවා. අපි ටෙස්ට් පැත්තෙන් නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා. එක්දින කණ්ඩායම අපගේ වඩාත් ම පළපුරුදු කණ්ඩායම වන අතර, එක්දින කණ්ඩායමක් ලෙස අප ක්‍රීඩා කිරීමට අවශ්‍ය ආකාරය සහ සෑම කෙනෙකු ම ඉටු කළ යුතු කාර්ය භාරයන් මොනවා දැයි නිවැරදිව සකස් කර ගත් පසු, අපි නිවැරදි මාර්ගයට පිවිසෙනු ඇතැයි මම සිතනවා."

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරියේදී යම් වෙනස්කම් සිදුවේ ද? යන්න පිළිබඳව විමසූ විට ගැරී කර්ස්ටන් මෙසේ පැවසීය.

"විශාල වෙනස්කම් කිරීමට මම පෞද්ගලිකව කැමති නෑ. මොක ද, දැනට සිටින හොඳ ම ක්‍රීඩකයින් ලෙස අප තෝරා ගත් ක්‍රීඩකයින් සංවර්ධනය කිරීමට මට අවශ්‍ය යි. ඇතැම් ක්‍රීඩකයින්ගේ සංවර්ධනය සම්බන්ධයෙන් කළ යුතු වැඩ කොටසක් තිබෙනවා. කණ්ඩායමක් නිතර වෙනස් කරන විට එක ම ක්‍රීඩකයින් පිරිස සමග වැඩ කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ, එහෙම වුණා ම ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරන්න අසීරු යි."

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුකළ වෙනස්කම්

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් 2026 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සහ ශක්තිමත් කිරීම අරමුණු කර ගත් නව ක්‍රිකට් පරිවර්තන කමිටුවක් (Cricket Transformation Committee) පත් කරනු ලැබීය.

ජූලි මාසයේදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මණ්ඩල රැස්වීම අවසානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩලය ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා ක්‍රිකට් පාලනය, සාමාජිකත්වය සහ සාමාජික ආධාර සම්බන්ධ තීරණ රැසක් අනුමත කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා තිබේ. එය ඔවුන් දක්වා ඇති ප්‍රමුඛ අවශ්‍යතාවකි.

ඒ අනුව, නිලවරණය පවත්වා අවසන් වනතුරු ICC මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව තවදුරටත් අහිමි වනු ඇත.

මේ අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් 28 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතේ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී.