ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මගී ප්‍රවාහන වාහනවල යෝග්‍යතාව පරීක්ෂා කිරීමට ගෙන එන නව නීතිය ගැන ඔබ දැනගත යුතු කරුණු 4ක්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
මගී ප්‍රවාහනය කරන වාහන සඳහා වසරකට වරක් සිදු කළ යුතු යෝග්‍යතා පරීක්ෂාවට අමතරව ඉදිරියේදී එම වාහන සමාන්‍ය මට්ටමේ රථ වාහන යෝග්‍යතා පරීක්ෂාවකට ද ලක් කිරීමට අවශ්‍ය නීති රජය සකස් කරමින් සිටී.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සැප්. 8 වන දා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් පැවසුවේ, මගී ප්‍රවාහන වාහන සාමාන්‍ය යෝග්‍යතා පරීක්ෂාවක් සිදුකර සහතිකයක් ලබා ගත යුතු බව ය.
"තමන්ගේ ගමන් යන වාහන මේකට අයිති වෙන්නේ නැහැ. ඒවත් කර ගත්තට කමක් නැහැ. මගීන් ප්‍රවාහන කරනවා නම්, බස් හරි, ඔෆිස් හරි, ස්කූල් වෑන් හරි, ට්‍රිප් එකක් ගියා වුණත්, අනිවාර්ය වශයෙන් ම එවැනි වාහන කිලෝ මීටර් 5,000ට අඩුවෙන් හෝ මාස 3කට අඩු කාලයකදී සමාන්‍ය මට්ටමේ රථ වාහන යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණ සහතිකයක් ලබා ගත යුතු යි," අමාත්‍යවරය පැවසීය.
මෙම යෝග්‍යතා පරීක්ෂණය රුපියල් 1,500 -2,000 අතර මුදලකින් සිදුකර ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, පසුගිය කාලයේ සිදුවූ රිය අනතුරුවලින් පසු මගී ප්‍රවාහන වාහන නිසි පරිදි නඩත්තු නොකරන බවට අනාවරණය වීම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බව ය.
මීට අදාළ නියෝග අංක 2489/22 ගැසට් පත්‍රයෙන් 2026 මැයි 19 වන දා ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
මෝටර් වාහන පනතේ බලතල අනුව නිකුත් කරන ලද එම නියෝග 2026 ජූනි 30 දින සිට ක්‍රියාත්මක විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.
මගී බස් රථ දෙකකට තහනම් නියෝග
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දු ද සැප්තැම්බර් 9 වන දා පැවති මාධ්‍ය හමුවකදී මෙම යෝග්‍යතා පරීක්ෂාව පිළිබඳව අදහස් දැක්වීය.
පසුගිය කාලය තුළ සිය දෙපාර්තුමේන්තුව මගී ප්‍රවාහන බස් රථවල යෝග්‍යතාව පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ කරුණු කිහිපයක් ඔහු එහිදී හෙළි කළේ ය.
"බැස්ටියන් මාවතේ බස් 136ක් පරීක්ෂාවට ලක් කළා. ඒ 136න් බස් රථ දෙකකට තහනම් නියෝග ලබා දුන්නා. ඊට අමතරව බස් රථ 105කට නඩත්තු නියෝග ලබා දීලා තියෙනවා," ඔහු පැවසීය.
එමෙන් ම, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ද වාහන 103ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් වාහන 31කට නඩත්තු නියෝග ලබා දුන් බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
1. යෝග්‍යතාව පරීක්ෂා කර ගත යුතු වාහන මොනවා ද?
ජාතික ගමනාගමන කොමිෂන් සභාව හෝ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියක් විසින් නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සේවා, කාර්යාලයීය ප්‍රවාහන සේවා හෝ විශේෂ චාරිකා සඳහා යොදාගනු ලබන සෑම මෝටර් කෝච් රථයක්, සැහැල්ලු මෝටර් කෝච් රථයක් හෝ ද්විත්ව කාර්ය වාහන පංතියේ ලියාපදිංචි කරන ලද වෑන් රථ මීට අයත් ය.
එමෙන් ම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සේවා හෝ විශේෂ චාරිකා සහ කුලී පදනම මත කරගෙන යනු ලබන විශේෂ චාරිකා සඳහා යොදාගනු ලබන සෑම මෝටර් කෝච් රථයක්, සැහැල්ලු මෝටර් කෝච් රථයක් හෝ ද්විත්ව කාර්ය වාහන පංතියේ ලියාපදිංචි කරන ලද වෑන් රථ යෝග්‍යතා පරීක්ෂාවට ලක් කළ යුතු බව ද අදාළ නියෝගවල දැක්වේ.
තව ද, මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කරනු ලබන සහතික කිරීමේ නිලධරයකු විසින් අදාළ වාහනය මාර්ගයේ ධාවනයට සුදුසු බවට භෞතික ලෙස පරීක්ෂා කර සනාථ කරමින් එම ගැසට් නිවේදනයේ සඳහන් අකෘතිය අනුව සහතිකයක් නිකුත් කළ යුතු ය.
2. සහතිකය වලංගු කාලය?
