ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීමේදී 'කලබලයට පත් නොවුණු' බව ට්‍රම්ප් කියයි
- Author, ඉමොජන් ජේම්ස්, හෙලන් සුලිවන්, ටැබී විල්සන්
- කියවීමේ කාලය: මිනිත්තු 8
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙමින් තිබියදී තුවක්කුකරුවෙකු කඩා වැදීමට උත්සහ කළ අවස්ථාවේ තමන් "කලබලය පත් නොවූ බව" ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"මම කලබල වුණේ නැහැ. මට ජීවිතය ගැන තේරෙනවා. අපි ජීවත්වෙන්නේ උමතු ලෝකයක් තුළ," යැයි ට්‍රම්ප්, සෙනසුරාදා රාත්‍රියේ වොෂින්ටන් ඩීසීහි හෝටලයක සිදුවූ වෙඩි තැබීමෙන් දිනකට පසු, CBS පුවත් සේවයේ 60 Minutes වැඩසටහන සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
එක්සත් ජනපද මාධ්‍ය වාර්තා අනුව, සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නමැත්තෙකි. භෝජන සංග්‍රය අතරතුර සැකකරු ආරක්ෂක මුරපොළක් අසල වෙඩි තැබීමක් සිදු කළ බවත් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය. සැකකරු සඳුදා (අප්‍රේල් 27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ෆෙඩ්රල් විමර්ශන කාර්යාංශයේ අපරාධ විමර්ශන සහ ත්‍රස්ත කාර්ය සාධක බළකාය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටී.
එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලාන්ච් පැවසුවේ, "මූලික" විමර්ශන අනුව, සැකකරු භෝජන සංග්‍රහයට පැමිණ සිටි ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් "ඉලක්ක කරන්නට ඇති බවත්" ඔහුගේ අරමුණ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවත් ය.
සෙනසුරාදා පැවති එම භෝජන සංග්‍රහයට, උපජනාධිපති ජේ.ඩී. වෑන්ස්, සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර්, මාධ්‍ය ලේකම් කැරොලයින් ලේවිට් සහ ජ්‍යේෂ්ඨ උපදේශක ස්ටීවන් මිලර් ඇතුළු, ට්‍රම්ප් රජයේ ඉහළ තනතුරු දරන්නෝ සහභාගී වී සිටියහ.
ආරක්ෂාව සඳහා එම මොහොතේ ම ට්‍රම්ප් එම ස්ථානයෙන් ඉවත් කළ අතර, ඔහු සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට මෙසේ පැවසීය: "මේකට වඩා භයානක වෘත්තියක් තවත් තියෙනවා ද කියලා මට හිතාගන්න බැහැ."
ඉරිදා නිකුත් කළ ප්‍රකාශයකදී, ධවල මන්දිරය පැවසුවේ, "ඝාතන තැතින් දිවි ගලවා ගත්" ට්‍රම්ප් ඇතුළු කැබිනට් සාමාජිකයින් "තවදුරටත් නිර්භයව" පසුවන බව ය.
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වෙයිජියා ජියැං, මෙය "බිහිසුණු" ප්‍රහාරයක් ලෙස විස්තර කළා ය.
ඉරිදා, භෝජන සංග්‍රහයේදී ට්‍රම්ප් අසල ම හිඳගෙන සිටි ජියැං, "දහස් ගණනක් අමුත්තන් ආරක්ෂා කළ" ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූති කළා ය.
ෆොක්ස් නිව්ස් වෙත ප්‍රකාශයක් කරමින් ඉරිදා ට්‍රම්ප් පැවසුවේ, සැකකරුගේ "හදවත තුළ දිගු කාලයක් පුරා ද්වේෂසහගත හැඟීම් පිරී තිබුණු" බවත් ඔහුට "ගැටලු" පැවති බව ඔහුගේ පවුලේ සාමාජිකයින් දන්නා බවත් ය. ඔහු තවදුරටත් පැවසුවේ, සැකකරු සතුව ඔහුගේ විශ්වාසයන් ගැන සඳහන් "ප්‍රකාශනයක්" තිබූ බවත්, ඔහු "ඉතා දැඩි ක්‍රිස්තියානි විරෝධී" අයෙකු බවත් ය.