එම සහතිකය නිකුත් කරන අවස්ථාවේදී සටහන්ව ඇති ධාවන මනු දර්ශකය (mileage meter) කියවූ අගයේ සිට කිලෝමීටර් පන්දහසක දුරක් වාහනය ධාවනය කර ඇති දිනය හෝ, එසේ නිකුත් කරනු ලබන දින සිට මාස තුනක කාල සීමාවක් ඉකුත් වන දිනය යන දින දෙකෙන් පළමුව එළඹෙන දිනය දක්වා පමණක් අදාළ සහතිකය වලංගු වේ.
නිදසුනක් ලෙස, එම සහතිකය 2027 ජනවාරි 1 වන දා නිකුත් කරන අවස්ථාවේදී වාහනයේ ධාවන මනු දර්ශකයේ කිලෝමීටර් 50,000ක් ලෙස සටහන් වී තිබේ යැයි සිතමු.
එවිට එම වාර්තාව ලබාගෙන මාස 3ක් ගත වීමට ප්‍රථම, වාහනය තවත් කිලෝමීටර් 5,000ක් ධාවනය කර කිලෝමීටර් 55,000ට ළඟා වුවහොත් සහතිකය තවදුරටත් වලංගු නොවේ.
එසේ නොමැති නම්, 2027 ජනවාරි 1 සිට මාස 3ක කාලයක් ගත වන විට ඔබ කිලෝ මීටර් 5,000ක් ධාවනය කර නැතත්, මාස 3ක කාලයක් ගත වී ඇති නිසා සහතිකය තවදුරටත් වලංගු නොවේ.
එබැවින්, කිලෝමීටර් 5,000 සීමාවට ළඟාවන දිනය සහ මාස තුන සම්පූර්ණ වන දිනය යන දෙකෙන් පළමුව එළඹෙන දිනයේදී සහතිකයේ වලංගු කාලය අවසන් වේ.
සහතිකයේ වලංගුභාවය අවසන් වූ පසු, වාහනය නැවත පරීක්ෂාවට ලක් කළ යුතු අතර එම වාහනය සම්බන්ධයෙන් අලුත් සහතිකයක් ලබාගත යුතු බව අදාළ නියෝගවල දක්වා ඇත.
3. යෝග්‍යතාව පරීක්ෂා කරන තැනැත්තා සතු විය යුතු සුදුසුකම් මොනවා ද?
එසේ මෝටර් රථ පරීක්ෂා කිරීම හා සහතික කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු සතු විය යුතු සුදුසුකම් ද ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.
ඒ අනුව, මෝටර් රථය පරීක්ෂා කර සහතිකය නිකුත් කරනු ලබන තැනැත්තා මෝටර් වාහන කාර්මික ශිල්පය පිළිබඳ N.V.Q. IV වන මට්ටමේ සුදුසුකමක් හෝ ඊට සමාන සුදුසුකමක් ලබා ගෙන තිබිය යුතු ය
එමෙන් ම, පරීක්ෂා කිරීම් පැවැත්වීම සඳහා බලය ලත් ආයතනයක් හෝ ගරාජයක් හරහා අයැදුම් කිරීමෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගැනීම ද අනිවාර්ය වේ.
"යම් තැනැත්තකු (1) වන අනුනියෝගයේ නිශ්චිතව දක්වා ඇති නියමයන් සපුරා ඇති බවට මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා විසින් සෑහීමකට පත් වීමෙන් පසුව, එම තැනැත්තා පත්වීමේ ලිපියෙහි නිශ්චිතව දක්වා ඇති යම් කොන්දේසිවලට යටත්ව පත් කරනු ලැබිය යුතු ය," යනුවෙන් ගැසට් නිවේදනයේ දක්වා ඇත.
මෙම නියෝගයේ දක්වා ඇති මෝටර් කෝච් රථයක්, සැහැල්ලු මෝටර් කෝච් රථයක් හෝ ද්විත්ව කාර්යය වාහන පන්තිය යටතේ ලියාපදිංචි කරන ලද වෑන් රථයක් පරීක්ෂා කිරීම සඳහා මගී බස් සේවා ආරම්භ වන ස්ථානවල, ගමනාන්තවල, සියලු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු ඩිපෝවල සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ ගරාජවල ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබිය යුතු ය.
'රථය ධාවනය කරන විට යෝග්‍යතා සහතිකය තිබිය යුතු යි'
එසේ පරීක්ෂා කර ලබා ගන්නා සහතිකයේ එක් පිටපතක් රියැදුරා සන්තයේ සහ, එහි දෙවන පිටපත සහතික කිරීමේ නිලධරයා සතුව තබාගත යුතු බවට නියෝග කර තිබේ.
රියැදුරන් විසින් රථ වාහනය ධාවනය කරන අතරතුර සෑම වේලාවකදී ම යෝග්‍යතා සහතිකය සන්තකයේ තබා ගත යුතු අතර බලයලත් නිලධරයකු විසින් ඉල්ලා සිටින විට පරීක්ෂා කිරීම සඳහා එම සහතිකය ඉදිරිපත් කළ යුතු බවත් ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මෝටර් වාහන යෝග්‍යතා පරීක්ෂා කිරීමේ නියෝග සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ ඊට අදාළව නිකුත් කළ යුතු සහතිකයේ අකෘතියක් සහ කළ යුතු අවම පිරික්සීම් ගැන ද කරුණු දක්වා ඇත.