31 හැවිරිදි ඇලන් සමාජ මාධ්‍යවල ට්‍රම්ප් විරෝධී අදහස් පළ අයෙකු බවට පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
සෙනසුරාදා එරට වේලාවෙන් රාත්‍රී 8.35ට (GMT 00:35), වොෂින්ටන් හිල්ටන් හෝටලයට ඇතුළු වන ස්ථානයේ යමෙකු වෙඩි තබන හඬ ඇසෙන්නට විය. ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවතියේ ඊට පහළ මහලේ ඇති ශාලාවක ය.
ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් සහ උපජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරීන් විසින් කඩිනමින් ඉන් ඉවත් කරනු ලැබූහ.
ට්‍රම්ප් එම ස්ථානයෙන් ඉවත් කිරීමට මොහොතකට පෙර ජේ.ඩී. වෑන්ස් ආරක්ෂක නිලධාරීන් විසින් ඉවත් කරනු ලබන අයුරු දැක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඇතැම් පිරිස් ඔහු ට්‍රම්ප්ට පෙර ඉවත් කර ගත්තේ මන්ද යන්න ප්‍රශ්න කළහ.
ඉරිදා දින 60 Minutes වැඩසටහන සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී, ට්‍රම්ප් පැවසුවේ, ආරක්ෂකයන්ට "තම සහය ඔවුන් අපේක්ෂා කළ පරිදි නොලැබුණු බැවින්" ඔවුන්ට තමාව ශාලාවෙන් ඉවත් කර ගැනීම "එතරම් පහසු නොවූ" බව ය.
"මට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනේ වුණා... මොකක් ද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න හිතුණා. ඒ වෙලාවේදී තමයි අපිට හිතුණේ, මේක බරපතළ ගැටලුවක් වෙන්න පුළුවන් කියලා," යැයි ඔහු පැවසීය.
එක් අවස්ථාවකදී, ආරක්ෂක නිලධාරීන් ඔහුට මුවා වන ලෙසත්, "පහත් වන ලෙසත්," පැවසූ බව ට්‍රම්ප් පැවසීය. ඔහු තම ආරක්ෂක කණ්ඩායම "විශිෂ්ට නිලධාරීන්" ලෙස ප්‍රශංසා කළේ ය.
නිලධාරීන් පවසන්නේ,ආරක්ෂක අංශ සහ සැකකරු අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර පසුව ඔහු මැඩපැවැත්වූ බව ය. සැකකරු ද තම ගිනිඅවිය යොදාගෙන ප්‍රහාර එල්ල කළ බවට "විශ්වාස කරන" බව ඔවුහු පැවසූහ. ඔහුට වෙඩි නොවැදුණු අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රෝහල්ගත කෙරිණි.
ඔහු සතුව ගිනිඅවි දෙකක් සහ පිහි කිහිපයක් ද තිබූ බව පොලිසිය පැවසීය.
බීබීසී හවුල්කාර පුවත් ඒජන්සිය වන CBS පුවත් වෙත, කෝල් ඇලන්ට සම්බන්ධ යැයි විශ්වාස කරන ලියවිල්ලක් ලැබුණු අතර අනෙක් එක්සත් ජනපද මාධ්‍ය ද එම ලේඛනය පිළිබඳව වාර්තා කර තිබිණි.
තුවක්කුකරුට ට්‍රම්ප් පරිපාලනයේ "ඉහළ ම සිට පහළ ම මට්ටම දක්වා" සාමාජිකයින් ඉලක්ක කර ගැනීමට අවශ්‍ය වූ බවත්, අමුත්තන් සහ හෝටල් කාර්ය මණ්ඩලය අපේක්ෂිත ඉලක්ක නොවූවත්, නිලධාරීන් වෙත ළඟා වීමට අවශ්‍ය නම් ඔවුන්ට ද පහර දෙන බවත් එහි සඳහන් වේ.
ඔහුගේ සහෝදරයා එය ලැබීමෙන් පසු කනෙක්ටිකට්හි පොලිසිය ඇමතූ බවට වාර්තා වේ. කනෙක්ටිකට්හි නිව් ලන්ඩන් පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ, වෙඩි තැබීමෙන් පැය කිහිපයකට පසු එම පණිවිඩය ලද බවත් ඒ මොහොතේ ම ඔවුන් ෆෙඩ්රල් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කළ බවත් ය.
'ප්‍රතිපත්ති ප්‍රකාශනයක්' ලෙස විස්තර කර ඇති එය ප්‍රහාරය එල්ල කිරීමට පෙර සැකකරුගේ පවුලේ සාමාජිකයින්ට යවා ඇති බව වාර්තා වන නමුත් මෙම ලියවිල්ල ස්වාධීනව සත්‍යාපනය කිරීමට බීබීසී පුවත් සේවයට නොහැකි විය.
ඉරිදා පැවති 60 Minutes සම්මුඛ සාකච්ඡාව අතරතුර, කිසිදු පුද්ගලයෙකුගේ නම සඳහන් නොකර සැකකරු එම ලියවිල්ලේ සඳහන් කර තිබුණු "ළමා අපයෝජකයෙකු, දූෂකයෙකු සහ ද්‍රෝහියෙකු" ඇතුළු කරුණු පිළිබඳව විමසූ අවස්ථාවේ, ට්‍රම්ප් මාධ්‍යවේදිනී නෝරා ඕ'ඩොනල් සමග උරණ වූ බවක් පෙනෙන්නට විය. ඔහුගෙන් එවැන්නක් විමසීම "නින්දාවක්" ලෙස හැඳින්වූයේ, "ඒක කියවන එක ගැන ඔයා ලැජ්ජා වෙන්න ඕනේ, මොක ද මම ඒ වගේ කෙනෙක් නෙවෙයි," යනුවෙන් ද පවසමිනි.
සිද්ධිය අතරතුර වෙඩි වැදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඔහු පැළඳ සිටි වෙඩි නොවදින කබාය "විය හැකි විශාල විපතක් වැළැක්වීමට උදව් කළා" යැයි, ප්‍රභූ ආරක්ෂක අංශයේ සන්නිවේදන ප්‍රධානී ඇන්තනී ගුග්ලියෙල්මි බීබීසීය වෙත පැවසීය.
රාත්‍රී භෝජන සංග්‍රහයට බීබීසී වාර්තාකරුවන් කිහිප දෙනෙකු ද සහභාගී වූ අතර, ඔවුහු වෙඩි හඬින් පසු පැතිර ගිය ව්‍යාකූල තත්ත්වය පිළිබඳව විස්තර කළහ.
බීබීසීයේ උතුරු ඇමෙරිකානු ප්‍රධාන වාර්තාකරු ගැරී ඕ'ඩොනෝහියු පැවසුවේ තමාට, "පිපිරුම් ශබ්ද" ඇසුණු බව ය.
"ටික වෙලාවක් යද්දී මට හිතුණා, ඒ අර්ධ ස්වයංක්‍රීය ආයුධවලින් එන හඬ කියලා," යන්න ඔහු පැවසීය.
එම ශාලාව කෙටි වේලාවකට වසා දැමුණු අතර උත්සවය කල් දමන බවට නිවේදනය කෙරිණි. අනතුරුව ඊට සහභාගී වූවන් ශාලාවෙන් ඉවත් කිරීම සිදුවිය.
බ්ලාන්ච්, බීබීසීයේ එක්සත් ජනපද හවුල්කරු CBS පුවත් වෙත පැවසුවේ, සැකකරු ලොස් ඇන්ජලීස් සිට චිකාගෝ දක්වා දුම්රියෙන් ගොස්, ඉන්පසු වොෂින්ටනය වෙත පැමිණ ඇති බව විමර්ශකයන් විශ්වාස කරන බව ය.
LinkedInහි, ඇලන් තමාව යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු, පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන්නෙකු සහ ගුරුවරයෙකු ලෙස විස්තර කර ඇත. ඔහු කැලිෆෝනියාවේ ටොරන්ස් නගරයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුට සම්බන්ධ බව විශ්වාස කරන නිවසක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය කෙරේ.
නිලධාරීන් පැවසුවේ, ෆෙඩ්රල් නිලධාරියකුට පහර දීම සහ අපරාධයක් අතරතුර ගිනි අවියක් භාවිත කිරීම යන චෝදනා යටතේ, ඔහුට එරෙහිව සඳුදා ෆෙඩ්රල් අධිකරණයේදී නිල වශයෙන් චෝදනා ගොනු කරන බව ය.
ප්‍රහාරයෙන් පසු, ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට මාධ්‍ය හමුවක් පැවැත්වීය. කළු පැහැති ටයි පටියක් පැළඳ, එලෙස ම ටයි කෝට් ඇඳ සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් පැසසුවේ එම කාමරයේ සිටි සියල්ලන්ට ම "අතිශය කෘතඥ" වන බව ද පවසමිනි.
තම ජනාධිපති ධූර කාල දෙකේදී ම, සෙනසුරාදා පැවති 60 Minutes සම්මුඛ සාකච්ඡාව ද ඇතුළු මාධ්‍ය විවේචනය කර ඇති ට්‍රම්ප් මෙම ප්‍රහාරය පිළිබඳව "වගකිවයුතු ලෙස වාර්තාකරණය" කළ බවට මාධ්‍ය වෙත තම ස්තූතිය පළ කළේ ය.
"අප අපගේ වෙනස්කම් සාමකාමීව විසඳා ගත යුතු," බව ද ඔහු ජනතාවට පැවසීය.
ධවල මන්දිරය තුළ නව, ඉතා ආරක්ෂිත උත්සව ශාලාවක් අවශ්‍ය බවට තර්ක කිරීමට ට්‍රම්ප් මෙම සිදුවීම යොදා ගත්තේ, එවැනි ශාලාවක් තිබුණේ නම් මෙවැනි සිද්ධියක් නොවන බවට Truth Socialහි සඳහන් කරමිනි. එය දැනට ඉදිරිකරමින් පවතී.
මෙම මතභේදාත්මක ව්‍යාපෘතිය නීතිමය අභියෝග රැසකට මුහුණ දී තිබේ.
ට්‍රම්ප් ඝාතන තර්ජනයකට මුහුණ දුන් තුන්වන අවස්ථාව මෙය යි. 2024 ජූලි මාසයේ පෙන්සිල්වේනියාහි බට්ලර් නගරයේ පැවති රැලියකදී වෙඩි උණ්ඩයක් ඔහුගේ කනක් අසලින් ගිය අතර, 2024 සැප්තැම්බර් මාසයේදී ෆ්ලොරිඩාහි වෙස්ට් පාම් බීච්හි ඔහුගේ ගොල්ෆ් සමාජය අසල පැවති පඳුරු අතර සැඟවී සිටි තුවක්කුකරුවෙකු අල්ලා ගනු ලැබී ය.
ට්‍රම්ප් ජනාධිපති ලෙස ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය යි. ඔහු 2011දී පෞද්ගලික පුරවැසියෙකු ලෙස අවසන් වරට එයට සහභාගී වී තිබිණි.
සිද්ධියෙන් පසු, 2011 වසරේදී මෙම අවස්ථාවට ජනාධිපතිවරයා ලෙස සහභාගී වූ බරක් ඔබාමා පැවසුවේ: "අපගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රචණ්ඩත්වයට ස්ථානයක් ඇති බව ප්‍රතික්ෂේප කිරීම අප සියලු දෙනාගේ වගකීමක්," බව ය.
"ඒ වගේ ම මෙය එක්සත් ජනපද ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් දිනපතා පෙන්වන ධෛර්යය සහ පරිත්‍යාගය පිළිබඳ බැරෑරුම් මතක් කිරීමක් ද වේ. මම ඔවුන්ට කෘතඥ වෙනවා - ඒ වගේ ම වෙඩි වැදුණු නිලධාරියා සුවෙන් කියලා දැන ගන්න ලැබුණ එකත් සතුටක්."
ලෝක නායකයින් ද මෙම සිද්ධිය හෙළා දැක තිබේ.
එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් "අතිශයින් කම්පා" වූ බව පවසමින්, "ප්‍රජාතාන්ත්‍රික ආයතන හෝ මාධ්‍ය නිදහසට එරෙහි ඕනෑ ම ප්‍රහාරයක් දැඩිව හෙළා දැකිය යුතු යි," යැයි පැවසීය.
කැනඩාවේ අගමැති මාර්ක් කානි, ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව ඇතුළු සහභාගී වූවන් සියලු දෙනා ආරක්ෂිතව සිටීම "සහනයක්" බව පැවසීය.
ඔහුගේ ඔස්ට්‍රේලියානු සගයා වන ඇන්තනි ඇල්බනීස් ද පැවසුවේ, එම ස්ථානයේ සිටි අය ආරක්ෂිත බව ඇසීමට ලැබීම සතුටට කරුණක් බව ය.
මෙම ලිපියට කයිලා එප්ස්ටීන් දායක විය.